කුසගිනි නිවන මෙහෙයුම අරඹව්!

960

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඔඩුදුවා වනවී තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ බහුතර ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළ කළ සමීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ ආහාර මිල ඉහළ යෑම නිසා මෙරට ජනගහනයෙන් 86%ක් ආහාර අඩුවෙන් මෙන්ම පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගන්නා බවයි. තවත් පිරිසක් පෝෂ්‍ය ගුණයෙන් අඩු ආහාර ලබාගන්නා අතරේ ආහාර වේල් මගහැරීමට පුරුදුව සිටින බවට අදාළ සමීක්‍ෂණයේදී හෙළිවී ඇත. මෙම තත්ත්වය හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ගේ පෝෂණය පිළිබඳ බරපතළ ගැටලු ඇතිවී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර පිළිබඳ වැඩපිළිවෙළ පවසයි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබාදෙන බත්පතේ ව්‍යංජන ගණන දෙකකට සීමා වී ඇති බවද වාර්තා වෙයි. මේ සියලු දත්ත අපට කියා පානුයේ අපේ රට වැටී ඇති අගාධයයි. අප රටේ පිහිටීම අනුව, ස්වභාවික සම්පත් ව්‍යාප්ත වී ඇති ආකාරය මෙන්ම කාලගුණික දේශගුණික තත්ත්වයන් අනුව අප රටට ආහාර අර්බුදයක් ඇතිවිය නොහැක. විසිකළ දණ්ඩක් පවා වැවෙන සරු බිමක් සහිත අප රට මෙම තත්ත්වයට පත් කළෝ දේශපාලනඥයෝය. එම දේශපාලනඥයන්ට පෑහෙන රාජ්‍ය නිලධාරී මාෆියාව ද අප රටේ ජනතාව පත්ව ඇති මෙම විපතට වගකිව යුතුය.අප රටේ වී ගොවිතැන අනාදිමත් කාලයක සිට පැවතියේ සශ්‍රීක මට්ටමේය. අපි සහලින් ස්වයංපෝෂිත ජාතියක් ලෙස නම්බුකාර ලෙස ජීවත් වූයෙමු. එහෙත් පසුකාලීනව දේශපාලන හා සම්බන්ධ වී මෝල්ලු ටිකක් මේ රටේ වී ගොවියන් මෙන්ම පාරිභෝගිකයන්ද අමාරුවේ දමා තමන්ගේ මඩිය තරකර ගැනීමට ක්‍රියා කළහ. කෘතිමව සහල් හිඟ මවමින් අසරණ වූ ජනතාව කබලෙන් ලිපට තල්ලු කරන මේ මෝල්ලුන්ගේ විකට ජවනිකා පෙරේදා (22දා) මාධ්‍ය හමුවකදී අපට හොඳහැටි දැකගත හැකි විය. අඩු මිලට වී මිලදී ගෙන තොග රැස්කරමින් කෘතිමව සහල් මිල ඉහළ දැමීමට මෙම මෝල්ලු ක්‍රියාකරද්දී ඊට ශක්තිමත්ව මුහුණ දීමට පැවති කිසිදු රජයකට යාන්ත්‍රණයක් තිබුණේ නැත. රජයේ වී අලෙවි මණ්ඩලයක් තිබුණ ද එය බෝඩ් ලෑල්ලටම පමණක් සීමාවී බොහෝ කල්ය.මේ වනවිට වෙළෙඳපොළේ පවතින එළවළු මිලද ජනතාවට දරාගත නොහැකිය. මේ සඳහා ඉන්ධන මිල ඉහළ යෑම ප්‍රධාන සාධකයක් බවට වෙළෙන්දෝ පෙන්වා දුන්නද ගමේ හැදෙන ගැට පොළොස් ගෙඩිය, දෙල් ගෙඩිය, කොස් ගෙඩියේ සිට පලා මිටිය දක්වා වූ අහාරයට ගත හැකි සෑම දෙයක්ම මිල අධික ලෙස ඉහළ යෑම නිසා ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. මේ වනවිට වෙළෙඳපොළේ මාළු හිඟයක් පවතින අතර පවතින මාළු මිල ගණන් ද දැඩිව ඉහළ ගොස් ඇත. තමන්ගේ ආදායම් කිසිදු අයුරකින් වැඩි නොවී ඇති මොහොතක භාණ්ඩවල පවතින මිල ගණන් ඇසූ විට ජනතාවට කෑමට නොව ලෙවකෑමටවත් බැරි තත්ත්වයක් උදාවී ඇත.

ඇතිවී තිබෙන ආහාර අර්බුදයට සාපේක්‍ෂව ඊට පිළියම් යෙදීම සඳහා ජනතාව ගෙවතු වගාවට පෙළඹවීමට රජය ක්‍රියාකරන බවක් පෙනේ. එය අප වරදක් ලෙස දකින්නේ නැත. තමන්ගේ ගෙවත්තෙන් නෙලා ගන්නා වස විස නැති එළවළුවක්, පලතුරක රස බැලීම ද ආත්ම තෘප්තිය දනවන්නකි. නමුත් ලංකාවේ පවතින ආහාර අර්බුදයට පිළියම් සැබෑ ලෙස යෙදීමට නම් ගෙවතු වගාව පමණක් ප්‍රවර්ධනය කර පලක් නොමැත. රජය මැදිහත්වී අක්කර සිය ගණනින්, දහස් ගණනින් මහා පරිමාණ ගොවිපළ ආරම්භ කළ යුතුය. ඊට අමතරව වගා කළ හැකි හිස් ඉඩම් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ පෞද්ගලික අංශයට වුවද ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹිය හැකිය. අප රටේ වෙළෙඳපොළ පමණක් නොව අපනයන වෙළෙඳපොළ ද ඉලක්ක කරගත් මහා පරිමාණ ගොවිබිම් ඇති කළහොත් අප රට මුහුණදී තිබෙන මෙම ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට පුළුවන. අපේ රටට සංචාරක ව්‍යාපාරය, ඇඟලුම්, විදෙස් රැකියාවලින් මෙන්ම අපනයනය මත පදනම් වූ කෘෂි අපනයන සංස්කෘතියක් ඇති කළහොත් එය ද අප රටට ඩොලර් ගලන උල්පතක් බවට පත්කර ගැනීමට පුළුවන.

මේ වනවිට විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුව වර්ජනය කර තිබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් නොලැබීම නිසා එම ක්‍රියාමාර්ගය ගත් බවකි. එහි අර්ධ සත්‍යයක් තිබේ. නමුත් මේ මොහොතේ විය යුත්තේ රජය මෙන්ම විපක්‍ෂයත් තම තමන්ගේ පක්‍ෂවල පවතින අර්බුදවලට මුල් තැන නොදී වෙන වෙන න්‍යාය පත්‍රවලට ක්‍රියා නොකර රටේ පවතින අර්බුදයට සැබෑ විසඳුම් සෙවීමයි. මේ රටේ ජනතාව පෝලිම්වල දුක්විඳින, පෝලිම්වල මැරී වැටෙන යුගය ඉක්මනින් නිමා කළ යුතුය. ජනතාව කුසගින්නෙන් මුදාගැනීමේ දැවැන්ත ජාතික මෙහෙයුමක් ආරම්භ නොකළහොත් ඉදිරියේ අපට අත්වීමට හැකි ඉරණම අතිශය කනගාටුදායක විය හැකිය. අපේ රටට එවැනි ඉරණමක් අත්කර නොදීමට පක්‍ෂ පාට නොබලා කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment