කුසගිනි නොදැනෙන ධනපතියාටත් දුක – වේදනාව ගැන කියාදෙන රාමලාන් උපවාසය

320

විශ්වාසවන්තයනි, ඔබලාට පෙර විසූවන්ටත් උපවාසය අනිවාර්ය කළා සේම, ඔබලාටත් උපවාසය අනිවාර්ය කරමි. මන්ද ඔබලා භක්තිවන්තයන් විය යුතු බැවිනි. දේව භක්තිය මුස්ලිම් භක්තිකයන් තුළ ඇතිකිරීමේ මූලික පරමාර්ථය පෙරදැරි කොටගෙන අල්ලා දෙවියන්ට උපවාස කාලය ආරම්භ කළ යුත්තේ කුමක් අරබයා ද යැයි අල්කුරාණයේ සඳහන් වන්නේ මෙපරිද්දෙනි. වසරේ තෝරාගත් එක් මාසයක් පුරාවට අල්ලා දෙවියන්ගේ අණට කීකරුව උපවාස කාලයක් ගතකළ හෙයින් උපවාසයේ යෙදුණු මුස්ලිම් භක්තිකයන්ට උපහාරයක් වශයෙන් නෝම්බි උත්සවය සමරයි.

උපවාස කාලය ආරම්භයේ සිට අවසානය තෙක්ම දේව භක්තියෙන් මුස්ලිම් ජාතිකයන් සිටින අතර, අල්ලා දෙවියන්ට කරන ගෞරවයක් වශයෙන් තම දෛනික

ආශා පවා යටපත් කර සිටීමට මුස්ලිම් භක්තිකයෝ පෙළඹී සිටිති. දහවල් කාලයේදී ආහාරපාන වලින් වැළකී සිටිති. කොපමණ රස පානීය දේ තිබුණ ද ශරීර අවශ්‍යතා තිබුණ ද ඒවා යටපත් කොටගෙන සම්පූර්ණ කාලය දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරති.

නෝම්බි උත්සවය නැතහොත් රාමලාන් දිනය සැමරීමේ මූලිකම පරමාර්ථය වන්නේ මුස්ලිම් භක්තිකයන් තුළ

ආගමික ගෞරවය, සාමය, සතුට, අන් අයට පිහිටවීමේ උතුම් ගුණාංග මගින් මුස්ලිම් භක්තිකයා පෝෂණය කිරීමය.

උපවාස මාසය තෝරාගැනීමට මූලිකම හේතුවක් වී ඇත්තේ “අල්කුරාන්” නැමැති මුස්ලිම් භක්තිකයන්ගේ ධර්ම ග්‍රන්ථය බිහිවීම මේ මාසයේදී සිදු වූ බව විශ්වාස කරන බැවිනි. ඉස්ලාමීය ආගම් ඇදහිල්ලට අනුව, දේව ඇදහිලි සඳහා කාලය, දින, මාස යොදාගන්නේ “සඳ” බැලීමෙනි. රාමලාන් මාසයේ ආරම්භය වන, සඳ දුටු දිනට පසු දින සිට උපවාස කාලය ආරම්භ වෙයි. මෙසේ ආරම්භ වන දින තිහක කාලය අවසානයේ නවසඳ බලා උපවාස කාලය අවසන් කරයි.

උපවාස මාසය තුළ මුස්ලිම් භක්තිකයන් අතින් ඉටුවිය යුතු තවත් උතුම් කරුණක් වන්නේ “දුගී බද්ද” ගෙවීමය. මෙය රජයේ බදු අයකර ගැනීමක් සේ කෙනෙකු පිටුපසින් පන්නා අය නොකරන අතර, සෑම අයෙකුම තමා උපයන ආදායමෙන් 2.5 ක ප්‍රමාණයක් දුගී මගී යාචකයන්ට දිය යුතුය. මෙය දුප්පත් පොහොසත් භේදයකින් තොරව දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමක් බව අල්කුරාණයේ සඳහන් වේ.

මුස්ලිම් ආගමේ පෙන්වා දී ඇති ආකාරයට සෑම මුස්ලිම් ජාතිකයෙකුම ආත්මාර්ථ කාමීත්වයෙන් තොරව, පිරිසිදු පවිත්‍ර මනසකින් යුතුව සිටිය යුතු යැයි විශ්වාස කෙරේ. මේ තත්ත්වය ඇති කළ යුතු වන්නේ ආගම ඇදහීම මගින් මනස සකස් කිරීමෙනි. “සෑම විටම මාව දෙවියන් වහන්සේ ආරක්‍ෂා කරනවා මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනවා” යැයි සිතා හැකිතාක් දුරට වැරදිවලින් මිදී සිටීමට ආගම මගින් පෙන්වා දී තිබේ.

දේව භක්තිය ඇති පුද්ගලයකු කිසි දිනක කිසිදු අයුරක වරදක් අන් අයට නොකරන බව ද විශ්වාස කෙරේ.

සෑම මුස්ලිම් භක්තිකයකුම දිනකට පස්වතාවක් දෙවියන් වැඳීම කළ යුතුය. උපවාස කාලයේදී ද මෙම ක්‍රියා පිළිවෙත මෙසේ ක්‍රියාත්මක විය යුතු අතර, උපවාස කාලය පුරාවට රාත්‍රියේ දී වැඩි කාලයක් ආගමික වතාවත්වල යෙදීමට මුස්ලිම් භක්තිකයන් පුරුදු වී ඇත්තේය.

සංස්කෘතිය පිළිබඳ යමක් සඳහන් කිරීමේදී මුස්ලිම් භක්තිකයන් කුමන රටක, කුමන තරාතිරමක සිටියද දෙවියන් වහන්සේ විසින්, ප්‍රකාශයට පත්කරන ලද දේව කැමැත්තට එකඟ විය යුතුය.

එය කරුණු පහක් යටතේ පෙන්වා දී ඇත.

ඉස්ලාම් දෙවියන් පිළිගෙන, කටින් උච්චාරණය කර

ගිවිසුමක් ඇතිකර ගැනීම.

දිනකට පස් වතාවක් දෙවියන් ඇදහීම.

ගී බද්ද සඳහා වසරකට තමා උපයන මුදලින් දෙකහමාරක කොටසක් වෙන් කිරීම.

උපවාස මාසයේදී උපවාසයේ යෙදීම.

ජීවිත කාලයේ එක් වතාවක් හෝ හැකියාවක් ඇත්නම් සෞදි අරාබියට ගොස් හජ් වන්දනාවේ යෙදීම.

මෙසේ බැලූ කල මුස්ලිම් භක්තිකයන් අදහන දේව වාරිත්‍රයන්හි හුදෙක් සංස්කෘතික වටිනාකමට වඩා ඇත්තේ ආගමික වටිනාකමය.

රාමලාන් උපවාසය සෑම මුස්ලිම් භක්තිකයකුම අනිවාර්යයෙන්ම සැමරිය යුතු අතර එසේ නොකරන මුස්ලිම් බැතිමතුන්ට ඉස්ලාමීය රජයක් පවතින රටක දී කසපහර පවා හිමිවෙයි.

ලංකාවේ මෙවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවුණ ද උපවාසයේ නොයෙදෙන්නන්ට විනාශය ළඟාවන බව ඉස්ලාම් ආගමේ පෙන්වා දී ඇත. සෑම ඉස්ලාම් බැතිමතෙකුම උපවාසයේ යෙදීම අනිවාර්ය වූවත් උපවාසයේ යෙදීමට අපහසු අයකුට එහි නොයෙදී සිටිය හැකිය. කුරාණයේ සඳහන් වන ආකාරයට, කිලා්මීටර් 89 කට වඩා දුර යන මගියෙකුට නෝම්බි උපවාසයේ නොයෙදී සිටිය හැකිය.

මොවුන්ට ද මෙම තත්ත්වයන්ගෙන් මිදුනු පසු උපවාස මාසය හැර වෙනත් මාසයක හෝ උපවාසයේ යෙදිය හැකිය.

යම් හේතුවකින් උපවාස කාලයෙන් එක් දිනක් හෝ කඩ වුවහොත් ඒ තුළින් සිදුවන පාපය මකාලන්නට තමාගේ රටේ ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන දෙයින් ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් දුගියකුට දිය යුතුය. රාමලාන් උපවාසයේ දී මනුෂ්‍ය ජීවිතයට ඇතිවන යහපත පිළිබඳව ද කතාකළ යුතුය. එහි ප්‍රධානතම කරුණ වන්නේ ජීවිතයේ කවර දිනකවත් බඩගින්න නොදැනුණු ධනපතියකුට පවා අනෙක් මිනිසාට දැනෙන දුක, වේදනාව දැන ගැනීමට හැකිවීමයි.

නෝම්බි උපවාසයේ අවසන් පිළිවෙත රටින් රටට වෙනස් විය හැකිය. පොදුවේ බොහෝ රටවල මුස්ලිම් භක්තිකයන් දෛනික උපවාසය අවසන් කරන්නේ “රටඉඳි” ආහාරයට ගෙනය.

මෙම කාලයේ දී පිටරටවලින් රටඉඳි ගෙන්වීමේ දී රජය මගින් පවා සහන සලසා ඇති අතර, විදේශ රටවල මුස්ලිම් භක්තිකයන් මගින් තෑගි වශයෙන් රටඉඳි මෙරටට එවයි.

රටඉඳි අනුභවයෙන් උපවාසය අවසන් කිරීමට මුස්ලිම් භක්තිකයන් පෙළඹී ඇත්තේ නබිතුමා නෝම්බි අවසන් කිරීමට ගත් ආහාරය රටඉඳි බැවිනි. උදෑසන උපවාසය ආරම්භ කිරීමට ප්‍රථම, තම රටේ ප්‍රධාන ආහාරය අනුභව කර, කුස පුරවාගෙන ආගමික වතාවත් ආරම්භ කරයි.

රාමලාන් උත්සව දිනයේ දී ආගමේ සඳහන් වන පරිදි, මසක් පුරාවට උපවාසයේ යෙදීම දෙවියන් වහන්සේ පිළිගන්නට නම් උදෑසන පල්ලියට යෑමට පෙර සහල් කිලෝග්‍රෑම් දෙකහමාරක් දුගියකුට ලබාදීමට සෑම තරාතිරමකම මුස්ලිම් බැතිමතෙකුම ක්‍රියාකළ යුතු වෙයි.

මෙම චාරිත්‍රය සෑම මුස්ලිම් බැතිමතකු අතින්ම ඉටුවිය යුතු අතර, රාමලාන් හඳ දැකීමට පෙර බිළිදකු උපන්නහොත් ඒ සඳහා ද මෙම දානය දියයුතු අතර, සඳ දැකීමෙන් පසු අයකු මියගිය හොත් ඒ සඳහා ද මෙම සහල් දානය දිය යුතුය.

● එම්.ජේ.එම්. රිස්මි
දුම්රිය තාක්ෂණ නිලධාරී,
හේනමුල්ල, එළුවිල.

advertistmentadvertistment
advertistmentadvertistment