කුළුණු මතින් යන දුම්රිය ව්‍යාපෘතිය නැවත්වීමෙන් කෝටි 500 ක් අපතේ

280

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල පවතින අධික රථවාහන තදබදයට දිගුකාලීන විසඳුමක් ලෙස ආරම්භ කරනු ලැබූ කුළුනු මත ඉහළින් දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ජාලයක් ස්ථාපිත කිරීමේ වි්‍යාපෘතිය නවතාදැමීම නිසා මේ සඳහා වැයකරනු ලැබු රුපියල් කෝටි පන්සියකට අධික මුදලක් (මිලියන 5545.63) අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ජපන් ආධාර මත 2017 වර්ෂයේ මැයි මස 01 වැනිදා මෙම ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි. 2020 වර්ෂය වනවිට ඒ වෙනුවෙන් ජයිකා අරමුදල් වලින් රුපියල් මිලියන 4622.45ක් හා භාණ්ඩාගාර ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 923.18ක මුදලක් වැයකොට තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙකී ව්‍යාපෘතිය මිල අධික හා පිරිවැය පලදායී නොවන බැවින් ව්‍යාපෘති කාර්යාලය වසාදමා එහි සියලු වත්කම් හා බැරකම් නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශයට හෝ ප්‍රවාහන අමාත්‍යාංශයට පැවරීමට 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 06 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට තිබිණි.

මේ නිසා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකළ වියදම් නිෂ්ඵල වී ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ. නාගරික සංවර්ධන වෙරළ සංරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබිණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment