කුළුබඩු අපනයනය කිරීමෙන් පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවට වාර්තාගත ආදායමක්

636

කුළුබඩු අපනයනය කිරීමෙන් මෑත ඉතිහාසය තුළ ශ‍්‍රී ලංකාව ලබාගත් ඉහළම වාර්තාගත ආදායම පසුගිය 2021 වර්ෂයේ ලැබී තිබේ. එය රුපියල් මිලියන එක්ලක්ෂ තුන්දහසක් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතා පවසයි.

 මෙහිදී වැඩිම ආදායමක් ලැබී ඇත්තේ කුරුඳු අපනයනය කිරීමෙනි. මේ සඳහා කුරුඳු මෙටි‍්‍රක් ටොන් 18 ,814 ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ගත් විදේශ විනිමය ප‍්‍රමාණය රුපියල් මිලියන 45,879කි. එය පසුගිය 2020 වර්ෂයට වඩා 20% වර්ධනයක් වන අතර එය ලබාගත් මුළු කුළුබඩු අපනයන ආදායමෙන් 45 %කි. කුරුඳු වැඩි වශයෙන් අපනයනය කර ඇත්තේ මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජනපදය, පීරූ වැනි රටවල් සඳහායි.

 එමෙන්ම ගම්මිරිස් අපනයනය කිරීමෙන් පසුගිය 2021 වර්ෂයේ උපයාගත් මුළු ආදායම රුපියල් මිලියන 22,669කි. ඒ සඳහා ගම්මිරිස් මෙටි‍්‍රක් ටොන් 17,959ක් අපනයනය කර තිබේ. ඉන්දියාව, ජර්මනිය, රුසියාව ඇතුළු රටවල් සඳහා මෙලෙස ගම්මිරිස් අපනයනය කර ඇත. වර්ෂ 2020දී ගම්මිරිස් මෙටි‍්‍රක් ටොන් 9038ක් අපනයනය කර ඇති අතර එය පසුගිය 2020ට සාපේක්ෂව 98.7% ප‍්‍රමාණාත්මක වර්ධනයකි. එමෙන්ම එය 148.3%ක මූල්‍යමය වර්ධනයක් පෙන්වන බවද ජනක ලින්දර මහතා සඳහන් කළේය.

 වර්ෂ 2021දී කුරුඳු, ගම්මිරිස් ඇතුළු සියලූම කුළුබඩු වර්ග මෙටි‍්‍රක් ටොන් 62,981ක් අපනයනය කර තිබේ. 2020ට සාපේක්ෂව ගත් කළ එහි මූල්‍යමය වර්ධනය 41% ක් වන බවද අධ්‍යක්ෂවරයා පැවසීය. කොවිඞ් වසංගතය වැනි සමාජ ආර්ථික අර්බුදකාරී අවස්ථාවක කුළුබඩු අපනයනය කිරීමෙන් ලබාගත් මෙම වාර්තාගත ආදායම විශාල ජයග‍්‍රහණයක් බවද හෙතෙම අවධාරණය කළේය. එසේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සුවිශේෂී සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව දියත් කරමින් මේ සඳහා සක‍්‍රීය දායකත්වයක් ලබා දුන් බවද ජනක ලින්දර මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු
 මාධ්‍ය හා සන්නිවේදන අංශය
 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

advertistmentadvertistment
advertistmentadvertistment