කූට දන්ත සූත්‍රය සහ කූට දත්ත දේශපාලන සූත්තර

707

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින්නේ නිදහසින් පසු මෙරටේ උද්ගතවූ බරපතළම සමාජ ආර්ථික හා දේශපාලන විනාශයකට වුවද එයින් පීඩාවට පත් සමස්ත ජනතාව ඉන් මුදා ගැනීම සඳහා දේශපාලන සම්මුතියක්, පොදු එකඟතාවක් ඇති කර ගැනීමට මෙතෙක් අපට නොහැකි වී තිබීම ජාතික ඛේදවාචකයකි. එයට මූලික හේතුව තවමත් කාටත් වුවමනා දේශපාලන සූදුව ජය ගැනීමේ මානසිකත්වය විනා අන් දෙයක් නොවේ. ලංකාව දූෂිත හා වංචා, අල්ලස් ආදියෙන්ම පරිහානියට ගිය රටක් ලෙස ජාත්‍යන්තර ආයතන මෙන්ම ප්‍රාමාණික විද්වතුන්ගේ ද විවේචනයට ලක්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරියක් පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේත් ලංකාවේ ආර්ථික කළමනාකරණය කඩාවැටී ඇත්තේ දූෂණය නිසා බවය. මේ වන විට ඒ ආර්ථික ව්‍යසනය පිළිබඳ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට රැගෙන ගොස් තිබෙන අතර හිටපු ජනාධිපති ගෝඨාභය, මහින්ද, බැසිල් මෙන්ම මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 39 ක් වගඋත්තරකරුවෝ ලෙස නම්කර සිටිති. ලංකාවේ ආර්ථික ඝාතකයන් පිළිබඳ මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම අබියස ද ප්‍රශ්න කර තිබුණි. එයට ප්‍රතිචාර දක්වමින් පොහොට්ටුවේ දේශපාලන කවටයන් කීපදෙනෙක්ම විමසා ඇත්තේ ආර්ථිකය ගැන ප්‍රශ්න කිරීමට ඔවුන්ට තිබෙන සුදුසුකම් ගැනය. කුමක් වුවත් මෙරටේ දේශපාලන පොල් කෝම්බ ගැන කතා කළ යුතු නැත.

මෙවර ජිනීවාහි ලංකාවට ලැබුණු ප්‍රතිචාර ගැන අපට නම් සතුටු විය නොහැකිය. ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට පක්‍ෂව ඡන්ද 20 ක් ලැබෙද්දී එයට විරුද්ධ වූයේ රටවල් හතකි. තවත් රටවල් 20 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර අපේ දිගුකාලීන මිතුරන් වන ඉන්දියාව හා ජපානය සිටියේ ද ඒ කණ්ඩායම සමගය. අපේ සමීපතම මිතුරන් විපතේදී අප හැරගිය බව මේ අනුව අපට නම් පැහැදිලිය. මේ ප්‍රතිචාරය පිළිබඳ අපේ විදේශ අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු විය යුතු බව ද සඳහන් කළ යුතුය. මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට එරෙහි වූ දුෂ්ට බලවේග තිබෙන බවද රහසක් නොවේ. එහෙත් අපේ සනාතන මිතුරෝ ඒ වග නොදනිත් ද? ඇත්ත වශයෙන්ම දේශපාලන හා ආර්ථික කඩාවැටීම් ගැන නොතකා හිතුමතේ යන රටක් ලෙස අපට තිබෙන නරක චිත්‍රය මේ ප්‍රතිචාරවලට හේතු නොවී යැයි කිව හැකිද? ලංකාවට මානව හිමිකම් හා අවිහිංසාව ගැන පාඩම් කියාදීමට බටහිර අධිරාජ්‍යවාදී ගැත්තන්ට සදාචාරාත්මක අයිතියක් නැති බවද අපි දැඩිව අවධාරණය කරමු. බටහිර වචීපරම මානව හිතවාදීන්ට පමණක් නොව පන්ති අරගලයෙන් විමුක්තිය ජයග්‍රහණය කිරීමට මඟපෙන්වූ කාල්මාක්ස්ටත් පෙර ඒ මානව දයාව, සමානත්මතාව, ආදී උතුම් සාරධර්ම ලොවට ප්‍රකාශ කළේ බුදුන් වහන්සේය. ඒ උතුම් සාරධර්මවල හරය බටහිර බොහෝ විද්වත්හු ද අද පිළිගනිති.

කූට දන්ත සූත්‍රය සහ කූට දත්ත දේශපාලන  සූත්තර

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට සමීප චරිතයක් වුවද ඔහු සිය අධ්‍යාත්මික සාපිපාසාව නිවා ගැනීමට දිවයන්නේ ද ඒ බොදු උල්පත් අසලට බවද සිහිපත් කළ යුතුය.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති රනිල් මේ ආර්ථිකයෙන් රට ගොඩනැංවීම සඳහා යොමු වූයේ ද බුද්ධ භාෂිතයක් වන කූටදන්ත සුත්‍රය වෙතටය. බුදුන් වහන්සේ සමාජ සාධාරණය සඳහා මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කරවූ ශ්‍රේෂ්ඨ උතුමෙකි. චක්කවත්ති සිහනාද හා කූටදන්ත යන සූත්‍ර දෙකෙහිදීම පෙන්වා දී ඇත්තේ ධනය සාධාරණ අයුරින් බෙදී නොයන සමාජයක ඇතිවන ගැටුම් හා රාජ්‍යයක යුතුකම ඒ නිර්ධනීන් රැකගැනීම බවය. ආර්ථික පීඩාවන් ඉවසා ගත නොහැකිව ජනතාව රාජ්‍යයට එරෙහිව නැගී සිටි ආකාරයත්, ඒ අර්බුදය කළමනාකරණය සඳහා ප්‍රබල ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර ජනතාව සුවපත් කළ ආකාරයත් එම සූත්‍රයෙහි විස්තර වේ.

කූටදන්ත නමැති බ්‍රාහ්මණයෙක් දිනක් බුදුන් වහන්සේ හමුවී භව භෝග, රන් රිදී ඇතුළු වස්තුව උපයාගත හැකි මගක් ගැන විමසා ඇත. එවිට බුදුන් වහන්සේ වදාළේ එබඳු අපේක්‍ෂාවකින් ක්‍රියා කළ පාලකයකු විපතට පත්වූ බවත් හොරකම් මැරකම්, මංකොල්ලකෑම් මෙන්ම නීති විරෝධී අත්පත් කර ගැනීම්, අධික බදු බර දරාගත නොහැකිව ජනයා ඒවාට විරුද්ධව පෙළ ගැසීම නිසා පාලකයාට පලා යෑමට සිදුවූ බවත්ය. බ්‍රහ්මණයා එය විස්තර කළේ මහා විජිත නමැති පාලකයකුට අවවාද වශයෙනි. පාලකයා රටේ ගොවි, වෙළඳ මෙන්ම වෙනත් කර්මාන්තවල නිරතව සිටින පිරිස්වලට පහසුකම්, වෙනත් දිරිගැන්වීම් ලබාදීම රටක සංවර්ධනයට හේතු වන බව කූටදන්ත බ්‍රාහ්මණයා විග්‍රහ කළේය. මහජන මතය නොතකා අධිපතිවාදී මනසකින් පියාඹන පාලකයන්ට ඒ ජනතා විරෝධය අබියස දණ ගැසීමට සිදුවන බව ද එහිදී අවධාරණය කර ඇත. මහා විජිත රජු ඒ බ්‍රාහ්මණ උපදේශයට සවන් දී නිවැරදිව පාලනය මෙහෙයවීම නිසා ජන ප්‍රසාදයට පාත්‍ර වූ බව ද කූටදන්ත සූත්‍රයෙහි විස්තර කෙරේ.

දේශපාලනඥයන්ට ගොටු ඇල්ලීම මෙන්ම වහල් මනසින් ඔවුන්ට වන්දනා කරන රටක පාලකයන් පාඩම් ඉගෙන ගන්නේ බොහෝ විපාක අත්විඳීමෙන් පසුවය. ඇත්ත වශයෙන්ම අද මේ රටේ කූටදන්ත උපදෙස් පිළිපදින අය නොවෙති. ඒ බොහෝ දේශපාලන චරිත කූට දත්ත නැතහොත් යටිකූට්ටු දේශපාලනයේ කප් ගැසුවෝ වෙති. හරිහමන් ඉගෙනීමක් තබා ශිෂ්ට සම්ප්‍රදායයන් පිළිබඳව අවබෝධයක් හෝ ගෞවරයක් ද ඒ බොහෝ අයට නොමැත. කුමක් වුවත් සියල්ලෝම ඒ හොර වළල්ලට ඇතුළත් කිරීම උචිත මෙන්ම සාධාරණ ද නොවේ. එහෙත් අපේ පාලකයන්ට ළං වන්නේ මහා විජිත රජුට උපදෙස් දුන් කූටදන්ත වර්ගයේ බ්‍රාහ්මණයන් නොව රාජ්‍ය සම්පත්, පොදු ජන මුදල් ගසාකන යටිකූට්ටු සූත්තර දත්, අය බව ද කිව යුතුය. භාරතයේ ද එදා මෙම දර්ශනය පැතිර ගිය අතර දිළිඳු බව වැඩිවීම යනු අරගලයේ ආරම්භය යන කූටදන්ත සුත්‍ර උපදේශය ද පිළිගනු ලැබුණි.

ඉහත සඳහන් කළ පරිදිම කාල්මාක්ස්ටත් සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ වදාළේ ඇති නැති පරතරය, නාථ අනාථ භේදය, ධනවතුන් හා කුලවතුන් සමාජය පෙළීම, මානව සංවර්ධනයට එරෙහි වන විවිධ බලවේග හඳුනා නොගැනීම ලෞකික සමාජයට මෙන්ම ඉනික්බිතිව අධ්‍යාත්මික සංවර්ධනයට ද බාධා වන බවය. බුදුන් වහන්සේ සමාජගත කළේ අර්ථ ශූන්‍ය සමාජවාදයක් නොව සනාතන මානව ගුණයෙන් ආඪ්‍ය පුළුල් දර්ශනයකි. බල තෘෂ්ණාව, ධන තෘෂ්ණාව සමාජ විපතක් බව ද ආහාර, නිවාස, බෙහෙත් මෙන්ම නිදහස් ජීවිතය ද යහපත් සමාජයක පැවැත්මට අනිවාර්ය බවත් බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවල පෙන්වා දී තිබේ. අද මේ රටේ බොහෝ දේශපාලනඥයන්ගේ අපේක්‍ෂාව ධනය, භෞතික සම්පත් රැස්කිරීම හා අසීමිත පරිභෝජනය බව ඉතා පැහැදිලිය. එහෙත් රටවැසියන්ට මූලික අවශ්‍යතාවන් හෝ සපුරාලීමට ඒ දේශපාලන බලමුළුවලට නොහැකි විය. රජගෙදර සිට ඈත ගම්දොර දක්වා වූ සියලු ජන කොටස්වලට රැකියා, ආහාර සුරක්‍ෂිතතාව මෙන්ම ආරක්‍ෂාව ලබාදීමට අද පාලකයන්ට නොහැකි වී තිබේ. රටක් ආර්ථික ව්‍යසනයකට මුහුණපා තිබෙන මොහොතක අධික බදු බර ද ජනතාවට දරාගත නොහැක. පාලකයන් සුඛෝපභෝගී ජීවන රටාවල කෙළිදෙලෙන් පසුවෙමින් ජනතාවට පමණක් පීඩනය දරාගැනීමට කීම සාධාරණ නැත.

කෙසේ හෝ වේවා අදත් වැඩි අවධානයක් යොමු වන්නේ ජනතාවට එපා වූ ඒ ගර්හිත දේශපාලනය ඔසවා තැබීමටය. රටට වුවමනා ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා වෙනුවට පක්‍ෂ දේශපාලනයත් ඒවායේ නායකකාරකාදීන් පිම්බීමත් සිදුවන ආකාරය ඉතා පැහැදිලිය. ජනාධිපති රනිල් අතිශය වැදගත් හා කාලීන දේශපාලන යෝජනා ඉදිරිපත් කළත් මේ මුග්ධ ක්‍රමය වෙනස් කළ හැකිද?

මෙරටේ දේශපාලනයේ සදාචාර මූලධර්ම උඩු යටිකුරු වූයේ 1978 ව්‍යවස්ථාවෙන් පසුව බව බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් එදා හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමය සමස්ත දේශපාලන සංස්කෘතියම දැඩි ප්‍රපාතයකට රැගෙන ගිය බව රහසක් නොවේ. මහජන මතය, මුදලට අලෙවි වූ මනාප ඡන්ද ක්‍රමය තුළින් දේශපාලනයට පිවිසුණු පාදඩ ලුම්පත් කොටස් එයට කළ හානිය සුළුපටු නැත. ජනාධිපති රනිල්ට වුවත් එදා තුෂ්ණිම්භූතව එය ඉවසා සිටීමට සිදුවිය. අද එහි අනතුර ඔහු දකියි. ප්‍රාදේශීය මැතිවරණය කෙබඳු දූෂිත, සාහසික මෙහෙයුමක්දැයි ඔහු දනී මහජන මුදල් කාබාසිනියා කරන ඒ ප්‍රාදේශීය දේශපාලනය ගමත්, ගමේ හැදියාවත් වැනසූවක් බවට පත්ව තිබේ. ජනාධිපති යෝජනා කරන්නේ ඒ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් 8000 වෙනුවට 4000 කින් ගම නැංවිය හැකි බවය. 78 ව්‍යවස්ථාව ගැන වරක් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සඳහන් කළේ එය වනාහි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත් ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතියකු ලෙසය. මහින්ද එය වෙනස් කළේ ඔහුට වුමමනා පරිදිය. ගෝඨාභයට එයත් මදිවිය. ඔහු 20 වැනි සංශෝධනය ගෙනාවේය. එහිදී තම සහෝදරයාට මෙරටේ දේශපාලනයට පිවිසීමට හරස් වූ ද්විත්ව පුරවැසි බාධකය ද ඉවත් කරන ලදී. එදා මේ සියල්ලටම අත් එසවූ අය අද මහජනයා ඉදිරිපිට පාපොච්චාරණය කරති, ඒ පව් වමාරති.

කෙසේ හෝ ජනාධිපති රනිල් මේ දේශපාලන ඇදකුද ඉවත් කර රට යළි ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමු කරන්නේ නම් එයට සියල්ලෝම සහාය දිය යුතු වෙති. ඔහුගේ අධිෂ්ඨානය දැඩිය. පාර්ලිමේන්තුව එයට කල්මරන බව පෙනී ගියහොත් ජනමත විචාරණයකට යන බව ද ඔහු කියයි. එහෙත් පොහොට්ටුවේ දේශපාලන අභිලාෂයන් තවමත් වෙනස් වී නැති බව පෙනේ. පොහොට්ටුවේ නායක මහින්දට අනුව ජනාධිපති රනිල් අද ඔවුන් සමග යහපත් මගට වැටී සිටින්නෙකි. එහි ඇඟවීම් බැරෑරුම්ය. පොහොට්ටුවත්, අලියාත් එක්ව යළි රට සියතට ගැනීම ඔවුන්ගේ අරමුණ බව හැඟේ. ඒ ක්‍රියාන්විතය මතු අනාගතයේදී වඩවඩාත් දැක බලාගත හැකි වනු ඇත. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හරස් වන්නේත් වත්මන් කෝප් කමිටුව හසුරුවන්නේත් පාර්ලිමේන්තුවේ හෝ නොමැති පොහොට්ටු නායකයකු බවට දැඩි විවේචන හා චෝදනා ද එල්ල වෙයි.

අද මෙරටේ සිදුවී තිබෙන හා සිදුවිය හැකි විවිධ දූෂණ, ආර්ථික උගුල් හා ගසාකෑම් පිළිබඳ ජනතාවට හෙළි කෙරෙන ප්‍රබලම ආයතනය කොප් කමිටුවය. සුනිල් හඳුන්නෙත්ති, ඩිව් ගුණසේකර මෙන්ම හිටපු සභාපති චරිත හේරත් ද ජනතාවගේ ගෞරවයට පාත්‍රවීමට එක් හේතුවක් වුයේ මෙම කෝප් කමිටු බව රහසක් නොවේ. රාජ්‍ය මූල්‍ය කටයුතු විමර්ශනය කිරීම මේ කමිටුවේ වගකීමකි. ආන්දෝලනාත්මක මහ බැංකු මගඩිය හෙළි වූයේ ද මෙම කෝප් කමිටුව නිසාමය. අද ජාතික ආර්ථිකය චෞර වළල්ලකට ගොදුරු වී තිබෙන බව කියති. ඉකුත් 10 වැනිදා දිවයින පුවත්පත වාර්තා කළේ විගණන වාර්තා 200 ක් හමස් පෙට්ටියට වැටී තිබෙන බවකි. මෙම තොරතුරු කෝප් කමිටුවට ද ලැබී තිබුණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික විගණන සේවා කොමිසම ද අහෝසි කර තිබේ. එය යළිත් පිහිටුවීම සඳහා 22 සංශෝධනයෙන් යෝජනා වී ඇතැයි කියති. සැබැවින්ම මෙම කොමිසම බලනොගැන්වීමේ හේතුව හොරුන්, දූෂිතයන් සුරැකීම බව සැඟවිය නොහැක. එසේම මේ කොමිසම යළි ස්ථාපිත කිරීමට පියවර ගැනීම මෙන්ම එයින් චෝදනාවලට ලක්වන අයට එරෙහිව පියවර ගැනීමට වුවමනා නීතිමය ප්‍රතිපාදන ද අත්‍යවශ්‍යය. සීනි බදු හොරු, පොහොර නැවට ගෙවූ අමන නිලධාරීහු අදත් සුවසේ සිටිති. ඒ මෙම විගණන කොමිසම නැති නිසාය. එසේම අද සිදු කෙරෙන ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමසා බැලීමට ද මේ කොමිසම මෙන්ම කෝප් එක ද බලගැන්විය යුතුය. ඇත්ත වශයෙන්ම කෝප්, කෝපා වැනි සභාවල සභාපති පදවි විපක්‍ෂයට දිය යුතුය යන යෝජනාවේ අර්ථය වන්නේ ද ඒවා ස්වාධීනව පවත්වාගෙන යෑමට ඉඩ ලැබීමය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඕනෑම ආකාරයේ සෙප්පඩ විජ්ජාකාරයන්ට චෞර රැජිනියන්ට මෙන්ම කලාකරුවන් හා වෙනත් ශිල්පීන් ලෙස වෙස් බැඳගත් ප්‍රේතයන්ට ද ඕනෑම ක්‍රීඩාවක් කළ හැකි බව ද රටේ සිදුවන ඇතැම් දේවලින් දැක ගත හැකිය. කෝටි ගණන් මුදල් ගනුදෙනු ඒ චෞර වළලුවල සිදුවන අයුරු විස්මය දනවයි මේවාට විශාල ප්‍රසිද්ධියක් ලැබෙන අතර ඒවායේ අවසානය ගැන නම් ලැබෙන වාර්තා ඉතා අඩු බව ද කිව යුතුය. කුමක් වුවත් මේවා නීතිය මගින් තහවුරු වීමත් ඒ ශූර චෞර
රැජිනියන්ට හොරදෙටුවන්ට දඩුවම් ලබාදීමත් අත්‍යවශ්‍ය වේ.

කෙසේ හෝ අද වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් නොව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ. සත්තකින්ම මේ රට එතැනට ඇදදැමු, නැත්නම් වැට්ටවූ අධමයෝ තවමත් නිදහසේ සිටිත් නම් එරටේ නීතිය ගැන කවර කතාද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment