කෘෂිකර්ම ඇමැති ගැන සතපහක විශ්වාසයක් නෑ… මින්නේරිය ගොවි විරෝධතා… පැය 6 ක් පාර හිරවෙයි

232

ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් මේ මස 20 වැනිදාට පෙර රජය මගින් ලබා නොදුනහොත් රටපුරා ගොවීන් කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන නායකයයෝ ඊයේ (14* මින්නේරියේ පැවැති ගොවි උද්ඝෝෂණයේදී ප‍්‍රකාශ කළහ.

වී ගොවිතැන සඳහා සුදුසු ප‍්‍රමිතියෙන් යුත් පොහොර කලට වේලාවට ලබා ගැනීම තම එකම ඉල්ලීම බවත් ඒ හැර වෙනත් විකල්පයක් බලාපොරොත්තු නොවන බවත් ඔවුහු කීහ.

‘පොහොර නැතිනම් වතුර එපා’ යැයි කියමින් පැය 07 කට ආසන්න කාලයක් මින්නේරිය පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණය අවසානයේ ගොවි නායකයෝ එසේ කියා සිටියහ. එහිදී අදහස් දැක්වූ පරාක‍්‍රම සමුද්‍ර්‍ය ව්‍යාපාර ගොවි සංවිධානයේ උප සභාපති පී. කේ. ඞී. විජේරත්න මහතා.

‘ආණ්ඩුව මේ පොහොර ප‍්‍රශ්නයේදී ගොවීන් දිගින් දිගට ම රැුවට්ටුවා. ඒනිසා කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළුව මේ අය කියන කිසිම දෙයක් පිළිබඳව ගොවි ජනතාවට කිසිම විශ්වාසයක් ඇත්තේ නෑ. ආණ්ඩුව දැන් කොම්පෝස්ට් කියලා වැව්වලින් ගෙනාපු පස් ආදිය කලවම් කරලා එක එක තැන්වල හදන දේවල් ගොවීන්ට දෙන්න හදනවා. නමුත් ඒවා කොම්පෝස්ට් නෙමෙයි. මේවා වී වගාවට යොදා සාර්ථක නිසි අස්වැන්නක් ගන්න අපට බැරිවෙනවා. ඒවා යෙදීමෙන් අස්වැන්න අඩුවුණාම එහි වගකීම භාරගන්නේ කවුද? ඒ නිසා අපි කියනවා ගොවියාට ඒ සිද්ධ වෙන පාඩුව රජය භාරගත යුතුයි. ඒ පාඩුව නිසි තක්සේරුවක් කරලා සාධාරණ වන්දියක් රජය ලබාදිය යුතුයි. එහි වගකීම රජය වගකිවයුතු ලෙස භාරගත යුතුයි.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ කව්ඩුල්ල යන මහා වාරිමාර්ග යටතේ වී වගාකරන ගොවීහු 5000ක පමණ පිරිසක් පොලොන්නරුව හබරණ ප‍්‍රධාන මාර්ගයේ මින්නේරිය නගර මංසන්ධියට පැමිණ ප‍්‍රථමයෙන් උද්ඝෝෂණයේ නිරත වූහ. පසුව එම උද්ඝෝෂණකරුවන් මින්නේරිය නගරයේ සිට හබරණ මාර්ගයේ පිහිටි මින්නේරිය දුම්රියපොළ මංසන්ධිය දක්වා පා ගමනින් පැමිණ ප‍්‍රධාන මාර්ගය අවහිර කිරීම නිසා පැය 06කට අධික කාලයක් එහි විශාල රථවාහන තදබදයක්ද පැවතුණි.

මාස් කන්නයේ වී වගාව සඳහා වැව්වලින් ජලය නිකුත් කිරීමට පෙර ප‍්‍රමිතියෙන් යුත් පොහොර නිසිකලට ලබාදෙන්නැයි ගොවීහු මෙහිදී රජයට බලකර සිටියහ. එහිදී උද්ඝෝෂණකරුවන් වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දිනවල කන්න රැස්වීම්වලදී ගනු ලැබූ තීරණවලට අනුව නියමිත දිනවලට ජලය නිකුත් කිරීම පමණක් කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම වී වගාවට අවැසි වල් නාශක, කෘමිනාශක වහා ලබාදියව්! යන්න ගොවීන්ගේ සටන් පාඨ සහිත පුවරුවල කැපී පෙනුනි. විරෝධතාකරුවෝ කෘෂිකර්ම ඇමැතිවරයා සහපොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ඇතැම් දේශපාලඥයන්ගේ අනුරූ පඹයින් ලෙස සරසා රැුගෙනැවිත් ප‍්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ගිිනි තබා විනාශ කළහ. වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් එක් එක් මහා වාරිමාර්ග යටතේ පසුගිය දිනවල ගොවීන් නොයෙකුත් උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වුව ද අදාළ බලධාරීන් ඊට නිහඬ පිළිවෙත් අනුගමනය කළ නිසා ගොවි සංවිධාන සියල්ල ඒකාබද්ධ මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වීමට තීරණය කළ බව සංවිධායකවරු පැවසූහ. රටට බත සපයන මහඟු මෙහෙවරේ ප‍්‍රධාන පංගුකාරයින් වන ගොවි ජවතාවගේ මෙම සාධාරණ ඉල්ලීම කෙරෙහි යහපත් ප‍්‍රතිචාර දක්වනතෙක් මෙම අරගලය අඛණ්ඩව ගෙන යන බව ද ඔවුහු කියා සිටියහ.

කරුණාරත්න ගමගේ, අතුල සූරියබණ්ඩාර – හිඟුරක්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment