කෘෂිකර්ම ලේකම් අස්කළේ සාගතයක් ගැන ඇත්ත කියපු නිසාද? – රුවන් විජයවර්ධන

163

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට සත්‍ය කරුණු ප‍්‍රකාශ කිරීම නිසාද යන්න ආණ්ඩුවේ බලධාරීන් රටට ප‍්‍රකාශ කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (23දා) පැවැසීය.

කාබනික පොහොර වැඩපිළිවෙළ කඩිමුඩියේ කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ගේ නිෂ්පාදන සියයට 75ක් දක්වා පහත වැටී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ප‍්‍රකාශ කොට පැය 24ක් ගතවීමටත් පෙර ලේකම්වරයා ඉවත්කළ බවද විජයවර්ධන මහතා ඊයේ (23දා) කොළඹදී ප‍්‍රකාශ කළේය. රටේ සැබෑ තත්ත්වය හෙළිදරව් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ගෙල සිඳලීමට හේතුවක් වන බව මෙම කි‍්‍රයාවෙන් පෙනීයන නිසා මෙවැනි කි‍්‍රයා හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් අධෛර්යමත් වන බවද විජයවර්ධන මහතා පැවැසීය. කෘෂිකර්ම ලේකම්වරයා එක්සත් ජාතික පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ පාක්‍ෂිකයකු නොව වියත්මග නිර්මාතෘවරයෙක් බවද ඒ මහතා කීය. එක්සත් ජාතික පක්‍ෂ පාලන කාලය තුළ රාජ්‍ය සේවය ශක්තිමත් කළ බවද ඒ මහතා පැවැසීය. ජනාධිපතිවරයාගේ වසර දෙකක පාලන කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනකු ඉවත්ව ගිය බවත් උදිත් ජයසිංහ මහතාගේ ඉවත් වීමත් සමඟ එය තිදෙනකු දක්වා වැඩිවන බවත් විජයවර්ධන මහතා කීය.

රට ඉදිරියට ගෙන යෑමට නිසි වැඩපිළිවෙළක් වත්මන් රජයට නැති බවත් මෑත ඉතිහාසයේ කෙටි කාලයකදී වැඩිම ජනතා අප‍්‍රසාදයට පත්වූ ආණ්ඩුව මෙය බවත් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment