කෙටි කතාව යනු කවරක්ද

870

කෙටි කතාව යනු කුමක්ද කියා හඳුනාගත් පුද්ගලයා යථාර්ථ වින්දනය කවරක්දැයි හඳුනා ගත්තකුයැයි සිතිය හැක්කේ ඔහු තුළ වින්දනය පිළිබඳ සියුම් නිරීක්ෂණ හැකියාවක් ඇති බැවිණි. කලා කෘතියක් යථාර්ථයෙන් විඳ ගැනීමට නම් එම පුද්ගලයා තුළ, ධ්‍යානයට සම වැදිය හැකි විචාර බුද්ධියක් තිබිය යුතුය. කලා කෘති පරිහරණයෙන්ද එවන් බුද්ධි මට්ටමක් වර්ධනය කරගත හැකිය. මෙවන් හරවත් මානසීක මට්ටමක් බෝහෝ අයකුට නැති අතර ඔවුන් නගන පැනයකි කෙටි කතාවෙන් ඇති පලය කිම යනු. ජීවත්වීමෙන් ඇති පලය කමෙක් දැයි කියා ඔවුන් ඇසීමටද ඉඩ ඇත.

කෙටි කතාවක් නිරීක්ෂණාත්මකව කියවමින් එහි අංග උපාංග හරසර බව රස විඳිය හැකි අයකුට, සොබාදහම හා බැඳීගෙන ජීවිතයේ සියුම් වින්දනාත්මක අවස්ථා දෙසට තම බුද්ධිමය ආලෝක ධාරාව විහිදා එය පසක් කර ගැනීමෙන් ආනන්දයට පත්විය හැක. වින්දනය ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙලවර විය යුතුය. මනෝ විද්‍යාත්මකව සලකා බලන කල එබඳු අයකුන් තුළ ශ්‍රේෂ්ඨ භාවයක් ඇත. එවන් අයවලුන් සමාජයට හිතකර පමණක් නොව ඔවුන්ගේ අවබෝධාත්මක දර්ශනයෙන් සමාජ සංහිඳියාවක් ද ඇතිවේ.

සමාජය යහමින් ගොඩ නැගෙන්නේ පනවන ලද නීති පද්ධතියෙන් නොව, සාහිත්‍යයෙන්ය කීම ප්‍රඥා ඝෝචර වන්නේ කෙසේද?. මිනිසා උපතින්ම වින්දනය ලැබීමට පාත්‍ර නිර්මිතයෙකි. එසේ නම් ඔහුට යහමින් විඳගත හැකි උතුම් බවින් යුත් සුඛි වින්දනීය සාහිත්‍යයක් ඇති බව සමාජය තුළ මතයක් ඇතිවිය යුතුය. විවිධ වූ අවිචාරවත් වින්දනයන් පසුපස යමින් රසවත් වන මිනිසා තමාම වනසා ගන්නෙක් පමණක් නොව සමාජ ව්‍යසනයට ද හේතු කාරකයක් වනු ඇති.

කෙටි කතාවෙන් රසවත් වන පුද්ගලයා සංවේදී පුද්ගලයක් බවට පත්වෙයි. මෙම දිරි ගැන්වීමට අනෙක් කලා කෘතීන්ද පිටිවහල් වන බව පිළිගත යුතුව තිබේ. සංවේදී වූ අයට අනෙකන්ගේ හැඟීම් දැනීම් අවබෝධ වන බැවින් හා අනෙකන්ගේ පීඩාවන් තම චිත්තයට ද හිංසාකාරී වන බැවින් ඔහු අන් අය රිදවීමට පෙලඹෙන්නේ නැත.

‘කෙටි කතාව’ වින්දන පරිචයේ හා සාහිත්‍යය කලාවේ එක්, අනේක විධි මන බන්ධනීය සුවඳ වහනය වන පුෂ්පයකි. මෙහි වත්මන් ඇරඹුම් ලක්ෂ්‍යය ලෙසින් එඩ්ගා ඇලන් පෝ ගේ කෙටි කතා රචනය සැලකෙයි. අනතුරුව ජොෆ්ප්‍රි චෝසර්ගේ කැන්ටබරි ටේල්ස් කෙටි තකා පොත ඉංග්‍රීසි පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයකට පත් විය. පසුව රුසියානු ලේඛකයන් වූ ඇන්ටන් චෙකෝෆ්, මැසියම් ගෝර්කි ගාෂින් වන් ලේඛකයෝ කෙටි කතාවෙන් සමාජ විප්ලවයක් කිරීමට පවා සමත් වූහ. ප්‍රංශ කෙටිතා ශිල්පී ගීදමෝපසාන්ගේ ‘ද නෙක්ලස්‘ නමැති නිර්මාණය මහත් ජනප්‍රියත්වයකට පත් විය. මෙය සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත්තේ ‘මාලය’ නමිනි. ඔස්කා වයිල්ඩ්ගේ ඔයැ භසටයඑසබට්කැ ්බා එයැ රුා ඍදිැ කෙටි තකාවද විශ්ව සාහිත්‍යයේ කෘතියකි. මේ නිර්මාණ සිංහල භාෂාවටද පරිවර්තනය වීඇත. ‘බල්ලා කැටිව ගිය කාන්තාව’ යන රුසියානු කෙටි කතාව ද පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයකට පත් වූවකි. එලෙසින් ම එය අනර්ග ප්‍රඥා ඝෝචරයකි.

ලාංකික ලේඛකයන්ගෙන්ද හොඳ කෙටි කතා නිර්මාණ බිහිවී තිබේ. මර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ඇරඹුණ සිංහල කෙටිකතාව තවත් ලේඛකයන් කීප දෙනකුන් විසින් ඉදිරියට ගෙන යන ලදි.

කෙටි කතාව යනු හුදු කෙටි කතන්දරයක් නොවේය. කෙටි කතන්දරය යනු පුංචි සිදුවීමක වාර්තාකරණයකි. එහෙත් කෙටි කතාව යනු ගැඹුරු චින්තනය ස්පර්ශ කරන කලා කෘතියකි. උසස් මට්ටමේ කෙටි කතාවක් කියවා නිමා වූ කල එතැනින් එහාට කල්පනා කර බැලීමට කිසිවක් පාඨකයාට ඉතිරි වෙයි. නවකතාව මුහුදේ පාවන අයිස් කන්දක් ලෙසින් විචාරකයන් විසින් නම් කෙරෙයි. අයිස් කන්දේ උඩින් පෙනෙනවාට වඩා වැඩි කොටසක් මුහුදු ජලය යට පවතියි. නව කතාව හඳුන්වාදුන් එම ප්‍රකාශනයම කෙටි කතාවට ද ගැළපෙනු ඇත.

මන්දයත් කෙටි කතාව කෙලෙසින්වත් අනෙක් කලා කෘතියකට වඩා අඩු අගයක් ගන්නේ නැත. කෙටි කතාව කෙතරම් සියුම් කලා අංගයක්දැයි කිවහොත් එබන්දකින් ඉවත් කළ හැකි එක වගන්තියක් ඇතොත් හෝ ඊට එක් කළ යුතුම වූ වගන්තියක් තිබුණහොත් එය අසාර්ථක නිර්මාණයක් ලෙසින් සැලකීමට සිදුවනු ඇත.

එලෙසින් ම කෙටි කතාව යනු කවුරුන් හෝ ගොතන පුංචි බොරුවක් වන්නේද නැත. මන්දයත් සාමාන්‍යය ජීවිතයේ කෙතරම් අහේතුක සිදුවීම් තිබුණත් හිතුමතයේ කෙටි කතාවක එබන්දක් අන්තර්ගත කළ නොහැක. ඉන් අදහස් වන්නේ මෙය ජීවිතයේ පරිපූර්ණ යථාර්ත නිරූපණයක් බවය. එබැවින් මෙය මිනිසාට හුදු විනෝදයක් පමණක් ලබාදීම සඳහා නිර්මාණය වූ හෑල්ලක් නොවන බව පැහැදිලි වෙයි.

එලෙසින්ම ගැඹුරු අවබෝධයක් හා පරිචයක් නැතිව අත්හදා බැලීමට කළ හැකි ආයාසයක් ද නොව ‘කෙටි කතාව’ ලෝකයේ ලියැවී ඇති අනන්ත අප්‍රමාණ කෙටි කතා නිර්මාණ දෙස බැලුවොත් ඉන් බොහෝමයක් ප්‍රලාපයන් බව පෙනී යන්නේ මෙම නිර්මාණකරණයේ ඇති අසීරුතාවය නිසාමටය.

පුවත්පත් සඟරා මගින් මෙන්ම අනෙකුත් මාධ්‍යයන් ද මෙම සුන්දර කලා නිර්මාණය නගා සිටුවීමේ මහඟු කර්තව්‍යයට දායක විය යුතුය.

‘කෙටි කතාව’ට හිමිවිය යුතු ස්ථානය රාජ්‍යය මට්ටමිනුත් පාසල් පසුබිමෙත් සකස් විය යුතු වන්නේ ඉන් සමාජයට මෙන්ම මිනිස් මනැසට සිදුවන මහත් යහපත නිසාවෙනි. කෙටි කතාවකින් මිථ්‍යයා හෝ මනැස අන්ද මන්ද කරන වින්දනයක් නොව ලැබෙන්නේ. එබැවින් ම මෙය ලොවට වැඩි වැඩියෙන් හඳුන්වා දීමෙන් සිදුවනු ඇත්තේ අනන්ත අප්‍රමාණ සේවයකි.

ඔබ මෙතුවක් කියවා බැලුවේ කෙටි කතාවක් නොව කෙටි කතාව ගැන තියෙන කෙටි කතන්දරයකි.

කලාභූෂණ – ගාමිණි ලිවේරා මුන්දලම
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment