කෙන්යානු දිගු දුර ධාවන ශූරියගේ දිවිය කෙටි කලකින් නිම වෙයි – ඝාතනයට සැක සැමියා පලා ගොසින්

744

කෙන්යානු දිගු දුර ධාවන ශූරී ඇග්නස් ටිරොප් සිය නිවස තුළදී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව ඝාතනය වී ඇතැයි කෙන්යානු මලල ක‍්‍රීඩා සඳහන් කර සිටී.

 ඇග්නස් ටිරොප් ඝාතනයට ලක්වන විට ඇය 25 හැවිරිදි වියේ පසුවූ අතර පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 5000 ඉසව්වෙන් 4 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

 ටිරෝප්ගේ ඝාතනය පිළිබඳව ඇගේ ස්වාමිපුරුෂයා සැක කරන බවට කෙන්යානු පොලිසිය පවසන අතර, එම ආරංචිමාර්ගවලින් දැක්වෙන්නේ බිරිඳ ඝාතනය කිරීමෙන් පසු තමාට දෙවියන් සමාව දෙනු ඇතැයි හඬමින් දුරකථන පණිවිඩයක් දී ඇති බවයි.

 2017 සහ 2019 වසරවල පැවති ලෝක ශූරතා තරගාවලියේදී මීටර 10000 ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගත් ටිරෝප්ගේ ඝාතනය පිළිබඳව කෙන්යා ජනාධිපති උහුර් කෙන්යාටා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඇය කෙන්යාවේ වීරයෙකු බවයි. එවැනි ක‍්‍රීඩිකාවක් බියගුලූ මිනිසුන් විසින් සාපරාධී ලෙස ඝාතනය කිරීමෙන් සිය තරුණ ජීවිතය වේදනාකාරි ලෙස අහිමි කිරීම වඩාත් වේදනාකාරී බව ද කෙන්යානු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

 සැකකාර සැමියා ඊයේ වනතුරුත් අතුරුදන්ව ඇති බව කෙන්යානු පොලිසිය සඳහන් කර සිටින අතර ඇග්නස් ටිරොප් සිය පළමු ජාතික තරගය ලෙස 2012 වසරේදී අප‍්‍රිකානු රට හරහා දිවීමේ තරගයටත්, එම වසරේදී ලෝක කනිෂ්ඨ ශූරතා තරගාවලියටත් ඉදිරිපත් වී පිළිවෙළින් එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment