කෙන්යාවෙන් නිවුන් අලි උපතක්

215

කලාතුරකින් සිදු වන නිවුන් අලි උපතක් උතුරු කෙන්යාවේ පිහිටි ජාතික රක්ෂිත වනෝද්‍යානයකින් වාර්තා වී තිබේ. උතුරු කෙන්යාවේ පිහිටි ‘සම්බුරු’ රක්ෂිත වනෝද්‍යානයෙන් වාර්තා වී ඇති මෙම දුර්ලභ ඝනයේ නිවුන් අලි උපතේදී පිරිමි අලි පැටවෙකු හා ගැහැනු අලි පැටවෙකු උපත ලබා ඇති අතර මෙම නිවුන් අලි පැටවුන් ප‍්‍රථමයෙන් දැක ඇත්තේ වනෝද්‍යානයේ ‘සෆාරි’ සංචාරයක නිරතව සිටි සංචාරක මගපෙන්වන්නන් සිවුදෙනකු විසිනි.

අලින් අතර නිවුන් උපත් දුර්ලභ වන අතර සියලූ අලි උපත්වලින් එවැනි නිවුන් උපත් වාර්තා වනුයේ සියයට 1 ක් වැනි සුළු ප‍්‍රතිශතයක් බව ‘සේව් ද එලිෆන්ට්ස්’ නමැති අලින් වෙනුවෙන් කටයුතු කරන සංවිධානය පවසයි. එම සංවිධානයට අනුව අවසන් වරට නිවුන් අලි උපතක් වාර්තා වී ඇත්තේ 2006 වසරේදීය. කෙසේ වුවද වසර 15කට පමණ පෙරදී උපත ලබා තිබූ අලි පැටවුන් දෙදෙනාම උපතෙන් ටික කලකට පසු මිය ගොස් ඇත. මෙම උපත ලබා ඇති නිවුන් අලි පැටවුන් දැනට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව අනාවරණය වී ඇති අතර ඔවුන්ට මෙතෙක් නම් දමා නොමැත. පැටවුන්ගේ මව ‘බෝරා’ වන අතර ඇයට පැටවුන් දෙදෙනාට දීමට තරම් කිරි නොඑරෙන බව වන ජීවී නිලධාරීහු පවසති. අප‍්‍රිකානු ඇතින්නියන් ක්ෂීරපායි සතුන් අතරින් වැඩිම කලක් පැටවුන් කුසෙහි දරාගෙන සිටින සතුන් සේ සැලකෙන අතර එම ඇතින්නියක් පැටවකු මාස 22ක කාලයක් කුසෙහි දරාගෙන සිටින්නීය. ඔවුන් වසර හතරකට වරක් පැටවෙකු බිහි කරන බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment