කෙරවලපිටිය බලාගාර සිද්ධිය සංඝ සභාවේ සාකච්ඡා කර තීරණය රජයට දන්වනවා – අස්ගිරි මහනාහිමියෝ සජබ මන්ත‍්‍රීන්ට කියති

118

කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකුණා දැමීමට රජය කටයුතු කරන බවට විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සංඝ සභාවේ සාකච්ඡුාවට භාජනය කර එහි තීරණය රජයට දන්වන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය  වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන මහනාහිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ට ඊයේ (27 දා) දන්වා සිටියහ.

රහසේ අත්සන් කරන ලද ගිවිසුමක් මගින් කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකිණීමෙන් ශ‍්‍රී ලංකාවට විශාල පාඩුවක් අත්වන බව ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ අජිත් පී. පෙරේරා යන මහත්වරු මහනාහිමියන් බැහැදැකමින් පැවසූහ.

මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දීමෙන් පසුව වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන මහනාහිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

විදුලි බලාගාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කරන කරුණු අනුව තත්ත්වය භයානකයි. එහෙත් අප මේ පිළිබඳව සැබෑ තත්ත්වය හරිහැටි දන්නේ නැහැ. මේ තත්ත්වය ගැන සොයාබලා තීරණයක් ගන්නම්. රටට අයහපතක් සිදුනොවන ආකාරයට කටයුතු කරනවා නම් තමයි හොඳ. මූලිකව සිදුවිය යුත්තේ රට ආරක්‍ෂා කරගැනීමයි. මහජනතාව ඡුන්දය ලබාදුන්නේ රට ආරක්‍ෂා කර ගැනීමටයි. ඊට විරුද්ධව යමක් සිදුවේ නම් එය වරදක්.

ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය එක්ව සාකච්ඡුා කර රටට විපතක් නොවන ආකාරයට මෙවැනි ප‍්‍රශ්න විසඳාගත යුතුව තිබෙනවා. කෙසේ වුවත් මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපේ කාරක මහා සංඝ සභාව සාකච්ඡුා කර එහි තීරණය රජයට ඉදිරිපත් කරනවා.

සමගි ජන බලවේගය හිටපු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතිය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට පත්වී තිබෙන බව පැවැසීය.

පොලොව යට තිබෙන ගෑස් සොයා ගැනීමෙන් පසුව එහි ප‍්‍රයෝජනයද කෙරවලපිටිය විදුලි බලාගාරය හිමිවන සමාගමට ලැබෙන බව කී හෙතෙම මේ රටේ ගෑස් මිල තීරණය කිරීමද ඇමෙරිකානු සමාගමට හිමිවන බවද පැවැසීය.

මුළු රටේම විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය හිමිකර ගන්නා ඇමෙරිකානු සමාගමට මුළු රටම එක් අවස්ථාවකදී අඳුරේ තැබීමට හැකිවනු ඇත. රාත‍්‍රී දොළහට අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයවත් දැන සිටියේ නැත. මේ භයානක ගිවිසුම ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකඟතාවකට පත්වූවක්. මෙම ගිවිසුම අවලංගු කළ යුතු එකක්. එය අවලංගු කරන ලෙස රජයට දන්වා සිටින මෙන් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා යැයිද අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කරුණු දක්වමින් මෙසේ පැවැසීය. මේ ආණ්ඩුව බලයට ආවේ රටේ දේපල ආරක්‍ෂා කරන බවට පොරොන්දු වෙමින්. නමුත් සිදුවන්නේ රටේ දේපල විකුණා දැමීමයි. රාජ්‍ය දේපල වෙන්දේසි කරන ආණ්ඩුවක්. ජනතාවට අයිති දේපල මේ වගේ විදේශිකයන්ගේ ආයතනවලට විකුණා දැමීමට අපි එකහෙළාම විරුද්ධයි.

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු මල්වතු පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය නියංගොඩ ශ‍්‍රී විජිතසිරි හිමියෝද බැහැදකිමින් කෙරවලපිටිය තාපබලාගාරය ඇමෙරිකානු සමාගමකට විකණීමට යෑම පිළිබඳ විරෝධය දක්වමින් ඒ බව රජයට දැනුම්දී ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලීමක් කළහ. මන්ත‍්‍රීවරුන් දෙදෙනා විසින් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බලාගාරය පිළිබඳව සංදේශයක්ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ජේ. සී. අලවතුවල, මුජිබර් රහුමාන් සහ රෝහණ බණ්ඩාර දිසානායක යන මහත්වරු ද සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment