කෙසෙල්ගමු ඔය රක්‍ෂිතයේ හොරෙන් මැණික් ගරමින් සිටි තරුණයා පස්කන්දට යට වී මරුට

462

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ රක්ෂිතයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි තරුණයකු පස් කන්දකට යට වී (12) දින පස්වරුවේ ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බගවන්තලාව ටින්සින් නගරයේ පදිංචි කනගරත්නම් කුගේන්ද්‍රන් නැමති (22) හැවිරිදි තරුණයෙකි.

ජීවිතක්ෂයට පත් තරුණයා තවත් පිරිසක් සමග ඔහු පදිංචි නිවසට යාබඳව පිහිටි කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ (12) දින පස්වරු 3.00ට පමණ විශාල වළක් හරා එම වළ තුළ තිබූ මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටියදී වළ තුළට පස් කඩා වැටීමෙන් තරුණයා පස්වලට යට වී ඇත. වළෙහි පස් කන්දට යට වූ තරුණයා ඔහු සමග ගිය පිරිස සහ අවට ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක් අඩි 20ක් පමණ ගැඹුරකින් යුත් වළෙහි තිබූ පස් ඉවත් කර තරුණයා වළෙන් ඉවතට ගන්නා අවස්ථාවේ එම තරුණයා මියගොස් සිට ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

මියගිය තරුණයාගේ සිරුර බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත. කෙසෙල්ගමු ඔය අභියස පිහිටි රක්ෂිතයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි පිරිසක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත්, එසේ වැටලීම් සිදු කරද්දී එම පිරිස දිගින් දිගට ම අනවසර මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටියේ. මිය ගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසීය.

ජායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment