කෙසෙල්වත්තේ පාතාලය යළි ඇවිලෙයි… කෙසෙල් ගසක් මෙන් කපා කොටා ඝාතනය කළ කෙසෙල්වත්තේ ෆවාස්…

1091

තවත් පාතාලයෙකුගේ අවසන් ගමන

වර්තමානය වන විට පාතාලයට සම්බන්ධ පුද්ගලයන්ට උදාවී ඇත්තේ ඉතාමත් නරක කාලයකි. පසුගිය මාස කිහිපය පුරා ‘‘පාතාල නායකයන්” යැයි කියාගන්නා පුද්ගලයෝ කිහිප දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවූහ. ඒ වෙනත් පාතාල කල්ලි අතින් ඝාතනය වීමෙන්, පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු ආයුධ පෙන්වීමට ගොස් චණ්ඩිකම් දැමීමට යෑමෙන් සහ විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමෙන් මිය ගියහ. ඉතිහාසය දෙස ගත් කලත් පාතාලයට සම්බන්ධ පුද්ගලයන්ට අත්වූයේ එවැනිම ඉරණම්ය. ඔවුන් කිසිවෙකුටත් කිසිදිනක සතුටින් නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් උදා වූයේ නැත.

පසුගිය 4 වැනිදා කෙසෙල්වත්ත පරණ යෝන් වීදිය ප‍්‍රදේශයෙන් තවත් එක් පාතාල සාමාජිකයෙකු ගැන අපට අසන්නට ලැබුණේ එවැනිම කතාවකි. මොහොමඞ් ෆවාස් නමැති එම පාතාලයට සම්බන්ධ පුද්ගලයාව තවත් පාතාල කණ්ඩායමක සාමාජිකයන් සිව් දෙනකු විසින් කපා කොටා ඝාතනය කර තිබුණේ ඉතාමත් අමානුෂික ලෙසටයි. එම කතාව සැකවින් මෙසේය.

මොහොමඞ් ෆවාස් කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් වියේ සිටම ඔහු දඩබ්බරයකු විය. එලෙසම ඔහු ඇසුරු කළේ තම වයසට ගැළපෙන පුද්ගලයන් නොවේ. පාසල නිමවී නිවසට පැමිණෙන ෆවාස් පොත් බෑගය පසෙක දමා රාත‍්‍රි වනතුරු මිතුරන් සමඟ රස්තියාදු ගැසුවේය. ඒ සමඟම සිගරට්, ගංජා සහ මත්පැන් පානය කිරීමටද ඔහු පුරුදු වී සිටියේය. වසර ගණනක් එලෙස කාලය ගත කළ ඔහු හරි හමන් අධ්‍යාපනයක් නොලබා පාසල් ජීවිතයට සමුදුන්නේය. හරිහමන් අධ්‍යාපනයක් නොලද නිසා ෆවාස්ට ස්ථිර රැකියාවක් පවා සොයා ගැනීමට නොහැකි විය.

රැකියාවක් නොකළ ෆවාස් කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ මිතුරන් සමග රස්තියාදු ගසමින් සිටියේය. එම කාලය අතරතුර එම ප‍්‍රදේශයේම එක්තරා පාතාල කණ්ඩායමක සාමාජිකයෙකු හඳුනා ගැනීමට ඔහුට හැකිවිය. එම පාතාල සාමාජිකයා දැන හඳුනා ගැනීමත් සමග ෆවාස් ටද පාතාල උණ තදින්ම වැලඳුණි. ඒ සමග ඔහු හරහා තවත් පාතාලයට සම්බන්ධ කිහිප දෙනෙකු දැන හඳුනා ගත්තේය. ඔවුන්ගේ විවිධ කතා ඇසූ ෆවාස්ට වුවමනා වී තිබුණේ පාතාලයේ කෙරුමෙකු වීමටයි.

මාස කිහිපයක් ගත වෙද්දී පාතාල උණ තදින්ම වැළඳී සිටි ඔහු පාතාල මිතුරන්ට පැවසුවේ තමන්වද ඔවුන්ගේ වැඩවලට සම්බන්ධ කරගන්නා ලෙසයි. ඒ අනුව දිනක් පාතාල මිතුරෙකු ෆවාස්ව කොළඹ එක්තරා පාතාල කණ්ඩායමක නායකයකු ළඟට රැගෙන ගියේය. එහිදී ඔවුන් මෙලෙස කතාබස් කළේය.

‘‘බොස් මේ ෆවාස්. මෙයා ගැන තමයි මම දවස් දෙක තුනක ඉඳන් බොස්ට කිය කිය හිටියේ.”

‘‘ආ එහෙමද? මෙයාද ඒ.”

‘‘ඔව් බොස් හිත හොඳ කොල්ලෙක්. පරණ යෝන් වීදියේ ඉන්නේ”

‘‘ඇත්තද? උඹ දන්නවද මං ගැන.”

‘‘බොස් ගැන මේ ඒරියා එකේ කවුද නොදන්නෙ. ඇත්තටම මමත් හුඟක් ආසාවෙන් හිටියේ බොස්ව හම්බ වෙන්න.”

‘‘එහෙමද දැන් හම්බ වුණානේ.”

‘‘ඔව් මට ඒකට ගොඩක් සතුටුයි. මම කැමැතියි බොස් ළඟ වැඩ කරන්න.”

‘‘උඹ ඉස්සෙල්ලා කාට හරි වැඩ කරලා තියනවද?”

‘‘නැහැ බොස් මම එහෙම කාටවත් වැඩ කරලා නැහැ.”

‘‘ඒක හොඳයි. උඹ රස්සාවක් කරනවාද දැන්.”

‘‘ස්ථිර රැකියාවක් නැහැ. දන්නැද්ද ජීවත්වෙන්න මොනව හරි කරනවා. ඒත් මට දැන් ඒවා එපා වෙලා තියෙන්නෙ.”

‘‘උඹ දන්නවනේ මගෙ ළඟ ජෙනුයින් ජොබ් නැහැ. කැමතිනම් විතරක් මාත් එක්ක වැඩ කරපන්.”

‘‘මම කැමැතියි බොස් එක්ක වැඩ කරන්න. මරාගෙන මැරෙන්න හරි මම ඉන්නවා. මේ ෆවාස් ඒ වගේ කෙනෙක්.”

‘‘හරි බං මගෙ ළඟ ඉන්න හැමෝම ඒ වගේ තමයි. හරියට වැඩ කරන උන්ට මම පණ වුණත් දෙනවා. හොඳට හොඳයි නරකට නරකයි. දන්නවා ඇතිනෙ මං ගැන.”

‘‘ඔව් මට විජය අයියා නිතරම කියනවා බොස් ගැන. ඒවා අහලා තමයි මටත් ආස හිතුනෙ බස් ළඟ වැඩ කරන්න.”

‘‘එහෙනම් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරපන්. කරන්න ඕන ටික මම හෙමිහිට කියන්නම්. තව දවස් දෙක තුනකින් මගේ කොල්ලන්ටත් උඹව හඳුන්වලා දෙන්නම්.”

‘‘හොඳයි බොස්.”

කෙසෙල්වත්තේ පාතාලය යළි ඇවිලෙයි... කෙසෙල් ගසක් මෙන් කපා කොටා ඝාතනය කළ කෙසෙල්වත්තේ ෆවාස්…

එතැන් පටන් ෆවාස් එම පාතාල කල්ලියට බැඳුණේය. කලක් යද්දී ඔහුව හැඳින්වූයේ” කෙසෙල්වත්තේ ෆවාස්” යන අන්වර්ථ නාමයෙනි. එම පාතාල කල්ලියේ සිටි මොහු මත්ද්‍රව්‍ය විකිණීම, කප්පන් එකතු කිරීම, මිනිසුන් කපා කොටා දැමීම ඝාතනය කිරීම වැනි අපරාධ රැසක් සිදු කළේය. ඒ සමගම කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ නමගිය අපරාධකරුවකු වශයෙන් මොහුද ප‍්‍රසිද්ධියට පත්විය.

ඉහත සඳහන් ගණයේ අපරාධ රැසක් සිදුකරමින් පොලිසියට කට්ටි පනිමින් සිටි මොහු පොලිස් අත්අඩංගුවට පත්විය. එහිදී ඔහු සිදු කළ අපරාධ නිසා රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු විය. ඒ අතර බන්ධනාගාරය තුළදී තවත් පාතාලයින් කිහිප දෙනකු ද මොහු දැන හැඳින ගත්තේය. වසර ගණනක්බ න්ධනාගාරගතව සිටි ඔහු යළි එළියට පැමිණියේ තිබුණු පාතාල උණ දෙගුණ තෙගුණ කර ගනිමින්ය.

කලක සිට ඩුබායිහි සිටියදී මියගිය කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල මැරයාගේ කණ්ඩායම සමඟද ෆවාස් ගැටුම් ඇති කර ගත්තේය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ය. කලක් යද්දී එම ගැටුම් උග‍්‍ර වන්නට පටන් ගත්තේය. දිනුක මියගිය පසු එම කණ්ඩායමේ සාමාජිකයන්ට මොහුගෙන් එල්ල වූ තර්ජන වැඩිවන්නට පටන් ගත්තේය.

‘‘කෙසෙල්වත්තේ දැන් චන්ඩි දෙන්නෙක් නැහැ. ඉන්නේ එක චන්ඩියයි. ඒ මම විතරයි. වෙන කාටවත් ඕන ඕන විදිහට කෙසෙල්වත්තේ දඟලන්න බැහැ. සේරම වැඩ කෙරෙන්න ඕනෙ මට ඕන විදිහට. එහෙම නොවුණොත් මම නරක මිනිහා කියලා කියන්න එපා.” ෆවාස් තම විරුද්ධවාදීන්ට නිතරම එලෙසින් තර්ජනය කළේය.

පසුගිය දිනක කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමක සාමාජිකයන් සිව් දෙනකු ෆවාස් සම්බන්ධයෙන් මෙලෙස කතාබස් කළහ.

‘‘අපේ ලොක්කා නැති වුණාට පස්සේ ෆවාස් දඟලනවා වැඩියි.”

‘‘ඒක ඇත්ත. අපේ බඩු ටිකක්වත් විකුණගන්න බැහැ.”

‘‘තව ටික දවසක් මෙහෙම

ගියොත් අපිට මූ ළඟ දන ගහන්න වෙනවා.”

‘‘ඒක නම් ඇත්ත. මොකද අපි කරන්නේ.”

‘‘අපිට සෙකන්ඞ් වෙන්න බැහැ. මූව ඉවරයක් කරලා දාන්න ඕනා.”

‘‘අයිඩියා එක නම් හොඳයි. එකපාරටම එහෙම කරන්නේ කොහොමද?”

‘‘හිත හිතා ඉන්න කාලයක් නැහැ. අද හෙටම මූට ගේම දෙන්න ඕනා. එහෙම නැති වුණොත් වෙන්නේ මුගේ අතින් අපිට මැරුම් කන්න. පේනවනේ මූ අපිට විරුද්ධව කියන දේවල්.”

‘‘ඒක තමයි මමත් කියන්නේ කල් දාන්න හොඳ නැහැ.”

‘‘මම කියන්නේ අදම ප්ලෑන් කරමු ෆවාස්ට ගහන විදිහ.”

‘‘මගේ ළඟ නම් පොඩි අයිඩියා එකක් තියෙනවා. දැන් දවස් ගානක ඉඳලා මම කියන්න හිටියේ උඹලට.”

‘‘මොකක්ද ඒ අයිඩියා එක.”

‘‘මිනිහව ගෙවල් ළඟදීම කපලා ඉවරයක් කරලා දාමු. ඒක හරිම ලෙහෙසියි. හැබැයි වැඬේ දෙන්න ඕනා රෑට. එකොළහට විතර එතකොට මිනිහා ඉන්නේ තනියෙන්.”

‘‘ඒකනම් නියම අදහස.”

‘‘කපන්න අවශ්‍ය කඩු ටික ළඟ තියෙනවා. වාහනයක් තිබුණනම් ගේම ලේසියෙන්ම ගහලා එන්න පුළුවන්.”

‘‘මගේ යාළුවෙක් ඉන්නවා කැලණියේ. මිනිහා ළඟ කාර් එකක් තියෙනවා මට ඕන නම් ඉල්ල ගන්න පුළුවන්.”

‘‘නියමයි උඹ කාර් එක ඉල්ල ගනින්. මම දිනයක් කියන්නම්. කඩු ටිකකුත් දාගෙන අපි හතර දෙනා ගේ මට බහිමු. වැඬේ කල් දාන්න නරකයි. අපේ එක්කෙනෙක් යවලා දවස් දෙක තුනක් හොයලා බලමු මිනිහා ගැන.”

‘‘ඔව් ඒක හොඳයි. එහෙනම් තව දවස් දෙක තුනකින් කෙසෙල්වත්තේ ෆවාස්ට අපි ටිකට් එක දෙනවා.”

මැරයන් සිව් දෙනා එලෙස කතා කරගත් පරිදි පසු දින සිටම ෆවාස් ඝාතනය කිරීම සඳහා සූදානම් වූහ. දින කිහිපයක් ඔහු යන එන තැන් පිළිබඳව මොවුහු ඔත්තු බැලූහ. එයට අමතරව හොඳින් කැපෙනා කඩු කිහිපයක් ද මොවුන් සොයා ගත්තේය. ඒ ෆවාස්ව කපා කොටා ඝාතනය කිරීම සඳහාය.

සියලූ දේ හොඳින් නිරීක්ෂණය කළ එම මැරයින් සිව්දෙනා ෆවාස් ඝාතනය කිරීමට දිනයක් යොදා ගත්හ. ඒ පසුගිය 4 වැනිදා රාත‍්‍රී කාලයේදීය. එදිනම එක් පාතාල මැරයෙකු කැලණියේ සිටින මිතුරාගේ මෝටර් රථය ඉල්ලා ගත්තේය.

රාත‍්‍රීය උදාවිය. ෆවාස් කෙසෙල් වත්ත පරණ යොන් වීදියේ නිවස ආසන්නයේ සිටියේය. ඒ වන විට රාත‍්‍රී 12 පසුවී තිබුණි. දුර තියා සුදු පැහැති මෝටර් රථයක් පැමිණෙනුු ඔහු දුටුවේය. එහෙත් ඔහු ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත. එලෙස පැමිණි සුදු පැහැති මෝටර් රථය එක්වරම ඔහු ආසන්නයේ නතර කළේය.

ෆවාස් නතර කළ මෝටර් රථය දෙස බැලූවේය. ඒ සමගම කඩුවක් අතින් ගත් පුද්ගලයෙකු මෝටර් රථයෙන් එළියට පැමිණියේය. සිදුවන්නට යන දේ ඉවෙන් මෙන් ෆවාස්ට දැනුණි. දිවි බේරා ගැනීම සඳහා ඔහු එම ස්ථානයෙන් පැන දිව්වේය. එහෙත් ඔහුට දිවීමට හැකි වූයේ අඩි කිහිපයක් පමණි. පසුපසින් පැමිණි පාතාල මැරයා ඔහුට කඩු පහරක් එල්ල කළේය. එම කඩු පහරට ඔහුව බිම ඇදගෙන වැටුණි. ඒ සමගම එම මැරයා බිම වැටී සිටි ඔහුට තවත් දරුණු කඩු පහරක් එල්ල කළේය.

‘‘මෙන්න මාව මරනවා. මාව බේරගනියෝ” කියමින් ෆවාස් විලාප තැබුවේය. එහෙත් කිසිවකුත් ඔහු බේරා ගැනීමට එම ස්ථානයට පැමිණියේ නැත. මෝටර් රථයේ සිටි අනෙක් මැරයන්ද පැමිණ ජීවිතය යදිමින් සිටි ෆවාස්ට දරුණු ගණයේ කඩු පහරවල් කිහිපයක් එල්ල කළේය. එම පහරවල්වලට ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගියේය. එලෙස කිසිදු බාධාවකින් සහ බියකින් තොරව ෆවාස්ව ඝාතනය කළ පාතාල මැරයෝ පැමිණි මෝටර් රථයෙන්ම නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පලා ගියහ.

පැය කිහිපයක් ගත වූ පසු ෆවාස්ව එලෙස කපා කොටා ආමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටම දැන ගත්හ. ඝාතකයන් සිතුවේ කිසිදු සාක්ෂියක් නොමැති නිසා කිසිදිනක තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වන බවයි. එලෙස සිතූ ඔවුන් මත්පැන් පානය කරමින් ෆවාස් ඝාතනයේ සතුට භුක්ති වින්දහ. එහෙත් එම මැරයන් සිතූ ලෙස එසේ සිදු නොවුණි. අසල තිබූ සීසීටීවී කැමරාවක ඝාතකයන් පැමිණි ආකාරයත්, ඔවුන් ෆවාස්ව කපාකොටා ඝාතනය කරන ආකාරයත් මනාව සටහන් වී තිබුණි.

සීසීටීවී කැමරා ඔස්සේ පොලිස් නිලධාරීහු පරීක්ෂණ ඇරඹූහ. එහිදී මුලින්ම ඝාතකයන් පැමිණි එම සුදු පැහැති මෝටර් රථයේ අංකය සොයා ගත් පොලිසිය එහි අයිතිකරු පිළිබඳ සොයා බැලූවේය. ඉන්පසු ලද තවත් තොරතුරු මත පසුගිය හත්වැනි දා මෙම ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මිහිරාස් සයිබුපුල්ලේ නොහොත් අනුෂ්ක උදයංග අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනා සහ ඒ සඳහා භාවිතා කළ කඩු ආදියද සොයා ගැනීමට හැකිවිය. එයට අමතරව ෆවාස් ඝාතනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථයද කැලණිය පන්සල ආසන්නයේ මාර්ගයක නවතා දමා තිබියදී ප‍්‍රධාන සැකකරුගේ තොරතුරකට අනුව සොයා ගැනීමට හැකිවිය. එහිදී මෝටර් රථය තුළ තිබී ලේ පැල්ලම් කිහිපයක්ද හමුවී ඇත. අවුරුදු තිස් දෙකක් වයසැති ෆවාස් ඝාතනයේ සැකකරුවන් සිව් දෙනා වයස අවුරුදු විසි එකත්, තිස් එකත් අතර පසුවන අය වේ.

මියගිය කෙසෙල්වත්තේ දිනුක නමැති පුද්ගලයාගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමක් නිසා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ මහෙස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතා ලබන විසිඑක් වැනි දා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට අනෙක් පාර්ශ්වයෙන් මරණීය තර්ජන ඇති නිසා ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක කේ. එම්. සී. කුමාරසිරි, උප පොලිස් පරීක්ෂකවරුන් වන දුනුසිංහ, සන්චිතන්, මධුශංක, බණ්ඩාර, පියමන්ත, පොලිස් සැරයන් (51237) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (69480) කුමාර, (70450) අමිල, (82631) අනුරුද්ධ, (74245) රත්නායක, (88139) ලසන්ත, (84333) වික‍්‍රමනායක, (91691) චතුරංග, 97143 ජයලත්, (97137) ලසන්ත යන මහත්වරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment