කෙළවා නොගන්නා ලෙස කරන ආදරණීය ඉල්ලීම…

2235

1948 දී ශ‍්‍රී ලංකාව නිදහස් රටක් වීමෙන් පසු මේ රටේ පාලනයට සම්බන්ධ වූ දේශපාලන පවුල් අතර Branded පවුල් හෙවත් සන්නාමධාරී පවුල් කිහිපයක් සිටියහ. ඉන් පළමුවැන්න සේනානායක පවුලය. ඒ පවුලේ පියා මුලින් රට පාලනය කළේය. ඊළඟට පුතා රට පාලනය කළේය. මේ පවුලේ තවත් අය භාගෙට දේශපාලනයට සම්බන්ධ වූ නමුදු ස්වකීය දේශපාලන ගමන ඉදිරියට ගෙන ගියේ නැත. එහෙත් එම පවුලේ මී මුණුබුරකු වූ වසන්ත සේනානායක පමණක් ගෙම්බකුගේ චරිතයක් නිරූපණය කරමින් සිට අතුරුදන් විය. බණ්ඩාරනායක පවුලද Branded දේශපාලන පවුලකි. ඒ පවුලේ පියාද, මවද, දුවද මේ රට පාලනය කළහ. අතිශයින් බුද්ධිමත් මිනිසකු වූද කෘතහස්ත දේශපාලකයකු වූද මේ රටේ පාර්ලිමේන්තුව තුළින් බිහිවූ හොඳම කථිකයකු වූද අනුර බණ්ඩාරනායක හෙවත් ඒ පවුලේ පුතා කෙටි ජීවිතයක් ගතකොට ඉක්මනින් මළේය. ඒ නිසා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ප‍්‍රමුඛ චරිතයක් වීම විනා ලංකාව පාලනය කරන්නට තරම් අවස්ථාවක් ඔහුට ලැබුණේ නැත. ඊළඟට රට පාලනය කළෝ ජයවර්ධනවරුය. එයද Branded දේශපාලන පවුලකි. මේ පවුලේ එකම පුතා රට ජාතියට මහත් ලැදියාවක් දැක්වූ දේශපාලනය අප‍්‍රිය කළ රණකාමියෙකි. ඔහුගේ නම රවී ජයවර්ධනය. පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයවීමට පුරෝගාමී වූ හෙතෙම අප‍්‍රකටව ජීවත් වී අප‍්‍රකටවම මළේය. අවසන් වශයෙන් අපි රාජපක්ෂ පවුල ගැන කතා කරමු. මෙය විශාල පවුලකි. මේ පවුලේ අයියා ද මල්ලී ද මේ රට පාලනය කර ඇත. ඊට අමතරව මේ රටේ දේශපාලන ආයතන සෑහෙන ගණනකද පාර්ලිමේන්තුව තුළ ද රාජපක්ෂ ඥාති සමූහයා පිරී ඉතිරි පවතී. ඊට අමතරව වික‍්‍රමසිංහ පවුල ගැනත් විජයවර්ධන පවුල ගැනත් කතා කළ යුතුමය. එක් වික‍්‍රමසිංහ කෙනෙක් මේ රටේ අගමැති ලෙස පස් වතාවක් කටයුතු කළේය. ඒ රනිල් වික‍්‍රමසිංහය. විජයවර්ධන පවුලේ ඞී. ආර්. විජයවර්ධන පශ්චාත් නිදහස් සමයේ මේ රටේ දේශපාලනය හැසිරවීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් කළ අයෙකි. විජයවර්ධන පවුලේ ප‍්‍රමුඛ චරිතය වූ උපාලි විජයවර්ධන මෙරට දේශපාලනයේ ප‍්‍රමුඛ භූමිකාවක් අරඹා එකෙනෙහිම අතුරුදන් විය. ඒ අතර මේ රටේ පොදු ජනතාවගෙන්, විශේෂයෙන් ඡුන්ද දායකයන්ගෙන් වැඩිදෙනා නොදන්නා කාරණයක් තිබේ. ඒ වූ කලී පෙර කී පවුල් සියල්ලම එකිනෙකාට ඥාතීන් වන බවය. එනම් බණ්ඩාරනායකවරු, සේනානායකවරු, ජයවර්ධනවරු, වික‍්‍රමසිංහවරු එක පවුල් මූලයකින් එන හෝ පවුල් මූල කිහිපයකින් පැමිණ එක තැනකදී බාප්පලා, මහප්පලා, අයියලා, නංගිලා, නෑනලා, මස්සිනාලා සහ තාත්තලා, පුතාලා වන බවය. මේ රටේ කෘතහස්ත වාමාංශික දේශපාලනඥයන් වූ එන්. එම්. පෙරේරා, එස්. ඒ. වික‍්‍රමසිංහ, කොල්වින් ආර්. ද. සිල්වා, පීටර් කෙනමන්, ෆිලිප් ගුණවර්ධන යනාදීහු පෙර කී ඥාති ජාලය සමග කිසිදු සම්බන්ධයක් නැත. ඒ කාරණය නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ මේ රටේ දේශපාලන ජාලය තුළ ඒ මිනිසුන්ට තිරසාර තැනක් තිබුණේ නැත. පේ‍්‍රමදාස ලා සම්බන්ධ කතාව මෙසේය. නොදත් පරපුරකින් නොදත් විටෙක නොදත් තැනකින් මතුවූ ආර්. පේ‍්‍රමදාසට ගොඩ එන්නට ඉඩ දුන්නේම නැත. සජිත් ගැන මෙහිදී කතා කරනු නොලැබේ. ඔහු ගොඩයන බවක් හෝ ඔහු මගින් ජනතාව ගොඩයන බවක් මේ රටේ බහුතරයට තවමත් සාධාරණ ලෙස නොවැටහේ.

 ඉහත කී දිරාගිය සහ ගතානුගතික දේශපාලන වලව්ව තුළ සිටි, එහෙත් එම ගතානුගතිකත්වයේ තවදුරටත් එල්ලී සිටීම ප‍්‍රතික්ෂේප කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් පලවාහැරීම මේ රටේ දේශපාලන ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් වනවා ඇත. අපගේ වැටහීමට අනුව වීරවංශ සහ ගම්මන්පිල ආණ්ඩුවෙන් නිදහස් වීම සඳහා ඔවුන් නෙරපා දැමීමේ අවස්ථාව ආණ්ඩුව සිය කැමැත්තෙන් ලබා දුන්හ. එනම් ආණ්ඩුවෙන් ගැලවී වෙනම Pressure Group එකක් වීමට ඔවුන්ට වුවමනා විය. එම අවස්ථාවේ ප‍්‍රයෝජනය ගනිමින් Pressure Group එකක් වනු පිණිස ඔවුන්ට ඉඩ හළ ආණ්ඩුව, ආණ්ඩුවෙන් ගැලවී යෑම සඳහා අවශ්‍ය පසුබිම ඔවුන්ට ලබා දුන්නේය. මෙහිදී ලොකු තාක්ෂණික දෝෂයක් සිදුවිය. ඒ වූකලී වීරවංශ සහ ගම්මන්පිල කණ්ඩායම ඇතුළත් වන ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 ක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 16 දෙනෙක් ආණ්ඩුවෙන් ගැලවී යෑමය. මෙසේම ගැලවී යෑමට කැමති තවත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටී. ඒ වූකලී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහිද මන්ත‍්‍රීවරුන් 16 දෙනෙක් සිටිති. එහෙත් ඇමැතිකම්වලට තිබෙන පෙරේතකම නිසා මේ 16 ම ආණ්ඩුවෙන් ගැලවීමට ඉඩ නැත. ඒ අතර ආණ්ඩුවට තියුණු ප‍්‍රතිපත්තිමය ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන තවත් බලවේගයක් වෙයි. ඒ බලවේගයේ නම කුමාර වෙල්ගම නමැති යුද ටැංකිය ය. ඔහුගේ නව ලංකා නිදහස් පක්ෂය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බූදල් අයිතිකාරියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග ද සිටී. අප කොපමණ බයිලා කිව්වත් පක්ෂ දේශපාලනය අයත් වන්නේ පොදු ජනතාවට නොවේ. ඒවා අයත් වන්නේ ඒවා හැදූ පුද්ගලයන්ට සහ ඒ අයගෙන් පැවත එන අයටය. එබැවින් සියලූ දේම පුද්ගල කේන්ද්‍රීය කක්ෂයක් වටා භ‍්‍රමණය වන බව ආණ්ඩුව සිහි තබාගත යුතුය. ශ‍්‍රී ලංකාව බෙහෙවින් තීරණාත්මක අවස්ථාවක තිබෙන මේ මොහොතේදී මේ ආණ්ඩුව කඩා වැටිය යුතු බවක් අප කිසිසේත් ප‍්‍රාර්ථනා නොකරමු. එබන්දක් සිදුවුවහොත් රට අරාජික වී මළ ජංජාලයක් වන්නේය. මේ රටේ ආර්ථික මිනී පෙට්ටියට කර ගැසීමට කිසිදු දේශපාලන පක්ෂයක් මේ වෙලාවේදී සූදානම් නැත. ඒ නිසා බැලන්ස් කරගෙන ඉදිරි අවුරුදු තුන කොහොමහරි ඇදගෙන යන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. ඔසාමා බින් ලාදින් ගේ ප‍්‍රහාරයේදී ඇමරිකාවේ World Trade Center ගොඩනැගිල්ල කඩා වැටුනේ පොල් ගහක් කැපුවාක් මෙන් පැත්තකට නොව එම ගොඩනැගිල්ල තුළටමයි. එය උස් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයකි. එහෙත් ආණ්ඩුවක් කඩා වැටුනොත් එහි විභවය හතර වටේටම දැනේ. මේ නිසා සහෝදරවරුනි, කෙළවා ගන්න නම් එපා !

advertistmentadvertistment
advertistmentadvertistment