කේක්ගෙඩිය බාගෙට කපද්දී පොලිසියෙන් පැනලා

335

නිරෝධාන නීති සහ සංචර නීති උල්ලංඝණය කරමින් කැස්බෑව, හල්පිට ප‍්‍රදේශයේ හෝටලයක උපන් දින සාදයක් ජයටම පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් 5 දෙනා ඇතුළු දසදෙනා පෙරේදා (09 වැනිදා* කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් 4000/= බැගින් වූ දඩ නියම කිරීමට මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියම කළේය.
 
 ඊට අමතරව එම සැකකරුවන් හා සැකකාරියන්ට එරෙහිව සෞඛ්‍ය උපදෙස් ක‍්‍රියාත්මක කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. මෙලෙස දඩ නියම කෙරුණේ වයස අවුරුදු 28 ත් 55 ත් අතර වයසේ පසුවන කුලියාපිටිය, හෝමාගම, පිළියන්දල, නිට්ටඹුව,හෝකන්දර, පන්නිපිටිය, කඩුවෙල, රඹුක්කන යනාදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් දසදෙනකුටය. කැස්බෑව, හල්පිට ප‍්‍රදේශයේ හෝටලයක් තුළ අධික ශබ්දයෙන් සංගීතය දමා සාදයක් පවත්වන බවට පොලිසිය ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් සමග ඔවුන් පානය කළ බව කියන දුම්වැටි, ගංජා සහ උපන් දින කේක් එකක අඩක් කපද්දී පොලිස් භාරයට ගත් බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. කැස්බෑව පොලිසියේ අධිකරණ කටයුතු භාර සැරයන් දිනේෂ් මහතා සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කැස්බෑව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ එස්. ඞී. අබේසිංහ. – මහරගම.

advertistmentadvertistment
advertistmentadvertistment