කේන්තිය සහ එහි ආදීනව

1134

බෞද්ධ දර්ශනය තුළ බෙහෙවින් කතාබහට ලක්වන වැදගත් චිත්තවේගයක් ලෙස තරහව හැඳින්විය හැකිය. තරහව සෘනාත්මක චිත්තවේගයකි. තරහව එහි විවිධ මට්ටම් අනුව දෝස, ව්‍යාපාද, පටිඝ, ක්‍රෝධ, ආදී වචන සමූහයකින් හඳුන්වනු ලබයි. එමෙන්ම, තරහව ඊර්ෂ්‍යාව, මසුරුකම, හීනමානය ආදී තත්වයන් සමගද සම්බන්ධ වන බව පෙනේ. මෙහි දෝස යන්න ප‍්‍රධාන අකුසල මූලය වන අතර ව්‍යාපාද හා පටිඝ යන්න එහි උච්චතම අවස්ථාවන් ලෙස දැක්විය හැකිය. එය පරුෂ වචනයේ සිට විනාශකාරී චර්යාවන් සඳහා පේ‍්‍රරණය කිරීමට හේතුවක් වෙයි.

පංච නීවරණ අතර ව්‍යාපාදය නීවරණ ධර්මයක් ලෙස දැක්වෙන අතර විසුද්ධිමග්ගයේ විස්තර වන චරිත විග‍්‍රහයෙහි චරිත හය අතුරින් දෝස චරිතය එකක් වෙයි. ධම්මපදයේ කෝධ වග්ගය තරහව, එහි ස්වභාවය හා පාලනය කරගැනීම පිළිබඳව පෙන්වාදීම සඳහාම වූ වග්ගයකි. ත‍්‍රිපිටකයෙහි ඇතුළත් මෙවැනි කොතෙකුත් දේශනාවන් කේන්තිය පාලනය කරගැනීම සඳහා උපයෝගී කරගත හැකිය.

ආචාර්ය කිරින්ඳේ ධම්මානන්ද නාහිමිපාණෝ සිය දුක් බිය නැති ජීවිතය නමැති ග‍්‍රන්ථයේ කෝපය යනු අපගේ ඇස් මද වේලාවකට නිලංකාර කරමින් එල්ලවන සැර ආලෝක ධාරාවක් බවත්, එයින් අපේ ඇස් නිලංකාර වුණු විට අපට තාවකාලිකව නිසිලෙස නොපෙනී යන බවත්, කෝපය පැමිණි විට අප අන්ධ වී අසාධාරණ ලෙස ක‍්‍රියා කිරීමට පටන් ගන්නා බවත් සහ පාලනය කොට ගත නොහැකි කෝපය නිසා ඉමහත් කායික හා මානසික පීඩා ඇති වන බවත් අවධාරණය කරති.

පෘථග්ජන අප කාටත් ඕනෑම මොහොතක කුමන කරුණක් නිසා හෝ තරහ ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. ජීවිතයේ කවර දිනෙකවත් තරහා

නොගිය කෙනෙක් සොයා ගත නොහැකිය. අපට තරහක් ඇති වන්නේ තව කෙනෙක් නිසාය. මෙයට මුල් වන්නේ වෙනත් අයකු වුවත් තරහ ඇති වන්නේ අපේ සිතේය. එනිසා අනිකකු ඇති කරන දෙයක් හේතුවෙන් අපේ සිතට මහත් අලාභයක් සිදු වෙයි. එසේ නම් අපට වන ඒ අලාභය, පාඩුව නැති කර ගන්නේ කෙසේද?

දැන්, මේ මොහොතේ කිසිවකු ඔබව කෝපයට පත් කරවන දෙයක් කීවේ හෝ කළේ යැයි සිතන්න. ඒ අනුව දැන් ඔබේ සිතේ තරහක් ජනිත වී ඇත. ඔබට තරහක් ඇති වූ විට ඔබේ සිතට එය ඔබෙන් සඟවා ගැනීමට හැකියාවක් නැත. එසේනම් මගෙ හිතේ දැන් තරහක් ඇති වී තිබේ යනුවෙන් ඔබ ඒ තරහ හඳුනා ගත යුතුය. තරහ දුරු කර ගන්නට නම් මුලින්ම තරහක් සිතේ ඇති වී තිබෙන බව දැන ගත යුතු වෙයි.

මීළඟට ඔබ මෙසේ කල්පනා කළ යුතුයි. මේ කෝප සහගත සිතිවිල්ල නිසා ඔබට සිදුවන හානි බොහෝය. ඔබේ සිරුර වෙව්ලයි. ලේ ගමනා ගමනය වේගවත් වෙයි. මුහුණ අඳුරු වෙයි. මුහුණේ මස් පිඬු ඇද වී ගොස් ඔබේ මුහුණේ විකෘති පෙනුමක් ඇතිවේ. ඒ අනුව මුහුණ මුළුමනින්ම අවලස්සන වෙයි. මූණට අබ අහුරක් දැම්මත් පුපුරනවා යැයි තරහ ගිය අය ගැන සමහරුන් කියන අන්දම ඔබත් බොහෝ විට අසා ඇතිවාට සැක නැත. එයට හේතුව තරහ ගිය විට ඇෙඟ් රුධිරය උණුසුම් වීමය. මෙවැනි දේවල්වලින් ඔබට සිදුවන අවැඩ මෙනෙහි කරන්න. පාඩුව මෙනෙහි කරන්න. නිතර තරහ යන කෙනෙකුගේ ලේ ධාතුව අපිරිසිදු වෙයි. එනිසා අධි රුධිර පීඩනය, ගැස්ට‍්‍රයිටිස් ආදී වූ ලෙඩ රෝග රාශියක් හට ගත හැකිය. රුධිරයේ සීනි මට්ටම වැඩි වීමටත් නිතර හට ගන්නා තරහ බලපායි. එසේම තරහ සිතිවිලි ක‍්‍රියාත්මක වීම තුළ ඔබට ලැබෙන්නට නියමිත ලාබ පවා අහිමි වී යන්නට පුළුවන. ඔබට පමණක් නොව ඔබ නිසා ඔබේ සමීපතමයන්ට පවා පාඩු සිදුවීමට ඉඩ ඇත. එසේම ඔබේ තරහව නිසා බිරිඳ/දරුවන් රෝගී වීමට වුව හැකියාව තිබේ. තරහ උපරිමයට ගිය විට සිය දිවි නසා ගැනීමට, ඔබව කෝපයට පත් කළ පුද්ගලයා මරා දැමීමට, ඒ පුද්ගලයා මරා ඔබත් සිය දිවි නසා ගැනීමට වුව සිතක් ඇති වන්නට බැරි කමක් නැත. ඔබ තුළ තරහවක් ඇති කළේ යම් දෙයක් අහිමි වීම නිසා නම් ඒ අහිමි වූ දෙය තව කෙනෙකුට හිමි වීම වැළැක්වීම සඳහා එය විනාශ කර දැමීමට වුව ඔබ පෙළඹෙන්නට බැරි කමක් නැත.

අනෙක් අතට තරහ පදනම් කර ගෙන එයට ප‍්‍රතිචාර දක්වන්නට යාම තුළ ප‍්‍රතිවාදියාගෙන් එල්ල වන ප‍්‍රහාරයක් නිසා සදාකාලික ආබාධිත වීමට, මිය යාමට, දේපොළ අහිමි වීමට, සිර දඬුවම් විඳීමට පවා සිදු විය හැකි බව අමතක නොකළ යුතුය. එනිසා සිතේ තරහක් හෙවත් ද්වේෂයක් හට ගත් කල එය නැති කර ගන්නේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් වනු ඇත.

කේන්තිය පාලනය කරගැනීමට බුදු දහමේ එන ඉගැන්වීම් පිළිබඳ ඊලඟ ලිපියේදී සාකච්ඡා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment