කේරළයේ නිපා ගැන තවත් සති තුනක් අවධානයෙන් ඉන්නැයි ප‍්‍රාන්ත රජය කියයි

138

දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කේරළයේ මතුව ඇති මාරාන්තික ‘නිපා’ වෛරස් ආසාදනය සම්බන්ධයෙන් තවත් සති තුනක කාලයක් දැඩි අවධානයෙන් පසු වන ලෙස කේරළයේ සෞඛ්‍ය ඇමැතිනි වීන ජෝජ් ඉන්දීය රජයට දැනුම් දී තිබේ.

මෙම වෛරස් ආසාදනයෙන් ඉකුත් ඉරිදා (05දා) මිය ගිය 12 හැවිරිදි පිරිමි ළමයාගේ දෙමවුපියන් ඇතුළු සමීප ආශ‍්‍රිතයන් 46 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව පෙරේදා (08දා)  දිනයේ පරීක්ෂණ ප‍්‍රතිපලවලින් තහවුරු වී තිබුණද අවදානම තවමත් පහව ගොස් නොමැති බව සෞඛ්‍ය ඇමැතිනිය පවසා තිබේ.

ඊයේ (09දා) දිනය වන විට නිපා වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ සෞඛ්‍ය සේවකයන් ඇතුළු 50 දෙනෙකු රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි අතර මිය ගිය ආසාදිත ළමයාගේ ආශ‍්‍රිතයන් 190 දෙනෙකු පමණ සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කර තිබිණි. නිපා වෛරසයේ කවුළු සමය සති තුනක් වීම හේතුවෙන් එම වෛරස් ආසාදනය පැතිරීම පාලනය කිරීම සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ක‍්‍රියාත්මක වන බව කේරළ ප‍්‍රාන්තයේ සෞඛ්‍ය ඇමැතිනිය පවසා තිබේ.

මෙම වෛරස් ආසාදනය වවුලන්ගෙන් පැමිණෙන්නට ඇති බවට වෛද්‍ය අංශ සැක පළ කළද මිය ගිය ආසාදිත ළමයා වාසය කළ කොසිකෝඬේ ප‍්‍රදේශයේ බහුලව වෙසෙන වල් ඌරන්ගේ තරල සාම්පල ද පරීක්ෂණය සඳහා ලබා ගත් බව එම අංශ කියයි. කොරෝනා වසංගතය දැඩි ලෙස ප‍්‍රාන්තය තුළ පැතිරෙමින් තිබීම නිසා පනවා ඇති සංචරණ සීමාවන්ද නිපා වෛරස් ආසාදනයේ පැතිරීම මෙතෙක් පාලනය කිරීමට හේතු වූ බව ඉන්දීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

සංස්කරණය  – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment