කොකා පෙන්වන්න ගිහින් ෆිෆාට අපව එපා වෙයිද?

285

මේ පාපන්දු කීඩාවේ බර අවි ගැටෙන කාලයයි. ක්‍රීඩකයන්ගේ බර අඩි එකිනෙක හැප්පී ගෝල් රැස් කරනු වෙනුවට බර අවි හැප්පී ලකුණු රැස්කරගන්නා කාලයක් දැන් උදාවී ඇත. එය මෙසේය.

එකෙක් අනෙකාට බනිති. දොස් කියති. හොරා යැයි කියති. අනෙකා ද ඊට නොදෙවැනිව පෙරළා පහර දෙති. තමන් හැර හැමෝම හොරුන් යැයි ඔහු කියයි. මේ කණ්ඩායම් දෙක අතර සිටිමින් තම මඩිය තරකර ගන්නා පිරිසක් ද වෙයි. මගේ කැමැත්ත ඔබට යැයි කියා ඔහුගෙන් මුදලක් කඩාගෙන අනෙක් පාර්ශ්වය හමු වූ විට පෙර මුදල් දුන් තැනැත්තාට බැන ඔහුගෙන්ද මුදලක් කඩා ගනී. මෙසේ පාපන්දු පිටියේ අපූරු නාටකයෙකි.

මේ නාටක මධ්‍යයේ මෙරට පාපන්දු ක්‍රීඩාව පෙර නොවූ විරූ අවදානමකට ද මුහුණ දී ඇත. ඒ ජාත්‍යන්තර අවදානමකි. රට ඇතුළේ නම් කුමක් හෝ බේරා ගත හැක. එහෙත් රටින් පිට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයටත් වඩා බලවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග නම් සෙල්ලම් කළ නොහැක. ඔවුන් සමග කළ හැකි එකම සෙල්ලම නම් පාපන්දු පමණි. ඒ බව අපට වඩා හොඳින් අසල්වැසි ඉන්දියාව දනී. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉන්දියාවට ජාත්‍යන්තර තහනමක් පැනවීය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඉන්දියාවට ගැති වුවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉන්දියාවට එම තහනම පනවන්න දෙවරක් සිතුවේ නැත. ඔවුන්ට ඉන්දියාව ලොකු නැත්නම් අප කවුරුන්ද? ශ්‍රී ලංකාවද දැන් සිටින්නේ මේ ජාත්‍යන්තර තහනම අබියසය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හෙවත් ෆිෆා හි නීති රෙගුලාසිවලට පිටින් යෑමට සාමාජික රටවල්වලට නොහැක. එසේ ගියහොත් නැති ලෙඩ වැටේ. දැන් අපි ඒ නැති ලෙඩ ඇඟට දාගන්න යන කාලයක් උදාවී ඇති බවට අනතුරු පහළ වී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ද ඒ බව ප්‍රකාශ කළේය. එමෙන්ම තවත් පිරිස් ඒ ප්‍රකාශය තහවුරු වන අයුරින් අදහස් දැක්වූහ. ඇතැම්විට මේ සටහන ඔබ කියවන විට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබෙන්නට ද පුළුවන. එවැන්නක් සිදුවී තිබුණොත් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ පළමු අවස්ථාව එය වනු ඇත.

එසේ වූවා නම් ඒ කුමක් නිසා දැයි සඳහන් කරනවිට කරුණු කීපයක් මතු වේ. ප්‍රධාන කාරණය පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමයි. දෙවැන්න එය විසුරුවා හැර අතුරු කමිටුවකට එහි පරිපාලනය භාර දීමය. එහෙත් මේ සටහන තබන අවස්ථා වන විටත් මින් දෙවැනි දෙවැනි කාරණය ඉටු වී නොමැත. එසේ හෙයින් තවමත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවී නොමැත.

පාපන්දු සම්මේලනය විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීම යනු තුන්වෙනි පාර්ශ්වයකි. තුන්වෙනි පාර්ශ්වයක් රටක පාපන්දුව මෙහෙයවනු දැකීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට කැප නොවේ. ඉන්දියාවට වුණේ ද මේ දෙයමය. ඉන්දීය පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ප්‍රෆුල් පටෙල් නම් වේ. ඔහු විසින් ප්‍රධානත්වය දරන ලද සම්මේලනයට විරුද්ධව උසාවියේ නඩුවක් විභාග විය. ඒ අනුව සදාචාරාත්මක ලෙසින් ප්‍රෆුල් කළ යුතුව තිබුණේ ඉන්දීය පාපන්දු සභාපති ධුරයෙන් ඉවත් වීමයි. එසේ නොකළ ප්‍රෆුල්ව ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්ව එම තනතුරෙන් නෙරපා දමන ලදී. ප්‍රෆුල් නෙරපූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් නොනැවතී අතුරු කමිටුවක් ද පත් කළේය. එතැන් පටන් ඉන්දියාවේ පාපන්දු බලධාරියා වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද අදාළ කමිටුවයි. මේ කමිටු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පිළිගන්නේ නැත. ඒ අනුව ඉන්දියාවට දඬුවම් කළ ජාත්‍යන්තර පාපන්දු ලොක්කෝ ඉන්දියාවට අදාළ තහනම පැනවූහ. මේ මස 10 වෙනිදා සිට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියද ඒ සමග ඉන්දියාවට අහිමි විය. එහෙත් අවසානයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අදාළ රෙගුලාසිවලට යටත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලය මත මාසයකටත් අඩු කාලයක් තුළදී ඉන්දියාව අදාළ තහනමින් නිදහස් විය. 17න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයද යළි ඔවුන්ට හිමිවිය.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ අපට ය. බැරි වෙලා හෝ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනම පැනවුණහොත් අපේ රටේ ක්‍රීඩකයන්ට කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමට නුපුළුවන. පාපන්දු සංවර්ධන වැඩසටහන්, ජාත්‍යන්තර ක්‍රීඩක හුවමාරු ඇණහිටී. කොටින්ම අපේ පාපන්දුව මේ කරදිය වළල්ලෙන් එහා ට යන්නේ නැත. එතැන් පටන් අපට පාපන්දු සම්බන්ධයෙන් ලොවෙන් හුදෙකලා වූ රටක් ලෙස කල් ගත කිරීමට සිදුවේ.

එහෙත් පසුව ෆිෆා එකට අවශ්‍ය ලෙස කටයුතු සිදුකර ඉන්දියාව මෙන් තහනම ඉවත් කරගත හැක. නමුත් එය හිතන තරම් ලේසි කාරණයක්ද නොවේ. මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයාගේ පැත්තෙන්ද වැදගත් රාජකාරියක් පැවරේ. ෆිෆා බලධාරීහු මෙරට ක්‍රීඩා ඇමති පිළිගනිති. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ෆිෆා බලධාරීන් සමඟ සාකච්ඡා කර පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහ සභාව කැඳවා ව්‍යවස්ථාවට වැඩ කරන බව පෙන්වා තහනම ඉවත්කර ගැනීමයි.

මෙවැනි ජාත්‍යන්තර තහනමක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ද 1982 සහ 1991 වසරවලදී පැනවුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. එහි මුල් අවස්ථාව 1982 ආසියානු තරගාවලියෙන් පසුව සිදු වී ඇත. එවකට මලල ක්‍රීඩාවේ ජාත්‍යන්තර බලධාරියා හැඳින්වූයේ ලෝක මලල ක්‍රීඩා ආයතනය ලෙසයි. දැන් එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය වේ. 1982 වසරේ ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ කටයුතු ඈවර කර පත් කරන ලද අතුරු කමිටුව ලෝක මලල කීඩා ආයතනයේ දෝෂ දර්ශනයට ලක්විය. එහි අතුරු ඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් පැනවුණි. එම තහනම වසරක් පමණ කාලයක් පැවති බව කියැවේ. එහෙත් 1991 වසරේ දී පැනවුණු දෙවෙනි තහනම නම් ඉක්මනින් ලිහා ගෙන ඇත.

දැන් යළිත් පාපන්දුව දෙසට එමු.

පාපන්දු ව්‍යස්ථාව සංශෝධනය කරනවා යැයි කියමින් පොරොන්දු වෙමින් එය නිසි වේලාවට ඉටු නොකළ බවට හිටපු සභාපති ජස්වර් උමර් ට චෝදනා එල්ලවෙයි. එහෙත් ඔහු පවසන්නේ ඒ සඳහා තමන්ට අවශ්‍ය තරම් කාලයක් නොතිබූ බවයි. පසුගිය 2021 වසරේ ජූලි මාසයේ බලයට ආවද කොවිඩ් ප්‍රශ්නයත්, ඉන් පසුව උදාවූ ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රශ්නත් හේතුවෙන් තමාට වැඩ කරන්න ලැබුණේ දින 180 ක් තරම් කෙටි කාලයක් බවයි. එසේම ඔහුට මුදල් වංචා චෝදනා ද එල්ල වේ. ඒ චෝදනා වැරදි යැයි කියනා ඔහු හිටපු පාපන්දු නිලධාරීන්ගේ කර මතට තවත් චෝදනා කිහිපයක් එල්ල කරයි. එහෙත් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒ පිළිබඳ සියල්ල දන්නවා ඇත.

දැන් පාපන්දු නිලවරණයට දිනයක්ද නියම කර ඇත. ඒ ලබන 23 වැනි දා ය. මේ යන ආකාරයට එදින හෝ මෙම මාසයේවත් නිලවරණයක් පවත්වන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩුය. පළමුව නිලවරණ කමිටුවක් පත් කළ යුතුය. හරි නම් එය නිලවරණයට දින 75 කට කලින් කළ යුතු කාර්යයකි. එහෙත් විශේෂ අවස්ථාවන් ලෙස සලකා එම කාලය නම් අඩු කර ගත හැක. එසේම නාමයෝජනා කැඳවීමටද දවස් 45ක කාලයක් ගනී. දවස් 15ක් ඇතුළත නාමයෝජනා භාර දිය යුතුය. එසේම පසුගිය දා සිදු කළ පාපන්දු ව්‍යවස්ථා සංශෝධනයේදී එක් ලීගයකට නිලවරණයේදී හිමිවන ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන්ද ගැටලුවක් පැන නැඟිණි. ව්‍යවස්ථාව හෝ ක්‍රීඩා පනත අපට අවශ්‍ය විදිහට වෙනස් කරන්නට නොහැක. ඊට සුදුසු ක්‍රමවේදයක් වේ. රටේ ක්‍රීඩා පනත වෙනස් කරන්නට ක්‍රීඩා ඇමැතිටවත් හිතු හිතූ ලෙස නොහැක. ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් ගත යුතුය.

අප මේ මොනවා කතා කළ ද ජාත්‍යන්තර පාපන්දු පිටියේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය 207 වෙයි. අපට තවත් පහළට වැටෙන්නට ඇත්තේ පඩි කීපයක් පමණි. එතනින් ගොඩට ඒමට නම් අප කළ යුතු දෑ බොහෝය. ඒ සඳහා රටේ පාපන්දු ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් බිහි කළ යුතුය. ඔවුන්ගේ සංවර්ධනය වැඩි කළ යුතුය. පාපන්දු සෙල්ලම් කරනවා සහ පාපන්දු සංවර්ධනය කරනවා යනු දෙකකි. ඕනෑම අයෙකුට පාපන්දු සෙල්ලම් කරන්න පුළුවනි. එහෙත් ඕනෑම කෙනෙකුට පාපන්දුව සංවර්ධනය කිරීමට නොහැක. එසේම අපට ෆිෆා එකට හොරෙන් වැඩ කරන්නට ද නොහැක. ඔවුන් අපට වාර්ෂිකව ඩොලර් මිලියන තුනකට ආසන්න මුදලක් රටේ පාපන්දු සංවර්ධනය වෙනුවෙන් ලබා දේ. කෙසේ හෝ ශ්‍රී ලංකාව දැන් මේ වැටී තිබෙන පරිපාලන අවුලෙන් ගොඩ ආ යුතුය. බර අඩි හප්පා ගෝල් රැස් කරන්නට ක්‍රීඩකයන්ට හැකි වන්නේ එවිටය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment