කොග්ගල දිනපොත – ඉතිහාසයෙන් බිඳක්

193

පෙබරවාරි 27

මෙය දිනපොතක් වුණත් සමහර දේවල් හිතාමතා නොලියා ඉන්න සිද්ධ වෙනවා මට. 2000 වසරේ පෙබරවාරි 16 වෙනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයේ වැඩ බාර ගනිද්දි මගේ විශේෂාංග කතුවරයා දුන් නියෝගයක් මට මතකයි. ඔහු මා වෙත නම් ලැයිස්තුවක් දීලා මේ අය ගැන කිසිම විවේචනයක් පත්තරේ යන්න බැහැ කියල අවධාරණය කළා. එතන මැති – ඇමතිලාගේ නම් හුඟක් තිබුණා. මාධ්‍යය නිදහස් කියල කිව්වාට ඒක එහෙම නැති බව එදා මට පැහැදිලි වුණා. මේ කොන්දේසිය මාධ්‍යයට පමණක් නෙවෙයි, අප රටේ සියලු ආයතනවලට වලංගු බව මට වැටහුණේ පසු කාලයක.

කොග්ගල දිනපොත - ඉතිහාසයෙන් බිඳක්

කොග්ගලදි හිත කඩා වැටෙන හුඟක් අවස්ථාවල මං කරන දෙයක් තියෙනවා. ඒ, කෞතුකාගාර භූමියේ වික්‍රමසිංහයන්ගේ මහගෙදර වත්තේ මඳ වේලාවක් ඇවිදිමින් කාලය ගත කිරීම. මේ පෙදෙසට කියන නමක් තියෙනවා. ඒ තමයි ගිංපතලිය. ‘ගම්පෙරළියේත්’, ‘උපන් දා සිට’ ස්වයංචරිතාපදානයේත් මේ නම නිතර කියවෙනවා. වික්‍රමසිංහයන් ගාල්ලේ බොනවිස්ටා ඉස්කෝලේ ඉගෙනගනිද්දි සිකුරාදා දිනවල ඔහු කැඳවාගෙන ඒමට යන අශ්ව කරත්තය වතාවක් වෙන ගමනක් යනවා. එදා සවස පහ වෙනකන් රූමස්සල කඳු පාමුලත් පාලමත් අතර ඇති කඩවතේ පුල පුලා බලා සිටින වික්‍රමසිංහ සිසුවා අවසානයේ පයින්ම ගෙදර එනවා. ඒ, මයිල (සැතපුම්) අටක් මඟ ගෙවාගෙන. සිකුරාදා ගම ඇවිත් ඇති තරම් ගැමි දරුවන් එක්ක කෙළි සෙල්ලමේ යෙදිලා ආපහු සඳුදා ඉස්කෝලෙ යෑමයි ඔහුගේ අරමුණ. අන්තිමේ පාළු හෝම්පිටි පහුකරගෙන රෑ හතත් පහුවෙලා ගිංපතලියට ළඟා වන තිස්ස දකින මාතර හාමිනේ “අපොයි දෙයියනේ!” කියාගෙන ඔහු වැළඳ ගන්නා සැටි ‘ගම්පෙරළියේ’ විස්තර වෙනවා. ඉතින් ඒ ගිංපතලිය තමයි මේ. ඇත්තටම මේ බිම නිහඬ, ශාන්ත සෙනසුනක් වගේ. හිත දොම්නස්බර වෙලා තියෙන වෙලාවක මෙහි ඇවිදීම තරම් හිත සන්සුන් කරන තව දෙයක් නෑ. කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නරඹන්න එන අයට අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න මහගෙදර පිටුපස කොටසේ මේසයක තබා තිබෙන සටහන් පොතේ එක් වැඩිහිටි කතක් තැබූ සටහන මට සිහි වෙනවා. ඇය කියනවා මෙතන කෞතුකාගාරයක් නෙවෙයි, භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවන්න කියල. ඇයට සාහිත්‍ය රසඥතාවක් නැති බව පැහැදිලියි. එනිසා ඇය එසේ යෝජනා කිරීම අමුතු දෙයක් නෙවෙයි.

පෙබරවාරි 28

මේ කෞතුකාගාරයේ ඉතිහාස කතාව මං තවම ඔබට කියා නැහැ. මොකක්ද මෙහි ඉතිහාසය? මෙතන කතා දෙකක් තියෙනවා. පළවෙනි කතාව මහගෙදර බේරාගැනීම පිළිබඳ පුවත. එය එන්නෙ දෙවෙනි ලෝක යුද්ධයත් එක්ක.

කොග්ගල දිනපොත - ඉතිහාසයෙන් බිඳක්

වික්‍රමසිංහයන් ‘ගම්පෙරළිය’ ආරම්භක ඡේදයේ දක්වනවා කොග්ගල ඉතිහාසය ගැන සටහනක්: “ගමක් වශයෙන් කොග්ගල අවුරුදු හත් අට දහසක්වත් පැරණි යයි කියන ලකුණු පොළොව යට මිස උඩ නම් නොදක්නා ලැබේ.” කොග්ගලිනුත් විකුම්සිහ ගම අප වෙන් කරගන්න ඕන. ඒ තමයි මලලගම. වික්‍රමසිංහයන් ලේඛකයෙක් වෙන්න කලින් පුවත්පත් කලාවේදියෙක්නෙ. එහිදී ඔහු පත්තරේට ලියන්නෙ කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ කියල. මලලගම අක්කර දහයක පමණ භූමිභාගයක්. එහිත් තව ගමක් තියෙනවා. ඒ පෙර දැක්වූ ගිංපතලිය. ගිංපතලිය කියන්නෙ කලින් කී සේම වික්‍රමසිංහයන්ගේ මහගෙදර වත්ත ඇති අක්කරයක පමණ බිම. එහි මහගේ විතරක් නෙවෙයි, වික්‍රමසිංහයන්ගේ මහප්පාගේ ගේත් පිහිටනවා. අද නම් එය නටබුන් ගොඩක්. කෙසේ හෝ මුල් කාලයේ ගමේ ගෙවල් දහසක් පමණ තිබිලා තියෙනවා. ඒ එක ගෙදරක දහ දෙනෙක් සිටියා කියල අනුමාන කළොත් – වික්‍රමසිංහයන්ගේ පවුලේම දොළොස් දෙනෙක්නෙ – ගමේ ජනගහනය දසදහසක් විය යුතුයි. කොහොම වුණත් ගමේ අඩු තරමින් හත්අට දාහකවත් ජනතාවක් වෙසෙන්න ඇති. ඔවුනුත් ධීවරයො. මේක ධීවර ගමක් නිසා.

කොග්ගල දිනපොත - ඉතිහාසයෙන් බිඳක්

දෙවන ලෝක යුද්ධ කාලයේ, එනම් 1942 දි මලලගමත් ඇතුළුව කොග්ගල අලුතින් ගුවන්තොටුපොළක් හදන්න පටන් අරන් තියෙනවා. හේතුව ඒ වෙද්දි කොළඹ වරායට ජපනුන් බෝම්බ හෙළා කොළඹ අවදානමට නතු වෙලා තිබුණු නිසා. ඉතින් ඒ වෙද්දි රට පාලනය කළ බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව මලලගමේ මිනිසුන් පැය 24ක් ඇතුළත ගමෙන් පිටමං කරලා ගුවන්තොටුපොළ ඉදි කරන්න අරන් තියෙනවා – අද කොග්ගල ගුවන්තොටුපොළ එසේ ඉදිකිරීම පටන්ගත් ගුවන්තොටුපොළයි. ඒ වුණත් පැය 24කින් මිනිස්සු පළවා හැරලා මොන දෙයක් ආරම්භ කිරීම බලහත්කාරකමක්. අද හැටියට නම් මානව හිමිකම් උල්ලංඝනයක්. අනෙක, චිරාත් කාලයක් පරම්පරා ගණනක් එකට විසූ ගේදොර පැය 24කින් හිස් කරලා පිටවෙන්න කිව්වාම අසරණ ගැමියො මොනවා කරන්නද? ඔවුන් තමන්ගෙ අතට අහු වුණු අඩුමකුඩුම ටික අරගෙන පිට වෙනවා විතරයි. ඇත්තටම ඔවුන් ගැන කතාව ඇසූ මෙහි ආ ප්‍රංශ ජාතිකයෙක් අවසානයේ කිව්වා “ඉට් සවුන්ඩ්ස් වෙරි බ්‍රිටිෂ්” කියල. ඒ කියන්නෙ “ඔය විදියට මිනිසුන්ව එළියට දාන්නෙ සුද්දොම (බ්‍රිතාන්‍යයන්ම) තමයි” කියල. ඒත් මෙතන තවත් කතාවක් තියෙනවා. මිනිස්සු මේ විදියට ගමෙන් පිට වුණාට පස්සෙ ගමේ ගම්මුලාදෑණියා (ග්‍රාම නිලධාරී) මලලගමට ඇවිත් අර මිනිසුන්ට ගෙනියන්න බැරිව දමා ගිය උළුවහු, ජනෙල්, දොරවල් වගේම වහලවලුත් ගලවාගෙන ගිහිල්ලා එක එක ගණන්වලට විකුණගෙන කියල. ඒක එහෙම වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි බැරිකමින් සුද්දො “ට්වෙන්ටි ෆෝ ඩේස්” කියල දීලා තිබුණු කාලයක් ඔහු “ට්වෙන්ටි ෆෝ අවර්ස්” වලට හරවලා නිසාලු. එහි ඇත්ත නැත්ත කොහොම වෙතත් ගම්මු ටික ගමෙන් පිට වුණාම බ්‍රිතාන්‍ය ගුවන්හමුදාව මෙහි කඩා වැදිලා ගමේ සියලු ගස්කොළනුත් ගෙවල්දොරවලුත් බිමට සමතලා කරලා තියෙනවා. හැබැයි එක ගෙයක් ඇරෙන්න. ඒ, වික්‍රමසිංහයන්ගේ මහගෙදර.

● රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment