(ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයෙහි 1990 වර්ෂයේදී ස්ථාපිත කරන ලද මාර්ටින් වික්‍රමසිංහ මහා පුස්තකාලය නවීකරණය කළ නව මැදිරියක උත්සවශ්‍රීයෙන් තැන්පත් කිරීම අද (29) සිදුවෙයි. මෙම උළෙලේ ප්‍රධාන දෙසුම පවත්වනුයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාය. මාර්ටින් වික්‍රමසිංහ 134 වැනි ජන්ම දින සමරුව ද අදට යෙදී තිබෙයි.)

ලෝක විෂය කියවන මහා විශ්ව කෝෂයක් බඳු මාර්ටින් වික්‍රමසිංහ පෞද්ගලික පුස්තකාලය පිළිබඳව කරන මේ විවරණය මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ බාල පුතණුවන් වන වෛද්‍ය රංග වික්‍රමසිංහයන්ගේ කියුමකින් ආරම්භ කිරීම එහි යථා ස්වරූපය වටහා ගැනීමට ඉවහල් වන ප්‍රවේශයක් යයි සිතමි. ඒ කියුම මෙසේ ය.

“තාත්තා දිනපතා පාන්දර පහටත් පෙර නැගිට කන්තෝරු කාමරය නමින් හැඳින්වූ ඔහුගේ පුස්තකාලයට යයි. ලේකහවුසියේ රැකියාව කළ ඔහු එකල වැඩ නිම කොට ගෙදර ආවේ රෑ දහයට විතරය. ඔහු එනවිට අප අවදිව සිටියේ කලාතුරකිනි. තාත්තාගේ නිදන කාමරයේ දොරකඩ, මා නිදාගත් සාලයට මුහුණලා තිබූ බැවින් ඇතැම්විට තාත්තාගේ පැමිණීම නිසා මම අවදිවීමි. කන්තෝරුවෙන් ආ ගමන් තාත්තා ඇඳුම් මාරු කොට මුහුණ කට සෝදා රෑ කෑම කයි. අනතුරුව ඔහු රෑ එකොළහ දොළහ වනතෙක් පොතක් කියවයි. මෙසේ රෑ වනතුරු පොත් කියවා ඉන් අනතුරුව නිදන්ට යන තාත්තා පාන්දර පහට පමණ නැගිට ඔහුගේ පුස්තකාලයට යයි. තාත්තාගේ පුස්තකාලය පිහිටියේ මා නිදාගත් සාලයට යාබද ආලින්දයේ දකුනු කෙළවරේය. එය එවක අඩි 12 ක් දිග පළල ඇති හතරැස් කාමරයකි. තාත්තාගේ ලියන මේසයට පසුබිම වූයේ පොත් රාක්කවලින් වැසුණ බටහිර බිත්තියයි. මේසයට වාඩිවූ විට පුස්තකාලයේ දොරකඩ තුළින් ඔහුගේ දෑස යොමු වූයේ නැගෙනහිර දෙසටයි. පොත්වලින් බරවූ රාක්කවලට මුවා වීම නිසා බිත්ති හතරින් වැඩි කොටසක් නොපෙනේ. රාක්කවල වූ විවිධ පාටවලින් යුතු උස්, මිටි, මහත, හීනි, සැහැල්ලු, අලුත්, පරණ යනාදී නොයෙක් ආකාරයේ පොත්වල නඩත්තුකාරයා වූයේ තාත්තාය.

තාත්තා පාන්දරින් නැගිට පුස්තකාලයට ගොස් පොත් ලියයි. අනතුරුව ඔහු හීන් කෙඳිවලින් යුතු දූවිලි පිස දමන අත් කොස්සක් ගෙන පොත් රාක්ක ඉදිරියේ කඩිසර ලෙස එහාට මෙහාට සක්මන් කරන ගමන් පොත් රාක්කවල සහ බිත්තිවල දූවිලි පිස දමයි…… වරින්වර පොත් රාක්ක ඉදිරියේ නැවතී පොතක් අතට ගෙන කණ්ණාඩි කුට්ටම නළලට ඔසවා පොත දෑසට ළංකර පිටු කිහිපයක් පෙරළමින් කියවයි….. ඇතැම් පිටුවල ඔහුම පෙර පැන්සලකින් කළ සටහනක් ද කියවයි. අවුරුදු බොහෝ ගණනක් තිස්සේ දිනපතා මෙසේ පොත් ආසාවෙන්, කුතුහලයෙන් අතපතගා පෙරළා බලා කියවීමෙන් සටහන් තැබීමෙන්, පොත් සහ ඔහුගේ මතකය අතර වැඩුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව නිසා තාත්තාගේ පුස්තකාලය, ශරීරයෙන් පිටත වැඩෙන තම මොළයේ කොටසක් වැන්න.”

(කොග්ගල මහා ප්‍රාඥයා, මනසින් දුටු අතීතයක් 76-77 පිටු)

සිය පියා සතු වූ මහා පුස්තකාලය සහ ඒ තුළ අනවරතයෙන් කෙරෙන ඔහුගේ දින චර්යාව නිරීක්ෂණය කළ රංග වික්‍රමසිංහ මහතා ඒ අරභයා ලියූ දීර්ඝ විස්තරයෙන් කොටසකි ඉහත ඉදිරිපත් කරන ලද්දේ. මහා ප්‍රාඥයෙකුගේ පුස්තකාලය සහ ඔහු එය නඩත්තු කරමින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය අරභයා ලියැවුණු එබඳු නිරීක්ෂණයක් ලෝක සාහිත්‍යයේම තවත් ඇද්ද යනු කීමට මම නොදනිමි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා සතුව පැවති ඔහුගේ පෞද්ගලික පොත් එකතුව ශ්‍රී ලංකාවේ පවත්නා එබඳු ගණයේ පොත්ගුල් අතුරෙන් අග්‍රගණ්‍ය පුස්තකාලයයි කිය හැකිය. එය ගොඩනංවා ඉහත දැක්වූ පරිදි නඩත්තු කිරීමේ කාර්යයද ආශ්චර්යයක් යයි නොකිය හැකිද?

කුඩා දරුවෙකුව ගම සිටියදී ලෝකෝත්පත්ති විනිශ්චය, හෙණගුලි වාදය, දුර්වාදිහෘදය විදාරණය වැනි පොත් කියවූ තරුණ වික්‍රමසිංහට ඒ පොත්වල සමහර පාඨ හා කවි කටපාඩමින් කිය හැකිවූ බවත් ලිපිකරුවකු වනු පිණිස කොළඹ ගිය පසු ඔහුගේ පොත් කියවීමේ ආසාව නොතිබිය හැකි එළියක් වූ බවත් උපන්දා සිට පොතේ සඳහන් කොට තිබේ (100 පිටුව). තරුණ වියේදීම Human Origin, Evolution of Man, Man’s Place on Nature, Gulliver’s Travel, Gargantuwa and Penta –gruel, Story of Creation by Edward Clodd, Easy Outline of Evolution by Dennis Hird ආදී පොත් මිලදී ගෙන කියවන්ට පටන්ගත් ඔහු එතැන් සිට තිස්විය තෙක් කියවා එක් රැස් කළ පොත්වලින් සියයට හැත්තෑපහක් පමණ පරිණාමවාදය හා ජීවවිද්‍යාව යන විෂයයන්ට අදාළ පොත් බව උපන්දා සිට ග්‍රන්ථයෙහිම කියා ඇත (105 පිටුව).

සොළොස් හැවිරිදි වියේ පමණ සිට හැත්තෑ වසරක් පමණ කාලයක් තුළ මාර්ටින් වික්‍රමසිංහ මහතා කියවා එක්රැස් කළ පන්දහසකට වැඩි ග්‍රන්ථ සම්භාරයකින් යුතු ඔහුගේ මහා පුස්තකාලය ශ්‍රී ලංකාවේ පවත්නා වටිනාම පෞද්ගලික පුස්තකාලයයි. කාර්ය මණ්ඩලයක් නොමැතිව අංග සම්පූර්ණ පුස්තකාලයක් නඩත්තු කොට පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වූත් බැරෑරුම් වූත් කාර්යයක් වුවද මාර්ටින් වික්‍රමසිංහ මහතා පොත් ලියන අතර ඒ බැරෑරුම් කාර්යය ද විශිෂ්ට ලෙස ඉටු කොට ජාතියට මහා පුස්තකාලයක් දායාද කළේය.

පොත්පත් මිලදී ගැනීම උදෙසා නොමසුරුව වියදම් කළ වික්‍රමසිංහයෝ තමාට ලැබුණ වැටුප සම්පූර්ණයෙන් ඒ සඳහා කැප කළහ. එංගලන්තයේ සිට ආ නැව් තැපැල් මලු ගොඩබෑ හැටියේම කොළඹ ඇපොතිකරිස් පොත් සාප්පුවට ගොස් පොත් මිලදී ගත් අයුරු උපන්දා සිට පොතේ සඳහන් කොට ඇත්තේ මෙසේය.

“මා නිතර පොත් මිලට ගත්තකු වූයෙන් සාප්පුවේ පොත් රාක්කවලින් ඕනෑ පොතක් ගෙන ඕනෑ වෙලාවක් කියවා ආපසු භාරදී යනු පිණිස ඇපොතිකරිස් සමාගමේ පොත් සාප්පුව භාරව සිටි සුදු මිනිසා මට ඉඩ දුන්නේය. දවසක මා තොලෙහි ගාගත් ඇඟිලි තුඩින් සීන් කඩදාසියෙහි (Indian Paper) මුද්‍රිත පොතක පිටු පෙරළන්ට වෑයම් කරනු දුටු සුදු මිනිහා සිනාසෙමින් මා වෙතට ආවේය.

“තොලේ ගාගත් ඇගිල්ලෙන් පිටු පෙරළන්න එපා !”

පොත් පත් කියවීමටත් චාම් ජීවිතයටත් පුරුදු වීම නිසාදෝ කායික විනෝදයක් සොයන්ට තුඩු දෙන දැඩි ආසාවක් මා තුළ නොවීය. (117 පිටුව)

තමන්ට පොත් මිලදී ගැනීම සඳහා අම්මා සිය දූන්ගේ කණ කර අභරණ පවා උකස් කොට මුදල් එවූ බව පසු කලෙක සැලවී වික්‍රමසිංහයන් කදුළු සැලූ බව කියැවේ. නගරයේ පදික වේදිකාවල ඇවිද යන විටද ඔහු සෙව්වේ පොත් ය. වරක් කොළඹ දී පොත් වෙන්දේසිකරුවෙකු පරණ පොත් තොගයක් වෙන්දේසියේ තබා අලෙවි කරන තැනකට වික්‍රමසිංහයෝ ගියහ. ඔහුගේ පොත් ගැනීමේ ආසාව වටහා ගත් වෙන්දේසිකරු තැරැව්කරුවන් යොදවා ලංසුව වැඩිකරමින් ‘මෙන්න රුසියාව ගිනි තැබූ මිනිසාගේ පොත්’ යයි පවසා නිකොලොයි ගොගොල්ගේ පොත් මිටියක් ඉදිරිපත් කළේය. එම පොත් අතර තමන්ට වුවමනා එක් පොතක් පමණක් තිබෙන බව දැක වෙන්දේසිකරු ඉහළ නැංවූ මුදල ගෙවා පොත් මිටියම මිලදී ගත් වික්‍රමසිංහ තමාට වුවමනා පොත පමණක් ගෙන ඉතිරි පොත් සියල්ල යහළුවෙකුට දී තිබේ. තවත් වරෙක නුවරඑළියේ පරණ පොත් කඩයකින් රුපියල් පහකට මිලදී ගත් රාජේන්ද්‍රලාල් මිත්‍රගේ ‘Indo Aryan’s’ නම් කාණ්ඩ දෙකකින් යුත් කෘතියෙහි මිල අද රුපියල් දහස් ගණනක් වනු ඇත.

පෙර අපර දෙදිග සාහිත්‍යය, සාහිත්‍ය විචාරය, භාෂාව, පද්‍යය හා නාටක, චරිත කථා, වංශ කථා, ආගම හා දර්ශනය, බෞද්ධ-හින්දු හා කිතුනු ග්‍රන්ථ, සංස්කෘත, පාලි හා උපනිෂද් ග්‍රන්ථ, දර්ශනය, මනෝවිද්‍යාව, ඉතිහාසය, දේශපාලනය, සංස්කෘතිය, මානව විද්‍යාව, ජීව විද්‍යාව, පුරා විද්‍යාව ආදී කී නොකී විෂයයන් ගෙන් සමන්විත මාර්ටින් වික්‍රමසිංහ පුස්තකාලය වනාහි ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පමණක් නොව ලක්දිවම සතු මහා දැනුම් නිධානයක් යයි කිය හැකිය.

ආසියාතික ජන විඥානයට බෙහෙවින් සමීප රුසියානු සාහිත්‍යය කෙරෙහි නොමඳ ඇල්මක් දැක්වූ වික්‍රමසිංහ මහතා ටොල්ස්ටෝයි, ෂොලොකොව්, ආදී රුසියන් ලේඛකයන් හැම දෙනෙකුගේම කෘතීන් විශාල සංඛ්‍යාවක් තම පුස්තකාලයෙහි රැස් කොට කියවා අධ්‍යයනය කොට තිබේ. රුසියන් හා වෙනත් භාෂාවලින් ලියැවුණ ග්‍රන්ථ ද එහි වෙයි.

ලක්දිව වෙනත් පුස්තකාලයක ඇතැයි නොසිතිය හැකි ලොව විවිධ රටවල ලේඛකයන්ගේ කෘති සෑහෙන සංඛ්‍යාවක් වික්‍රමසිංහ පුස්තකාලයෙහි ඇත. බල්ගේරියන්, හංගේරියානු හා ජර්මන් ආදී රටවලට අයත් ලේඛකයන්ගේ කෘති එහි දැකිය හැක. කාණ්ඩ විස්සකින් යුතු ‘ශ්‍රේෂ්ඨ කෙටිකථා පුස්තකාලය’ නම් ග්‍රන්ථ එකතුව වෙනත් පුස්තකාලයක නොදන්නා විරූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ සමුච්චයක් වාග් විද්‍යාවට අදාළ ග්‍රන්ථ හැත්තෑවක් හා කෝෂ ග්‍රන්ථ හැත්තෑපහක් ඇති මෙම පුස්තකාලය එය පරිහරණය කළ මහා ප්‍රාඥයාගේ භාෂා දැනුමේ මිනුම කවරේදැයි නිහඬ බසින් කියනු වැන්න.

කුඩා වියෙහිදී සිත්තම් කලාවට ඇදී ගිය වික්‍රමසිංහයන්ගේ සිත ඒ අරභයා ලියවී ඇති පත පොත කෙරෙහි ද යොමු වී තිබෙන බව පෙනෙනුයේ ඔහු එක් රැස් කළ චිත්‍ර කලාව පිළිබඳ ග්‍රන්ථවලිනි. චිත්‍ර ඇදීම, වර්ණ සංයෝගය, ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන්ගේ කෘති සහ ඔවුන් පිළිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථ රාශිය දකින විට සාහිත්‍යකරුවකු මේවා රැස්කරන්නේ කුමකටදැයි යමෙකු විමතියට පත්වන බව එම පුස්තකාලය පිළිබඳ පුළුල් විමර්ශනයක් කළ ලංකා වෛද්‍ය සංගමයේ පුස්තකාලය භාරව සිටි කේ. ඩ්බ්ලිව්. ජයවර්ධන මහතා පවසා තිබේ. (කොග්ගල මහා ප්‍රාඥයා – 293 පිටුව)

මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය අසූ පස්වැනි වියෙහිදී උපනිෂද් දර්ශනයත් ඒ පිළිබඳව ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ ජීවත්වූ බුද්ධිමතුන් දැක්වූ උනන්දුව ගැනත් එහි ප්‍රතිඵලයක් වශයෙන් සාක්‍යසිංහ වූ තථාගතයන් වහන්සේගේ දහම ඉස්මතු වූ ආකාරයත් ගැන අධ්‍යයනයක් කළේ සිය පුස්තකාලයෙහි වූ ග්‍රන්ථ ඇසුරෙනි. වේද හා උපනිෂද් ග්‍රන්ථ, භාරතීය ඉතිහාසය හා සභ්‍යත්වය අලලා පෙරපර දෙදිග පඬිවරුන් ලියූ ග්‍රන්ථ රාශියක් එතුමාගේ පුස්තකාලයෙහි ඇත. මනාව සකස්කොට ගොඩනංවන ලද මහජන පුස්තකාලයකින් වත් සොයාගත නොහැකි තරම් විරල ග්‍රන්ථ සම්භාරයක් මාර්ටින් වික්‍රමසිංහ පෞද්ගලික පුස්තකාලයෙහි පවත්නා බව එය පිළිබඳව කළ අධ්‍යයනය අවසානයේදී ලංකා වෛද්‍ය සංගමයේ පුස්තකාලයාධිපතිවරයා සඳහන් කළේය.

දයාපාල ජයනෙත්ති

advertistmentadvertistment
advertistmentadvertistment