කොටන කුකුළට කොයි කොටුවත් එකයි (පොර කුකුළන් කෙටවීම)

456

සමාජ විමර්ශන

ගම්වාසිය කැලේ

ජා-ඇල, මීගමුවත් එකයි – යාපනෙත් එකයි

සූදුව යන්නෙහි විවිධ ප්‍රභේද ඇත. පංච දැමීම, කැට ගැසීම, බේබි කැපීම, රුලේ, බ්ලැක් ජැක්, බකාරා වැනි කැසිනෝ වර්ගයේ කෙළිද, කුකුළන් කෙටවීම, ගොන් පොර, අශ්ව රේස්, බලු රේස් වැනි සතුන් ඇසුරෙන් ඔට්ටු අල්ලන සූදු ද අද සමාජයේ සුලබව දක්නට ඇත. මෙවැනි සරල සූදුවලින් ඔබ්බට ගොස් කාර් රේස් වලට හා ටෙනිස්, රග්බි, පාපන්දු, ක්‍රිකට් ආදී මහත්වරුන්ගේ යැයි සැලකෙන ක්‍රීඩාවලටද ඔට්ටු අල්ලා, ගාන සරිකර ගන්නට අද දෙස් විදෙස් ඔට්ටුකරුවෝ ඉදිරිපත් වී සිටී.

ගමේ ගොඩේ මෙන්ම නගරයේත් සුලබව දක්නට ඇති බේබි කැපිල්ල හෙවත් බූරුවා ගැසීම ගැන අපි මීට කලින් මෙම ලිපි පෙළින් කතාකළ අතර අද කතා කරන්නට යන්නේ පාපීතර මනුෂ්‍යයන් විසින් මිනිස්කම තවත් පිරිහීමට ඇද දමමින් කරගෙන යන තවත් සූදුවක් ගැනයි.

ඒ, මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීමය. ඊට පෙර අපි සත්වයන් අතර සටන් ගැන මදක් කතා කරමු.

විවිධ පවුල්වල සතුන් අතර මෙන්ම එකම පවුලේ සත්ව සාමාජිකයන් අතරද සණ්ඩු දබර සිදුවෙයි. පවුලෙන් පිට හටන් ලෙස නයි මුගටි හබය, නයි පොළොං වෛරය, කිඹුල් පිඹුරු සටන, අලි සිංහ ද්වන්ධ යුද්ධය ආදිය ජනප්‍රවාදයේ මෙන්ම වනාන්තරයේ ඇත්තටමත් දකින්නට ඇත. එකම පවුලේ සටන් ලෙස ගොන්පොර, මුව පොර, ගෝන පොර, ඇත්පොර, බලු පොර, පූස් පොර, කපුටු පොර සහ කුකුළ් පොර ආදිය නම් කළ හැක. මෙවැනි පොරකෑම් අතරින් පවුලෙන් පිට දබර බොහෝ විට ඇති වන්නේ ප්‍රජාවේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට, ආහාර ජාලයට අනුව කුසගින්න නිවා ගැනීමට හෝ ආත්මාරක්‍ෂාව සඳහාය.

පවුලේ සටන බොහෝ විට රැලේ නායකත්වයට, සහකාරිය තෝරාගැනීමට හෝ ශරීර සුවතාවය පිරික්සා බලා ජවය හෝ තරුණ මදය උරගාබැලීමට විය හැක (මුව ගොන් නාම්බන් තම අන් මෝරන කාලයටත් කුකුළන් වැනි වුන් පාදයේ පොරකටු පීදෙන කාලයටත් මෙසේ ඇඟේ ඇම්මට පොර කොටා ගනිති.) නමුත් කවදාවත් වෙනත් දෙදෙනකු පොරකනු බලා අනියම් සතුටක් විඳ ඉන් ගානකුත් හොයා ගන්නා ජීවියෙක් මේ සත්ව ලෝකයේ නැත. ඉන්නේ එකම අයෙකි. ඒ මිනිසාය.

තටු ගලවාගෙන, බෙලි පුප්පවාගෙන, කණින් කරමලෙන් ලේ පෙරාගෙන, ගොජර ඉරාගෙන, පොර කන සතුන් දෙස බලා හුරේ දමන ඔට්ටු අල්ලන මිනිසා ඇත්තටම ලබන්නේ අමානුෂික තිරිසන් වින්දනයකි. ආගමක් ධර්මයක් අදහන දෙයියෝ බුදුන් විශ්වාස කරන අයෙකුට නම් මෙකී පොර කොටවන කුකුළන් දෙස පියවි සිහියෙන් බලා සිටිය නොහැක.

මේ කුකුළන් කෙටවීම බහුලව දක්නට ඇති කලාප හතරක් ගැන අප කළ විමර්ශන ක්‍රියාවලියේදී ග්‍රහණය කර ගන්නට ලැබුණි.

පළමුවැන්න බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, ජා-ඇල, වැලිගම්පිටිය, සීදුව, මීගමුව, ආදී නගර හා පිළියන්දල, හොරණ, බණ්ඩාරගම ආදී ප්‍රදේශයි.

දෙවැන්න තේ වතු හා ලැයිම් සහිත උඩහ කඳුකරයයි.

තෙවැන්න දකුණු පළාතේ රට ඇතුළට වන්නට ඇති පහත රට තෙත් කලාපයේ සිංහරාජයට නුදුරු දුෂ්කර ගම්මාන පෙළයි.

සිව්වැන්න රජරට හේන් ගොවිතැන හා වැව් ආශ්‍රිත කලාපයි.

කුකුළන් කෙටවීමේ ක්‍රමවේදය මෙසේ විස්තර කළ හැක.

පොරපිටිය ලෙස මුලින්ම අවශ්‍ය වන්නේ පොලිසියට හෝ ග්‍රාමසේවක රාළහාමිට ඉක්මණට ළඟාවිය නොහැකි වන රොදක්, වැව් තාවුල්ලක්, පාළු පොල් වත්තක්, තේ වත්තක අතහැර දැමූ ඉස්ටෝරුවක් වැනි ආරක්‍ෂිත ස්ථානයකි. ඔට්ටුකරුවන්ට හුරේ දමන්නට හා සහභාගීවන්නන්ට පහසුවෙන් නැරඹිය හැකි ලෙස පොරකොටුව තැනෙන්නේ හරියට බොක්සිං වළල්ලක් මෙනි. මෙය වළල්ලක් කීවාට හතරැස් එකට හදනු ලබයි. සාමාන්‍යයෙන් එක් පාදයක් අඩි පහළොවක් පමණ දිගය. මෙම කොටුව හොඳින් ශුද්ධ පවිත්‍ර කොට ගල්, බොරළු, කසළ, පරඩැල් ආදිය ඉවත් කර ඇත. වැලි සහිත වියළි පසක් ඇති වපසරියක නම් දුහුවිල්ල ඇවිස්සෙනවාට පිළියම් ලෙස වතුර ඉස මදක් පොළව තෙත් බරිත කරයි. වටේට කුඩා අඩි දෙකක් පමණ උසට වැටක් ඇද පොල් අතු හෝ ඉටි කොළවලින් ආවරණය කරනු ලබයි. මින් නරඹන්නන්ට ආරක්‍ෂාව සැපයෙනවා සේම පරාදවන පොර කුකුල් නාම්බාට අතරමගදී පැන දිවීමේ සම්භාවිතාවද අඩුය.

හොඳින් වැඩුණු වටිනා කුලයකට අයත් පොර කුකුළෙක් අඩි දෙකක් පමණ උසය. නමුත් අප නිරීක්ෂණය කළ කුකුල් පොර 25කින් පොර 20කම සිටි කුකුළන් අඩි එකහමාර හා දෙක අතර උන් විය. අඩි දෙකට වැඩි සටන්කරුවෝ හත්දෙනෙකු වූ අතර ඉතිරි අය හොඳින් වැඩුණු අඩි එකහමාරේ උන්ය.

“මේක ඉන්දියන් ගේම් කුකුළ පිච්චෙ අයියා”

අපේ මෑත යුගයේ කෙටිකතා කරුවෙකුගේ කෙටිකතා එකතුවක එන වතුකරයේ කුකුල් පොරයක් ගැන ලියැවුණු කතාවක දෙබසක් මට සිහිවුනේ එවන් ඉන්දියන් ගේම් කුකුළන් නම් එකෙකුවත් දැක ගන්නට නොහැකි වූ නිසාය.

දික්කරමලා, කුණකටුවා, කවඩියා, ඇසටකොටා, රාජු, ටාසන්, පැටී, හෙමිජ්ජා, වයිරා, කාඩයා, ලේමාපිලා, අජාසත්ත, පිසාචයා, ජුදාස් වැනි සුරතල් නාම වලින් හඳුන්වන පොර කුකුළන් අපට දැකගත හැකි විය. ඉන් සමහරෙකුගේ පොර කටුව අඟල් හතරක් පමණ දිගට වැවී ඇත. සමහර අයිතිකරුවන් තම කුකුළන්ගේ පාදයේ පොරකටු සිහින් පිහි තුඩකින් උල් කරනු ලබයි. එමෙන්ම එයට සුදු යකඩෙන් හෝ රිදියෙන් කළ විල්ලක් ඔබ්බවා ඇත. සාමාන්‍යයෙන් කුකුළු පොරයකදී මෙවැනි බාහිර උපකරණ හෝ ආයිත්තම් ඉවත් කළ යුතුය. නමුත් ඒ ඒ ප්‍රදේශවල පොර පිටි ව්‍යවස්ථාවන්ට අනුව මෙවන් විලි හෝ කොපු පළඳා සටන් කිරීමට නෛතික අවසරය ලැබේ.

අපට දැනගන්නට ලැබුණු අන්දමට අප දුටු හිඟුරක්ගොඩ දිවුලංගල්ල වැව කිට්ටුව වසන “ඇසට කොටා” නම් රුදුරු පෙනුමැති කුකුල් රාජයාට ඒ නම පටබැඳී ඇත්තේ උගේ අවසාන ප්‍රහාරය ප්‍රතිමල්ලවයාගේ ඇස් ඉලක්ක කරගෙන දියත් කිරීමයි. පසුගිය සටන් සැසිවාර කීපයකම මෙසේ ඌ තම සතුරාගේ ඇස් අන්ධකර ඇත.

ජා-ඇල කොටුගොඩ “ජුදාස්” නම් පොර නාම්බා කිසිසේත්ම කවරදාකවත් විශ්වාස කළ නොහැකි කුරුල්ලෙකි. ඌ තමාව ආදරයෙන් බලාගන්නා හදාවඩා ගන්නා අයිතිකරුට පවා ප්‍රහාර එල්ල කළ අවස්ථා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ගම්මැද්දේගොඩ, ගිංගංතෙර අසබඩ “අජාසත්ත” නම් පොර කුකුළෙක් අපට දැක ගන්නට ලැබුණි. ඌට එම නම පටබැඳී ඇත්තේ එක් සටනකදී තම පියා යැයි සැලකෙන දකුණු පළාතේම කොටු හොල්ලවාගෙන විනර් නමක් දිනා සිටි පොර කුකුල් රාජයාට ළය පැළෙන්නට කටුවෙන් පහරදී මරා දැමීම නිසාය. අණක්- ගුණක් නැති මෙකී අජාසත්ත රජ කුලයට අයත් එකෙක් මෙන් දිස්වෙයි. මොනර පිල් වැනි දිස්නෙ දෙන පිහාටු, ලේ රතු පැහැ කුඩා කරමල, උද්ධච්ච ලෙස හිස ඔසවාගෙන ආඩම්බර ගමන තුළින් ඌ පෙන්වන්නේ ළඟදීම අවසන් ගමන යන සතෙකුගේ ලක්‍ෂණයයි.

“එකා” නමැති කුකුළා වතුකරයේ පොර පිටිවල ජනප්‍රිය නමකි. ඌ කවදාවත් හොරගල් අහුලන්නේ වත් හිත හිතා ඉන්නේ වත් නැත. පැනපු ගමන් ප්‍රතිවාදියාට ප්‍රහාර එල්ල කරන්නට ඌ රුසියෙකි. මේ එකා නමැති අඩි දෙකහමාරේ දැවැන්තයා කොටගල, තලවකැලේ, හැටන් ආදී ප්‍රදේශවල ඇති ඔට්ටු පොළවල හොඳට විකිණෙන හටන්කාමියෙකි.

හොරණ, හොටකොටාට ඒ නම ලැබී ඇත්තේ උගේ හොටෙහි ඇති විකෘතිතාවයක් නිසා විය හැක. නමුත් එය උගේ සටන් කලාවට ප්‍රශ්නයක් නොවේ. මන්ද ඌ වඩා නැඹුරුවක් දක්වන්නේ පාදයෙන් පහර එල්ල කිරීමටයි.

බොහෝ කුකුල් හිමිකරුවන් තම කුරුල්ලන්ට සලකන්නේ ඉතාම උසස් ආකාරයෙනි. තම සුපරික්‍ෂාව යටතේම ඌ රැකබලා ගන්නා අතර ඒ ඒ කුකුළා සඳහා වෙන්වුණු සේවකයන්ද පත්කරන අවස්ථා ඇත. වැඩිපුරම කුකුළන්ට කන්න දෙන්නේ ගෙරි මස්ය. ඒවාද ලේ තැවරුණු අමු මස් වැදලිය. සමහරු ඒ මස් කැබලි වලට මී පැණි හා එළඟිතෙල් මුසු කරති. බටර්, චීස්, රටකජු, තෙල් මිශ්‍රිත ආහාර ද දීමෙන් කුකුළාගේ ශක්තිය වැඩිවන බව ඔවුන් විශ්වාස කරති.

ඉදහිට මදටිය ඇටයක ප්‍රමාණයේ ගංජා මිශ්‍රිත මදන මෝදක කඳුලක් හෝ සැර බ්‍රැන්ඩි බිඳක් කුකුළාගේ ආහාර වේලකට එක් කිරීමෙන් ඌ දරුණු එකෙක් කළ හැකි බව මොවුන්ගේ මතයයි.

නමුත් ද්වන්ධ යුද්ධයට පෙර නම් මීගමුව පැත්තේ නාගරික ඔට්ටුකරුවන් කරන්නේ රයිෆනෝල් හෝ බාබිටෝන් පෙත්තකින් කාලක් හටන් කරුවාට හොට දෙක තුළින් බලෙන් හෝ ඇතුල් කිරීමයි. මෙකී පෙති මානසික රෝගීන්ට හා මත්ලෝලීන්ට දෙන පෙති වර්ගයකි. මේවා නිසා සිරුර තුළ ඇති කරන ප්‍රතික්‍රියාවෙන් ආවේගශීලී බවක්, උත්තේජනයක් ඇතිවෙයි (මත්ලෝලීන් තම අත පය කපා ගන්නේ, අන් අයට හානි සිදු කරන්නේ මෙවන් පෙති වර්ග වැඩිපුර ගැනීම නිසාය.)

ගම්බද අය කරන්නේ ලන්දක හෝ ගොහොරුවක වඩිගසා පෙරන ලද ස්ප්‍රීතු බිඳකින් හටන්කරුවාගේ උගුර කට තෙමා දැමීමයි.

ඊට අමතරව හැම කුකුළෙකුගේ පා යුග හා විශේෂයෙන් පොර කටු දෙක තලතෙලෙන් මස් තැම්බූ වතුරින් හෝ ඌරු තෙලෙන් ආලේප කොට සම්බාහනය කිරීම කරනු ලබයි. එමෙන්ම නිතර නිතර ඉඳුල් වතුරෙන් ඇඟ තෙමා මුළු ඇඟ අතගෑම තුළින් තටු සවිවන බව මොවුන් අදහති.

පොර කුකුළාට කිසිම කිකිළියෙකු පෑගීමට අවසර නැත. එපමණක් නොව සමීප පහුරු පස්සානමකට හෝ කිසිදු ලිංගික ඇසුරකට බැරිවෙලාවත් අවස්ථාවක් ලබා නොදේ. මේවා තුළින් උගේ ශරීර ශක්තිය හීන වන බව පැවසේ.

දිනපතාම උන්ගේ කරවල්වල වසා ඇති මැක්කන්, ටික්කන්, කිනිතුල්ලන්, ගෝපයියන් ආදී පරපෝෂිතයන් ඉවත් කරනු ලබයි.

මීගමුව ආසන්නම ගමක පොර කුකුල් පිටියක් නැරඹීමේ අවස්ථාවක් මට එක් අලුත් අවුරුදු සමයක උදාවුණු අතර එදා එතැන අසූවකට ආසන්න පිරිසක් වටවී රැස්කකා තරඟය නරඹනු දක්නට ලැබුනි. උදෑසන නවයයි තිහේ පමණ සිට මධ්‍යහන දොළහ පමණ වෙනකම් කාලය අතර තරග වාර හතරක් පමණ විටින් විට පැවැත් වුණි. තරගකරුවෝ අට දෙනෙක් අවට පළාත්වලින් රැගෙනවිත් තිබුණි.

මෙහිදී මා දුටු විශේෂම සිදුවීම වූයේ නෙයිනමඩමේ කාපිරියාගේ පැමිණීමයි. අක් බඹරු මෙන් කළු පිහාටු ඇති මේ කාපිරියා වැඩිය උස කුකුළෙක් නොවේ. එහෙත් රෞද්‍ර පාටය. අඳුන් දිවියෙකුගේ මෙන් දෑස් තියුණුය. කරමල් රෝස පාටය. ඌ ආවේ තම හාම්පුතාගේ අළුත්ම මර්සිඩීස් බෙන්ස් රථයේ ඉදිරිපස ආසනයේ ලැඟ රාජ කුමාරයෙකු ලෙස උජාරුවෙනි. ආපු විලාසයෙන්ම ඌ විනාඩි කීපයකින් තම සටන හමාරකොට දිනුම ලබාගත්තේ නියම කළු අප්‍රිකානු කාපිරියෙකු මෙනි. ලද ජයෙන් පසු තම ස්වාමියාගෙන් උගේ ගෙළට වැටුනු රන් මාලය ගැන බිඳකුදු නොතැකූ ඌ කාවවත් මායිම් නොකර මර්සිඩීස් බෙන්ස් රථයට ගොඩ වැදුනේ බලාසිටි අප සැමගේ සිත් විස්මයට පත් කරමිනි.

කුකුල් පොර පිටියක් සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ උදෑසන හිරු මෝරා නැගෙන දහය දහයාමාරේ හෝරාවල දීය. සමහර ගේමක් පැය භාගයක් තරම් ඇදෙන අවස්ථා ඇත. නමුත් බහුතරයක් ගේම් විනාඩි දහයකින් දොළහකින් ඉවර වෙයි. උද්වේගකර අවස්ථා නැත්නම් තරගය ඔහේ ඇදි ඇදී යන්නට අයිතිකරුවන් ඉඩ දෙන්නේ නැත. එක්කෝ තරගය නවතා දමා තව පැයකින් හෝ වෙන දිනයකදී යළි තරගය පවත්වයි. නැත්නම් වැඩියෙන් පහර දුන් කුරුල්ලාට ජයග්‍රාහික ලකුණු ලබාදෙයි. ගෝරි බෝරි හබ කලහ ආදිය බොහෝවිට හටගන්නේ මෙවන් අවස්ථාවලදී ඔට්ටු මුදල් බෙදා ගන්නට අපහසුවීමෙනි.

මීට කලකට පෙර රුපියලට දෙකටත් ලන්සු වෙන ඔට්ටු පොළවල් පැවත ඇති අතර අද කාලයේ අවම ඔට්ටුව රුපියල් දහ දෙදහා පන්නයි. උපරිමය ලක්‍ෂ පහ දහය හෝ සමහර විට යතුරුපැදිය, මෝටර් රථය දක්වා විස්ථාපනය වෙයි. අතරමැදියා ලෙස ක්‍රියාකරන ඔට්ටුපොළ භාරකරුට ලැබෙන්නේ කොමිස් මුදලකි. මෙය බූරු ක්‍රීඩාවේ තෝන් ගැනීමට සමානය.

ගම්පහ දිස්ත්‍රික්කයේ හා මීගමුව ආසන්න පොරකොටුවල ඇති සැර බීම වර්ග බොහෝවිට දංකොටුව පැත්තේ පෙරන ග්‍රාමීය නිෂ්පාදනය වෙයි. කුකුළන් අයිතිකරුවන්ගේ සමාජ තත්ත්වය හා ඉල්ලීම මත රටබීම, බියර් වැනි දෑද පිටියට බැස්සවීමට සංවිධායකයෝ මැළි නොවෙති. මෙහිදී කටගැස්ම ලෙස මිරිස් තුනපහේ වැඩිවෙන්න පදම් කරන ලද වල්ඌරු මස්, ගම් කුකුල් මස් හෝ හරක් කැවුතු සමඟ තැම්බූ මයියොක්කා වැනි දෙයක් ලබා ගත හැක. කැන්ද කොළයක හෝ නෙළුම් පතක් මත තබා මේවා අලෙවි කරන කුඩා කැන්ටිමක් පොර පිටිය අසලම දක්නට ඇත. ගැඹුරු තෙලේ බදින ලද හැඩැල්ලන්, අමු හාල්මැස්සන්, සාලකූරි, ඉස්සො, දැල්ලො, කකුළුවන් ද විශේෂ දිනවල අලෙවි වෙයි.

ගම්බද පොර පිටිවල ද මධුපානය ඇත්තේය. කඳුකරයේදී එය බොහෝ විට උණු උණුවේ කිතුළෙන් බාන ලද සුදු පෙණ දමන රා හෝ තෙලිජ්ජ මුට්ටියකි. බයිට් එක ලෙස තලගොයි මසක්, වල් සා මසක්, බැදපු ගම් ඌරු ගාතයක් වැනි දෙයක් උපයෝගී කර ගනී.

‘කොටන කුකුළට කොයි කොටුවත් එකයි’ යන න්‍යාය සත්‍යයක් බව ජා ඇල කොටුගොඩ ඇවරිවත්ත පැත්තේ කුකුළන්, පිට බජාර් බැස ජය ගෙන එන විටදී පෙනෙන මුත් “ගම්වාසිය කියලා දෙයකුත් තියෙනවා” යන සත්‍යතාවය වතුකරයේ කුකුළන් දෙස බැලූ විට ඇත්ත බව හැඟේ. දමිළ හිමිකාරත්වයක් ඇති කොච්චි කවඩියෝ ගමෙන් පිට දස්කම් දැක්වුවහොත් ඒ කලාතුරකිනි.

“හරි පුතා කොටපං, ගහපං, මරපං, කෙලපං, තව එකක්, කැවුතු ඇදපං, ලේ බීපං, උඩ පැනල, අන්න එහෙම. ඇහැට…..! ඇහැට….! ආදී අමානුෂික තිරිසන් සැහැසි පාඨවලින් උසිගන්වමින් දිරිමත් කරන අමන රැලක් මැද පොර වදින කුරුල්ලාට මේවා නොතේරේ. ඌට පුරුදු කර ඇති නිසාත් මනස විකෘති කැර ඇති නිසාත් කුරුල්ලා සටන ඉවරයක් කරන්නට මාන බලයි.

දිනන කුකුළාගේ හිමිකරුට ප්‍රධාන ඔට්ටු මුදල අයිති වෙයි. ඊට අමතරව තෑගි බෝග බොහෝ ලෙස ලැබේ. පිට ඔට්ටු අල්ලා ගානක් සරිකර ගත් අය දිනූ එකාට පින් දෙමින් ඌව වර්ණනා කරති.

පරදින කුකුළාට අයත් වන ඉරණම දුක්ඛිතය. සමහර විට පරදින්නේ ඌ ජීවිතයෙන්මය. නැත්නම් කරමල් ඉරාගෙන, ලේ පෙරාගෙන, පණ අදිමින් ය. ඉතාම සුළු වශයෙන් තුවාල නොලබා බේරෙන කුකුළන් ද සිටී. එවන් උන් ගණන් ගන්නේ නැත. බොහෝ විට උගේ ඉරණම විසඳීමට බාර දෙන්නේ ආපන ශාලාවේ මැරයෙකුට හෝ කුකුළා හිමිකරුගේ සහචරයකුටය. එක්වරක් පරදින ලද කුකුළෙක් තුළ බය ඇතිවෙන බව අදහන ඔට්ටුකරුවෝ යළි ඒකාට අවස්ථාවක් දෙන්නේ නැත. දුන්නොත් ඒ කලාතුරකින් මාස ගණනකට පසුවය. මෙවන් පරාජිත කුකුළා ඒ පොර පිටියේදීම අවසන් ගමන යෑම සාමාන්‍ය සම්ප්‍රදායයි.

දෙවැනි හෝ තුන්වැනි මිනිත්තුවේදී සටන අතරමැද නවතා බයෙන් පසු බැස බලා යන්නට උත්සාහ කළ තලවකැලේ ලයිමක පොර කුකුළෙකු අල්ලා එතැනදීම ඉණෙන් ගත් උල් පිහියෙන් උගේ ගෙල දෙකට කපා උගුරු දණ්ඩනේ විදින උණු ලේ දහරින් පොර පිටිය තෙත් කළ ‘දිගම්බරම්’ නමැති ම්ලේච්ඡයා ගැන අපට අහන්නට ලැබුණේ වතුකරයේ කළ සංචාරයකදී ය.

මුදල් ඔට්ටුවට නොව සෙල්ලමටවත් කුකුළන් කෙටවීමට නීතියෙන් තහනම්ය. ඒ නිසා ක්‍රිකට්, පාපන්දු, බොක්සිං, තරගවල මෙන් මෙකී කුකුල් පොරවල ඡායාරූප පුවත්පත්වල පළවෙන්නේ නැත. ප්‍රසිද්ධ ක්‍රීඩාංගණවල හෝ නගරයේ කඩමන්ඩිවල ක්‍රියාත්මක වන්නේ නැත. සාමාන්‍ය සමාජයටවත් ප්‍රබුද්ධ මහතුන්ටවත් මෙය නිරාවරණය නොවේ. පොරකොටු සඳහා අප්‍රකට ආරක්‍ෂිත රහසිගත තැනක් ඇවැසිය. අප කලින් කීවා සේ පොලිසියට හෝ ග්‍රාම සේවක රාළහාමිට ලේසියෙන් ඉව නොවැටෙන තැනක් විය යුතුය.

ඈත ගමකට වන්නට සිටින කුකුළන් කොටවන්නත් මෙය කරන්නේ ජීවිකාව වශයෙන් නොවුණත් නගරයට ළඟ පොර කුකුල් හිමිකරුවන් තම ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන ඉන්නේ මෙයයි. මාස දෙක තුනකට වරක් තම කුරුල්ලෙකු හොඳ වින් එකක් ගැහුවොත් ඒ හොඳටම ඇතිය. අයිති වන දිනුම් මුදලට අමතරව දිනපු කුකුළාව ලක්‍ෂ ගාණකට විකුණා ගත හැකිය.

අපට දැන ගන්නට ලැබුණු පරිදි කුකුල් කොටවන සූදුවට අවතීර්ණ වුණු අය බොහෝ දෙනෙක් මීට පෙරත් මෙවැනිම අසම්මත නීති විරෝධී ජාවාරම්වල නියැළී සිටි අයයි. සමහරෙක් මුතුරාජවෙල වගුරු බිම්වල වඩි ගසා හොර මත්පැන් පෙරූ අයෙකි. තවකෙක් ස්පිරිට් හෝ කසිප්පු ප්‍රවාහනය කළ මැරයෙකි. මුදලට කුකුළන් කොටවන අයගේ ඉතිහාසය මදක් විමසා බැලුවහොත් උන් සියල්ල මෙවන් හැබිචෝල් තත්ත්වයේ දාමරිකයන් මෙන්ම මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි කැරැට්ටුකාරයන් ය.

දරුණු සටන්වලට හුරු කරන කුකුළන්ව වැඩ නැති කාලවලදි බොහෝවිට රඳවන්නේ පොළොව මට්ටමෙන් පහළට වන්නට හාරා තනන ලද වළවල් වැනි කූඩුවලයි. ඒ තුළ ලී කුඩු හෝ දහයියා නැත. ඇත්තේ නිතර සිත කුප්පවන අන්දමේ ගල් බොරළු වැනි කර්කෂ පෘෂ්ඨයකි. සමහර කලට දින ගණන් හිරු එළියට නිරාවරණය කරන්නේ නැත.

කුකුළාව නිතරම ඔරොප්පු මූඩ් එකේ තමයි තියන්නේ. එතකොට ඌ ගේමකට ඇඹරෙන්නෙම නෑ.

මෙසේ කියන්නේ පිළියන්දල සුවාරපොල ජිනසිරි මල්ලී. ඔහු අවුරුදු දෙකක් විතර සීබට් මාමගේ කුකුළෙක් බලාගෙන තියෙනවා. සීබට් ඉතාලි ගියාට පස්සේ ජිනසිරිත් ඒ රස්සාවෙන් අයින් වුනාලු.

සටනකින් දිනූ පසු නම් දින කීපයක්ම කුරුල්ලන්ට උපරිම අන්දමේ සැප ලබා දෙති. ඉන් උන්ව ජය ලබා වරප්‍රසාද ගැනීම පිණිස හුරුකරනු ලබයි. පෙර කී ලෙස කෑම බීමෙන් හෝ බාහිර උවටැන්වලින් නම් අඩුපාඩුවක් නොදක්වයි.

ප්‍රවීණයන් සහභාගිවන සටනකදී ඇඟ කිලිපොලා යන දසුන් දැක බලා ගත හැක. සාමාන්‍යයෙන් පොර කුකුළෙකුට අඩි පහක් හයක් හිටිවන උඩ පැන පා පහරක් එල්ල කිරීමේ හැකියාව ඇත. “ලබ්බට තිබූ අත පුහුලටත් තියන්නා” සේ පහර කෑමෙන් කුපිත වුනු කුකුළා ආපිට හැරී තම හිමිකරුට ප්‍රහාර එල්ල කළ අවස්ථා ද තිබේ. හොඳින් වැඩුණු පොරකටු ඇති කුකුළෙකුගෙන් පහරක් කෑම ලේසි පහසු කටයුත්තක් නොවේ. එය මරණයෙන් කෙළවර වන අවස්ථා ද ඇත. ඇස් අන්ධවීම, දැලි පිහි කැපුම් පාරක් මෙන් මුහුණේ කැළලක් ඉතිරි වීම ද සිදුවෙයි. පිහාටු පුම්බාගෙන, තටු විහිදාගත් තරගකරුවෙකුගෙන් දිස්වන්නේ මහා දාමරික බිහිසුණු පෙනුමකි.

සමහර විට නරඹන්නන්ගේ හා අයිතිකරුවන්ගේ ස්වරූපය ද මෙසේමය. පරණ තරහ මරහ පිරිමහගන්නට තැත් කරන අවස්ථා ද විරල නොවේ. පිහි ඇනුමකින් වෙඩි උණ්ඩ කීපයක් මුදා හැරීමකින් අවසන් වුණු කුකුල් පොර පිටි ගැනත් අපට අහන්නට ලැබුණි. බොහෝ විට පළාතේ චණ්ඩියෙක් හෝ අයියා කෙනෙකු විසින් පොර කොටු සංවිධානය කරමින් මෙහෙයවන නිසා වලි කෂිලි අවම කිරීමට හැකියාවක් ඇත.

දරුණු ලෙස පහර කෑමෙන් හෝ අයිතිකාර පාර්ශ්වයේ දැඩි දඬුවමකට යටත්ව වේදනා විඳ හෝ මිය යන පැරදිච්ච කුකුළාගේ ඉරණමට සමාන නොහොත් ඊට අන්ත ඉරණමකට මුහුණදීමට කුකුල් කොටවන්නන්ටත් අයිති වන බව අපට අසන්නට ලැබුණි.

දිට්ඨධම්ම වේදනීය කර්මය මෙහිදීත් උච්ඡාරණය කළ හැක.

හිනිදුම පැත්තේ කුකුළන් කෙටවූ අයෙක් කැලෑ රොදක් මැදින් බීමත්ව යන විට ගල් වැටියකින් පය ලිස්සා බිමට වැටී හිස පොඩි වී මියගොස් ඇත. මීගමුවේ රෙජී මියයන්නේ දෙනෝදාහක් බලා සිටියදී සතිපොළක් මැද වෙඩි වරුසාවකට ලක්වෙමිනි. ඔහු කුකුළන් කෙටවීමට අමතරව අනවසර පස් කැපීමේ ජාවාරමේ ද යෙදී සිටි අයෙකි. කොටගල පැත්තේ රාමන්ගේ උගුරු දණ්ඩ වෙන්වන පරිදි මල් කපන පිහියකින් අදින ලද්දේ තවත් වතුකරයේම දමිළයෙකු විසින් ගෑනු පලහිලව්වකටය. රාජු ද මීට කලකට පෙර කුකුළන් කෙටවූ අමනයෙකි.

ඉහත දැක්වූයේ සිද්ධි තුනක් පමණි. අපට තවත් එවැනි දේ බොහෝ අසන්නට ලැබුණි.

කුකුළන් කෙටවීම යනු හුදෙක් අතීතයට මුසු වී ගිය පොත්පත්වල ටෙලි නිර්මාණවල පමණක් දක්නට ඇති ක්‍රියාවලියක් ලෙස සමහරු අදත් තර්ක කරති. නමුත් බොහෝ සුලබව නොවුණත් අදත් මා ඉහත කී කලාපවල හොඳින් විපරම් කළොත් කුකුල් පොර සොයාගත හැක. වැඩේ තියෙන්නේ ඒවා බොහෝම රහසිගතව සැලසුම් සහගතව සංවිධානය කිරීමයි. කුකුළන් කොටවන්නන් අතර පත්තර බලන්නන් ද සිටිනවා විය හැක. මෙය දැක උන් වඩා සුපරීක්‍ෂාකාරීව ඒවා කරගෙන යයිද නැතහොත් මෙම පාපතර ක්‍රියාව නවතා දමයි ද යන්න සටහන් කරමින් ලිපිය හමාර කරමි.

කොටන කුකුළට කොයි කොටුවත් එකයි (පොර කුකුළන් කෙටවීම)

මිත්‍ර ශ්‍රී කරුණානායක
Internationally Certified Addiction Professional
National Trainer in Addiction Science

advertistmentadvertistment
advertistmentadvertistment