කොටස් කළ සුපිරි වාහන 3ක් සමග කෝටි 35 තහනම් බඩු කන්ටේනරයකින් මතුවෙයි

513

භාවිතා කරන ලද වාහන අමතර කොටස් ලෙසින් සඳහන් කර ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වනු ලැබූ අඩි 40 ක් දිග බහාලුමක සඟවා තිබූ රුපියල් කෝටි තිස්පහක් වටිනා තහනම් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීහු ඊයේ (06 වැනිදා) සමත් වූහ.

මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී එහි අභ්‍යන්තරයේ සඟවා තිබූ කැබලි කරන ලද නවීන පියර්ස් කාර් රථයක්, ඇලියොන් වර්ගයේ මෝටර් රථ දෙකක්, විදේශීය මත්පැන් තොගයක්, සුවඳ විලවුන් වර්ග තොගයක්, සුපිරි ආහාර වර්ග සමග විදේශීය තීන්ත වර්ග රැසක් හා දුම්වැටි තොගයක්ද සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි වී ඇත.

අදාළ මෝටර් රථ තුනේ වටිනාකම පමණක් රුපියල් මිලියන හතළිහක් බව රේගුව සඳහන් කරයි. මෙම භාණ්ඩ සඟවා ගෙන ඒමෙන් රජයට අහිමිවීමට ගිය බදු මුදල රුපියල් කෝටි 22 දෙකක් පමණ වේ.

අදාළ බහාලුම කොළඹ වරායට පැමිණීමෙන් පසු ඔරුගොඩවත්ත ග්‍රේලයින් 01 රේගු අංගනයට ගෙනගොස් ඇති අතර එහිදී ඇති වූ සැකයක් මත එය රේගු භාරයට ගෙන සිදු කළ පරීක්ෂාවේදී එහි සඟවා තිබූ මෙම භාණ්ඩ තොගය හමුවී තිබේ.

කොටස් කළ සුපිරි වාහන 3ක් සමග කෝටි 35 තහනම් බඩු කන්ටේනරයකින් මතුවෙයි

මෙම භාණ්ඩ තොගය ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇත්තේ කොළඹ කොටුව චැතැම්වීදියේ පිහිටි ආයතනයකි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ සහ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ ඩී. බී. එම්. සමරතුංග මහතාගේ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ නලීන් ප්‍රේමරත්ත මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන සී. එස්. වික්‍රමරත්න, ඒ. ඩබ්. එල්. සී. වීරකෝන්, කාර්යභාර නිලධාරී අරුණ අමරසිංහ යන මහත්ම මහත්මීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමන් ගමගේ සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment