කොටස් වෙළෙඳපොළේ EPF ආයෝජනවල වටිනාකම ඉහළට

112

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම්වල සිදුකර ඇති කොටස් ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම ගිය වසර (2021) අවසානයේදී රු.බිලියන 28කින් (රු.කෝටි 2800කින්) ඉහළ ගොස් තිබේ.

මේ අනුව අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම්වල ආයෝජනයේ වෙළෙපොළ වටිනාකම 2021 වසර අගවනවිට රු. බිලියන 112 (රු. කෝටි 11,200ක්) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි.

මේ ගැන කරුණු දක්වන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේද පවසයි.

මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල ශ‍්‍රී ලංකාවෙහි දැනට පවතින විශාලතම විශ‍්‍රාම අරමුදල වේ. අරමුදලෙහි වටිනාකම ආරක්ෂාකර ගනිමින් සමාජිකයින්ට උපරිම ප‍්‍රතිලාභ ලබාදීමේ දිගුකාලීන අරමුණ ඇතිව එහි ආයෝජන කලඹ පවත්වාගෙන යනු ලැබේ. නිශ්චිත අවදානම් පරාමිතීන් යටතේ පාලනය වන මෙම අරමුදලෙන් සියයට අනූ හතරක් රජයේ සුරැුකුම්පත්වල ආයෝජනය කර ඇති අතර ඉතිරිය ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් කොටස් සාංගමික ණයකර භාරකාර සහතික හා වෙනත් මුදල් වෙළෙඳපොළ උපකරණවල ආයෝජනය කර ඇත. මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද උපායමාර්ගික වත්කම් වෙන් කිරීමේ නියමිත සීමාවන්ට යටත්ව අනුමත කරන ලද වත්කම් පංතිවල ආයෝජනය කිරීම මගින්

විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් සේ.අ.අ. පවත්වාගෙන යනු ලැබේ. 2020 දෙසැම්බර් 31 වෙනි දිනට සේ.අ.අ. ආයෝජන කලඹෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,243ක් විය. ඉහත දක්වා ඇති පරිදි, සේ.අ.අ. එහි ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව සිය අරමුදලින් සියයට තුනක ප‍්‍රමාණයක් ප‍්‍රමාණවත් මූර්ත ප‍්‍රතිලාභයක් ලබා ගැනීමේ දීර්ඝ කාලීන අරමුණින් ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජනය කර ඇත. සාර්ව ආර්ථික විචල්‍යන්හි උච්චාවචනය, සමස්ත කොටස් වෙළෙඳපොළෙහි ක‍්‍රියාකාරිත්වය මෙන්ම එක් එක් ලැයිස්තුගත සමාගම්හි කාර්යසාධනය යන කරුණු සේ.අ.අ. හි ලැයිස්තුගත කොටස් කලඹෙහි වෙළෙඳපොළ වටිනාකම වෙනස්වීමට බලපානු ලැබේ. ශ‍්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන් :ීඛත්‍ඍී) වලට අනුකූලව සේ.අ.අ. ආයෝජන කලඹෙහි වටිනාකම හා ආදාළ මූල්‍ය වර්ෂයේ ලාභය ගණනය කිරීම සිදුකරනු ලැබේ.

ඉහත සඳහන් කළ මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන්ට අනුකූලව ලැයිස්තුගත කොටස් කලඹෙහි වෙළෙඳපොළ වටිනාකම 2021 වසර අවසානයේදී එහි පිරිවැය වූ රුපියල් බිලියන 84ට සාපේක්‍ෂව රුපියල් බිලියන 112ක් දක්වා වර්ධනය වීම මත රුපියල් බිලියන 28ක සැලකිය යුතු උපලබ්ධි නොවු ලාභයක් වාර්තා විය. තවද, 2021 වසරේදී කොටස් හා මුදල් ලාභාංශ සහ ප‍්‍රාග්ධන ලාභ ලෙස සේ.අ.අ. රුපියල් බිලියන 4.7ක් උපයන ලදී. එමෙන්ම 2019 සිට 2021 දක්වා වන තෙවසර තුළ රුපියල් බිලියන 9.6ක පිරිවැයක් සහිත වූ ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජන මත රුපියල් බිලියන 2.5ක වාර්ෂික සාමාන්‍ය ලාභාංශ ආදායමක් උපයාගෙන තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment