කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

240

කොටිඩයස්පෝරාව 13 වැනි සංශෝධනය ප‍්‍රතික්ෂේප කරයි

ඉන්දීය නාවික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කොළඹ නාවික මූලස්ථානයේ

භාරත් ඉලෙක්ට්‍රෝනික්ස් යළි මෙරට ආරක්ෂාවට මැදිහත් වෙයි

යුක්රේන් යුද්ධයටත් කොටිඩයස්පෝරාව මැදිහත්වෙයි

මුලතිව් කොටි පොලිස් නායකයාව සිටි රංජිත් කුමාර් නොහොත් නික්සන් ප‍්‍රංශයේ දී මිය යයි.

13 වැනි සංශෝධනය පූර්ණව ලබාදුන්නොත් ඩයස්පෝරාව මෙරට ආර්ථිකය නැංවීමට කි‍්‍රයා කරනවා. ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට වඩා ඩයස්පෝරාවට මුදල් තිබෙනවා යැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් නමැත්තා පසුගියදා ප‍්‍රකාශ කර තිබිණි. සුමන්තිරන් පවසන මේ ඩයස්පෝරාව කවුරුන්ද? ඒ බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල සහ කැනඩාවේ සිටින කොටි ඩයස්පෝරාවයි.

කොටි සංවිධානය පරාජය වුවත් කොටි ජාත්‍යන්තර ජාලය ඇදවැටි නැත. ගතවූ වසර ගණනාව මුළුල්ලේ කොටි ජාත්‍යන්තරය විශාල වශයෙන් අරමුදල් එකතු කරනු ලැබීය. මේ මුදල් කැනඩාවේ සිට ස්විට්සර්ලන්තය හරහා ඩුබායි සහ සිංගප්පූරුවට එවනු ලැබුවේ අවි ආයුධ මිලට ගැනීම සඳහායි. අරමුදල් එකතු කිරීමට ටී. ආර්. ඕ. නමින් සංවිධානයක් ද ආරම්භ කර තිබිණි. ඒ සඳහා ලැබුණු සියලූ අරමුදල් විදේශ බැංකුවලට බැර විය.

ප‍්‍රංශයේ පැරිස් නුවර බාර්සිලේස්, ජර්මනියේ ස්පාට්කාස් මොන්රබ්ලේන්ග්ලාට්බාන්, ඩෙන්මාර්කයේ බීජි බැංකුව කැනඩාවේ ටීපී බැංකුව, ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් සුයිසේ යන බැංකුවලට මේ කොටි අරමුදල් බැර විය.

කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

මේ වනවිට කොටි ජාත්‍යන්තරය සතු වත්කම් ඩොලර් බිලියන පහකට අධිකය. මෑතකදී ඉන්දියාවේ මුම්බායි නුවර ඕවර්සීස් ඉන්දියා බැංකුවේ කොටි ගිණුම් ඇති බවට ඉන්දීය ජාතික බුද්ධි සේවයට හෙළි විය. කැනඩාවේ පදිංචි මේරි ප‍්‍රැන්සිස්කා නමැත්තිය ඩෙන්මාර්ක් සහ ස්විස් කොටි එජන්තවරු දෙදෙනකුගේ සහ කොටි බුද්ධි අංශයේ සිටි කාන්තාවකගේ සහායෙන් එම මුදල් ආපසු ලබා ගැනීමට උත්සාහ කිරීමේදී හසු විය.

එසේ වුවත් කොටි ජාත්‍යන්තරයේ මුදල් ගිණුම්වලින් ලබා ගැනීම ප‍්‍රභාකරන් විසින් අනුමැතිය දුන් කොටි කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නැත.

නෝර්වේහි ඔස්ලෝ නුවර සිටින ප්ලොට් ජාත්‍යන්තරයේ ප‍්‍රධානියා අප වෙත හෙළි කළේ සුමන්තිරන් පවසන ද්‍රවිඩ ඩයස්පෝරාවට ශී‍්‍ර ලංකාවේ ආයෝජනය කිරීමට මුදල් නැති බවයි. සුමන්තිරන් විසින් රජය රැවටීමකට ලක් කරනවා. කොටි කිසි දිනෙක ශී‍්‍ර ලංකාවේ ආයෝජන කරන්නේ නැහැ. ද්‍රවිඩයකු ලෙස ආයෝජනය කළ හැකි පුද්ගලයා ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු පමණයි යැයි හෙතෙම හෙළි කළේය.

සෑම වසරකම ප‍්‍රංශයේ සිට ජිනීවා පැමිණ සමාන්තර රැස්වීම් පැවැත්වීම සහ තමිල්නාඩුවේ සිට ද්‍රවඩයන් කුලියට ගෙන ඒම ඇතුළු ශී‍්‍ර ලංකාවට එරෙහි කි‍්‍රයා මෙහෙය වන මරියාදාස් බොස්කෝ පවා වැය කරන්නේ කොටි අරමුදල් යැයි එම ප්ලොට් ජාත්‍යන්තර ප‍්‍රධානියා අනාවරණය කළේය.

මේ හැර කොටි ඒජන්තවරු කැනඩාව තුළ විශාල ව්‍යාපාර ආරම්භ කර ඇත. ටොරොන්ටෝ නුවර පිහිටි බාබු අවන්හල එක් ව්‍යාපාරයකි. මෙහි නියම හිමිකරු වූයේ මියගිය කොටි දේශපාලන නායක තමිල් සෙල්වම්ය. තමිල් සෙල්වම්ගේ අයිතිය ඔහුගේ බිරිඳ ඉල්ලා සිටියත් එය ලැබුණේ නැත.

කැනඩාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් කීපයක කොටි ජාත්‍යන්තර ජාලය සතු ව්‍යාපාර රැසක් කි‍්‍රයාත්මක වේ. පැරිසියේ ලිට්ල් ජැප්නා ප‍්‍රදේශයේ ව්‍යාපාරවල හිමිකරුවෝ හිටපු කොටි ඒජන්තවරු වේ. මේ පසුබිම මැද එම්. කේ. සුමන්තිරන් ඩයස්පෝරාවේ මුදල් ශී‍්‍ර ලංකාවට තුළ ආයෝජන කිරීමට එකඟ වී ඇති බවට ප‍්‍රකාශය විශ්වාස කළ හැකිද?

ස්විට්සර්ලන්තයේ ලොසෝන් – බර්න් සූරිච් සහ ෂොප් හසන් යන ප‍්‍රදේශවල පදිංචිව සිටින කොටි කිසිවිටෙක ශී‍්‍ර ලංකාවේ ආයෝජනවලට ඉදිරිපත් නොවේ.

මේ අතර කැනඩාවේ ද්‍රවිඩයන් 120000 ක් ද ස්විට්සර්ලන්තයේ 35000 ක් ද ඔස්ටේ‍්‍රලියාවේ 80000 ක් ද, ඉතාලියේ 25000 ක් ද, නෝර්වේහි 10000 ක් ද, ඩෙන්මාර්කයේ 9000 ක් ද, ප‍්‍රංශයේ 30000 ක් ද, ජර්මනියේ 60000 ක් ද සිටිති.

මෙම රටවල ද්‍රවිඩ සංවිධාන මුවාවෙන් කි‍්‍රයාත්මක වූ කොටි හිතවාදී සංවිධාන 300 කට අධික සංඛ්‍යාවක් ද කොට් ඒජන්තවරු 300 ක් ද සිටින බව හෙළි වූයේ වන්නියේ කොටි බංකරයක තිබී හමුවූ ලැයිස්තුවකිනි.

මේ ද්‍රවිඩ සංවිධාන දෙමළ ඩයස්පෝරාව යැයි හඳුන්වා ඇත. එවැනි විටක උතුරු නැඟෙනහිර විසඳුමක් දීමට රජය කි‍්‍රයා කරන්නේ නම් දෙමළ ඩයස්පෝරාව ආයෝජන කරයි යනුවෙන් සුමන්තිරන් පවසා තිබේ.

කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

එසේ වුවත් 69 ලක්ෂයක් ජනතාව රජයට සහ ජනාධිපතිට ඡුන්දය දුන්නේ දෙමළ ඩයස්පෝරාව යැයි හඳුන්වන කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු කිරීමට ද? යහපාලන රජය සමයේ උතුරේ ආණ්ඩුකාරයාව සිටි රෙජිනෝල්ඞ් කුරේ බි‍්‍රතාන්‍යයේ සිට දෙමළ ඩයස්පෝරාව යැයි හඳුන්වන කණ්ඩායමක් මෙරටට ගෙන්වා සාකච්ඡා කළත් එම ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් ශී‍්‍ර ලංකාව තුළ ආයෝජන ආරම්භ කළේ නැත. එසේම කොටිඩයස්පෝරාව පැවසුවේ තමන්ට 13 වැනි සංශෝධන අවශ්‍ය නැති බවත් රජය ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයා කළ යුතු බවයි.

මේ තත්ත්වය මත සුමන්තිරන් කර ඇත්තේ රැවටීමක් නොවේද? ප‍්‍රංශ කොටිඩයස්පෝරා සංවිධාන 11 ක් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගොස් ඉදිරිපත් කළ සංදේශවල සඳහන් වූයේ උතුරු නැඟෙනහිර ප‍්‍රදේශ ශී‍්‍ර ලංකා රජයේ පාලනයෙන් තොර පළාත් බවත් ස්වයං පාලනය ලබාදීම හැර වෙනත් විසඳුම් අවශ්‍ය නැති බවත්ය. එසේ නම් සුමන්තිරන් පවසන ඩයස්පෝරාව ඇත්තේ කුමන රටේ ද? බෙදුම්වාදයට සහාය දක්වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නමැත්තා ද කොටිඩයස්පෝරාවේ ස්ථාවරය මත කි‍්‍රයාත්මක වේ. මේ අතර ජනපති හමුවූ ද්‍රවිඩ සන්ධානය ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කර ඇත. රැඳවුම් භාරයේ සිටින කොටි 48 ක් මුදාහැරීම, උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීම, ආරක්ෂක හමුදාවට යටත් වූවන් අතුරුදන්වීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන කරුණු එලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් අතර විය. මෙවන් පසුබිමක් මැද අතුරුදන්වූවන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදීමට රජය ගත් තීරණය අතුරුදන්වූවන් සංවිධානය ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ ප‍්‍රබල නිලධාරිනියක් වූ වික්ටෝරියා නූලන්ඞ් මෙරටට පැමිණියේ කුමකට දැයි තහවුරු විය.

පසුගිය ආරක්ෂක ලිපියෙන් අප අනාවරණය කළේ ඇමරිකාව දියත් කළ ඉන්දු – ශාන්තිකර කලාපීය ක්වොඞ් මෙහෙයුම යටතේ ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමට ශී‍්‍ර ලංකාව එකඟ වී ඇති බවයි. වික්ටෝරියා නූලන්ඞ් මෙරට දී කළ ප‍්‍රකාශය එම කි‍්‍රයාදාමය සනාථ කර ඇත. මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනිය මෙලෙස පවසා තිබේ. ද්විපාක්ෂික සබඳතාවට ඉඩදීම ගැන මා අගය කරන්නෙමි. අපි ශී‍්‍ර ලංකා නාවික හමුදාවට යාත‍්‍රා දෙකක් දී ඇත. එක් යාත‍්‍රාවක් දැනටමත් සේවයට යොදා තිබේ. අනිත් යාත‍්‍රාව මඟ එමින් තිබේ.

කෝස්ට් ගාඞ් කටර් නමින් හඳුන්වන එම යාත‍්‍රා ඇමරිකාව මෙරටට පරිත්‍යාග කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මුහුදු කලාපයේ නිරීක්ෂණ මෙහෙයුම්වලට නොවේ. ඒ ඉන්දීය සාගරයට අවතීර්ණ වන චීන නැව් නිරීක්ෂණය සඳහායි. එසේම ශී‍්‍ර ලංකාවේ පළාත් පාලන මැතිවරණ පවත්වන ලෙස ද ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන ලෙස ඇය ඉල්ලා තිබේ. මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන පනතට සංශෝධන ගෙන ඒම ගැන ද ඇය සිය ප‍්‍රසාදය පළකර තිබේ.

කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

මෙවන් පසුබිමක් මැද විපක්ෂයේ හර්ෂ ද සිල්වා නමැති දේශපාලකයා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කරමින් ත‍්‍රස්ත මර්දන පනත තුළින් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව සිරගත වී ඇතැයි ද සිංහලයන් කිසිවෙකුත් රැඳවුම් භාරයේ නැති බවත් ප‍්‍රකාශ කර ඇත. එසේ නම් පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සහ හම්බන්තොට පදිංචිකරුවන් වූ බන්දුල ගජධීර සහ අජිත් එදිරිසිංහ සුද්දන් ද?

පොලිස් අධිකාරි කුරේ වසර 13 ක් රැඳවුම් භාරයේ සිටි අනිත් සිංලයන් දෙදෙනා ද ඊට සමාන කාලයක් රැඳවුම් භායේ සිටින බව හෙළිවිය. මේ දෙදෙනාට එරෙහි සාක්කිකරු වූයේ හිටපු මුහුදු කොටි ප‍්‍රධානියකු වන සීලන්ය. ගාලූ වරායට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසු වේ. ත‍්‍රස්ත මර්දන ඒකකයේ ආරංචි මාර්ග පැවසුවේ මුහුදු කොටි නායක සුසෙයි සතු රන් තොගයක් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට ලබාදී සීලන් රජයේ සාක්කිකරුවකු වූ බවයි. සීලන් නමැත්තා හැදීවැඞී ඇත්තේ ඉහත කී හම්බන්තොට පදිංචිකරුවන්ගේ නිවාසවල බව හෙළි වී තිබේ. එම චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

මේ පසුබිම මැද හර්ෂ ද සිල්වා සිංහලයන් තිදෙනෙක් රැඳවුම් භාරයේ සිටින බව නොදැනීම කනගාටුවට කරුණකි.

මේ අතර සිවු වසරකට පසු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේනතුවේ මෙහෙයවීම මත ඇමරිකානු සත්වැනි නාවුක හමුදාවේ රියර් අද්මිරාල් ඒ ක්ලාක් ඇතුළු නිලධාරීන් පිරිසක් මාර්තු 22 දා මෙරටට පැමිණ නාවික හමුදාව සමග සාකච්ඡා පවත්වා ඇත. මෙයට අමතරව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමග ද සාකච්ඡා පවත්වා තිබේ.

මේ සාකච්ඡා ඉන්දු ශාන්තිකර ක්වොඞ් මෙහෙයුමේ ඉදිරි කි‍්‍රයාමාර්ගය සඳහායි. මේ අතර රජය බලයට ගෙන ඒමට කි‍්‍රයා කළ ජාතික සංවිධාන කෙරේ රජයේ බලධාරීන් අවධානය යොමු කිරීම ඉවත දමා තිබේ. යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටින ලෙස මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක් රාජ්‍ය නායකත්වයෙන් කළ ඉල්ලීම ඉටු වූයේ නැත.

එහි ප‍්‍රතිඵලය දැන් පැහැදිලිවම තහවුරු වී ඇත. පසුගිය දිනෙක ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආසියානු කලාපය භාර ප‍්‍රධානී රෝරි මුන්ගෝවන් මෙලෙස ප‍්‍රකාශ කර තිබේ.

‘‘ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය සඳහා මගේ කාර්යාලය දැනටමත් සාක්කි එකතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය කාලයේ එකතු කළ සාක්කිවලට අමතරව විවිධ තොරතුරු අප සතුව පවතිනවා. අප මේ ලියවිලි විශ්ලේෂණයට ලක්කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා – සර්ව ලෝක අධිකරණ පද්ධතිය යටතේ යුද අපරාධ සැකකරුවන්ට එරෙහිව ශී‍්‍ර ලංකාවෙන් පිටත දී නඩු ගොනු කිරීම අපේ අරමුණයි.

මේ ප‍්‍රකාශය තුළින් තහවුරු වන්නේ කොයි මොහොතේ හෝ චෝදනා එල්ල වී ඇති මෙරට හමුදා නිලධාරීන්ට විදේශ රටවල දී නඩු පැවරෙන බවයි. බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය, ස්විට්සර්ලන්තය තුළ යුද අපරාධ කාර්යාල තුනක් ස්ථාපිත කර ඇති අතර මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට දඬුවම කිරීම සඳහා එම කාර්යාල භාවිත කිරීමට ඉඩ ඇත. මානව හිමිකම් කවුන්සිලයේ ශී‍්‍ර ලංකාවට එරෙහි අසාධාරණ කි‍්‍රයාව පිළිබඳව එම කවුන්සිලයේ සභාපති වූ ආජන්ටිනා තානාපතිනී පෙඞ්රිකෝ විලේජස් සමග රජය සාකච්ඡා කර ඇති අතර ඒ ගැන ඉදිරියේදී නිරීක්ෂණය කිරීමට එකඟ වී ඇත. එහෙත් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට උපදේශ ලබා දෙන්නේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකායි. ඇය ශී‍්‍ර ලංකාවට එරෙහිව දියත් කර ඇති මෙහෙමයුම නතර කිරීමට සූදානම් නැත.

කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

මෙවන් පසුබිමක් මැද ජර්මනියේ ඒඞ්ටු ද නිඞ් සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කාදිනල් මැල්කම් රංජිත් රජය වෙත බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ නොමඟ ගිය තරුණ කණ්ඩාමක් නොවේ. එය මැනවින් සංවිධානය වූත් සම්බන්ධීකරණය වූත් මෙහෙයුමක් විනාඩි 18 ක් තුළ ස්ථාන 7 ක බෝම්බ පිපිරුණා. එක් බෝම්බකරුවෙක් බෝම්බය පුපුරුවා ගත්තේ නැහැ. බලධාරීන්ට මෙම ප‍්‍රහාර සිදුවීම අවශ්‍ය වුණා. යුක්තිය ඉටුවන තුරු මා සටන් කරනවා යැයි කාදිනල්වරයා පැවසූ බව වතිකානු ප‍්‍රවෘත්ති සේවාව අනාවරණය කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක නම් වූ රාජ්‍ය බුද්ධි සේවාවේ සබඳතාව ගැන බරපතළ තොරතුරු රැසක් සොයා ගත් බව ද හෙතෙම පැවසූහ. එහෙත් පාස්කු ප‍්‍රහාරයට අදාළ තොරතුරු හරීන් ප‍්‍රනාන්දුගේ පියාට ලැබී තිබිය දී එම තොරතුරු අනාවරණය කිරීමට කි‍්‍රයා නොකළේ මන්දැයි කාදිනල්වරයා දක්වා නැත. එසේම හරීන් ප‍්‍රනාන්දුගේ පියාට මේ තොරතුරු ලබාදී ඇත්තේ රහස් පොලිසියේ නිලධාරියකු විසිනි. ඉන් සනාථ වන්නේ රහස් පොලිසියට පාස්කු ප‍්‍රහාරය ගැන කල්තියා තොරතුරු ලැබී තිබුණ බවයි. එම සමයේ රහස් පොලිසියේ ප‍්‍රධානියා ශානි අබේසේකර නමැත්තායි.

හරීන් ප‍්‍රනාන්දුගේ පියාට එම තොරතුරු සැපයූ රහස් පොලිස් නිලධාරියා ගැන හිටපු රහස් පොලිස් ප‍්‍රධානී ශානි අබේසේකර විමර්ශනය කළේ නැත. වත්මන් රජය යටතේ කි‍්‍රයාත්මක රහස් පොලිසිය ද ඒ ගැන පරීක්ෂණ කර නැත.

ජර්මනියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කාදිනල්වරයා පැවසුවේ ප‍්‍රහාර සිදුවීම බලධාරීන්ට අවශ්‍ය වූ බවයි.

එම සමයේ ජනපති අගමැති කවුද? එම ප‍්‍රහාර සිදුවනු දැකීම අවශ්‍ය වූයේ ඔවුන් දෙදනාට යැයි මැල්කම් රංජිත් හිමියන් හෙළි කර නැත.

මේ අතර ඉන්දියාවේ එකොනොමික් ටයිම්ස් පුවත්පත මෙරට ජාතික ආරක්ෂාවට සම්බන්ධ තවත් බරපතළ පුවතක් අනාවරණය කර ඇත.

ඒ ඉන්දියාවේ සිටින ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ චීන තර්ජනයට මුහුණදීම සඳහා උපාය මාර්ගික පති‍්‍රකාවක් කෙටුම්පත් කිරීමයි. මෙම උපාය මාර්ගික පති‍්‍රකාවේ මෙලෙස දක්වා තිබේ.

‘‘යුද අභ්‍යාස පැවැත්වීම – ඉහළ පෙළේ හමුදා නිලධාරීන් හුවමාරුව ඉන්දියාවේ ඩොලර් මිලියන 50ක ත‍්‍රස්ත මර්දන කටයුතු සඳහා වූ ණය මුදල සහ තමිල්නාඩුවේ සිටින අනාථ වූ ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නය යන කරුණු එකී පති‍්‍රකාවට ඇතුළත් කර තිබේ.

කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

මෙහිදී නැඟෙන ප‍්‍රශ්නය නම් කැබිනට් මණ්ඩලයට නොදන්වා ආරක්ෂක උපාය මාර්ගික පති‍්‍රකාවක් කෙටුම්පත් කිරීමට මිලින්ද මොරගොඩ කවුද යන්නයි. 2002 සටන් විරාම ගිවිසුමේ මූලිකයකු වූයේ මොහු බව රජයට අමතක වී තිබේ.

චීනය සමග ශී‍්‍ර ලංකාව සහයෝගයෙන් කටයුතු කරන අවස්ථාවේ චීනයට එරෙහිව කි‍්‍රයා කිරීමේ මෙහෙයුම පසුබිමේ ඇමරිකාව සිටින බව තහවුරු විය. මේ අතර ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර වූ ආරක්ෂක ගිවිසුමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. මේ ගිවිසුමේ තොරතුරු ජනතාවට හෙළි වී නැතත් එය කෙටුම්පත් වී ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය ලෙස බව වාර්තා විය.

එම ගිවිසුමට අනුව ඉන්දියාව මෙරටට තෑගි කරන නාවික තටාගය ස්ථානගත කරන්නේ ති‍්‍රකුණාමලයෙනි. එසේම නාවික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කොළඹ ද අනුබද්ධ ශාඛා ති‍්‍රකුණාමලය හම්බන්තොට – ආරුමුගම් බොක්ක – මුල්ලිකුලම් – පේදුරුතුඩුව – ගාල්ල – මඩකලපුව – කල්ලරාව යන ස්ථානවල ස්ථානගත කෙරේ. මැරිටයිම් රෙස්කියු කෝර්ඩිනේෂන් සෙන්ටර් හෙවත් නාවික ආරක්ෂක සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස හඳුන්වන ආයතනය ස්ථාපිත කිරීමට ඉන්දියාව ඩොලර් මිලියන 6ක ණයක් ශී‍්‍ර ලංකාවට ලබාදේ.

මේ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගම අතර ගිවිසුමක් ඇති වී තිබේ.

මෙහිදී නැඟෙන ප‍්‍රශ්නය නම් භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම එකී මධ්‍යස්ථානය කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සහ උපාය මාර්ගික නාවික කඳවුරුවල පිහිටුවීමට කි‍්‍රයා කිරීමයි. විදේශ රටකට නාවික මූලස්ථානය තුළ කටයුතු කිරීමට ඉඩදීම මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එම එම් ආර් සී මධ්‍යස්ථානය නාවික හමුදා මූලස්ථානය තුළ නොව, වෙනත් ස්ථානයක පිහිටුවිය යුතු අතර එම ස්ථානය ද පාලනය කළ යුත්තේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවයි.

එහෙත් මේ ආරක්ෂක ගිවිසුමේ එවැන්නක් සඳහන් වී නැත.

කොටි ඩයස්පෝරාවේ ඩොලර් බිලියන 5ක් විදේශ බැංකු පහක

එසේම ටොන් 4000 ක් බරැති පාවෙන තටාගයේ වටිනාකම ඩොලර් මිලියන 19.81ක් වේ. මෙය ගෝවේ නාවික තටාකාංගණයේ ඉදිකෙරේ. මෙම පාවෙන තටාගය ති‍්‍රකුණාමලය වරායේ ස්ථානගත කරන්නේ මන්ද?

මෙකී ගිවිසුම වසර පහකට බලපැවැත්වේ. මේ හැර ඉන්දියාව විසින් මුහුුදු නිරීක්ෂණ ඩෝනියර් යානා එකක් නොමිලේ මෙරටට ලබාදීමට තීරණය කර ඇත. මෙයට පෙර භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ශී‍්‍ර ලංකාවට ඉන්ද්‍රා රේඩාරය ලබා දුන්නේය. එහෙත් කොටි ගුවන් යානා එනවිට එය අකී‍්‍රය විය. පසුව රජය චීනයෙන් ති‍්‍රමාණ රේඩාර් පද්ධතියක් මිලට ගනු ලැබීය.

මෙම පසුබිම මැද භාරත්් ඉලෙක්ට්‍රොනික්ස් මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වූයේ 2 වැනි වරටය. මේ අතර ඩයස්පෝරා ආයෝජන වෙනුවෙන් රජය විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට සූදානම් වුවත් බි‍්‍රතාන්‍යය කොටිඩයස්පෝරාව ඊට එකඟ වී නැත.

අපට ස්වයංපාලනය මිස 13 වැනි සංශෝධනය අවශ්‍ය නැතැයි ලන්ඩන් නුවර කොටිඩයස්පෝරාව ප‍්‍රකාශ කර ඇත. එසේ නම් ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර සුමන්තිරන් රජය අන්දවා ඇති බව තහවුරු නොවන්නේද? මේ තත්ත්වය මත හමුදා නිලධාරීන් 28කට එරෙහිව එල්ල වී ඇති චෝදනා සඳහා ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීමට රජය කි‍්‍රයා නොකළේ මන්ද? ජාතික සංවිධාන එම ඉල්ලීම රජයට ඉදිරිපත් කළත් ඊට ප‍්‍රතිචාර දැක්වීමට රජය කි‍්‍රයා කළේ නැත.

මේ පසුබිම මත ලන්ඩන් කොටිඩයස්පෝරාවේ සුළු පිරිසක් යුක්රේනයට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සහාය නොදැක්වීම පිළිබඳව විරෝධය දක්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment