කොටි ඩයස්පෝරාව නටන්න හදන අලුත්ම නාඩගම

1370

යාල්දේවි දුම්රියට බෝම්බ අටවා වසර 37යි

මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයට වසර 26යි

ප‍්‍රභාකරන් අසුවූ රන් හා රිදී ආලේපිත තෑගි පෙට්ටිය

හිටපු හමුදාපති ජගත් ජයසූරිය 2007 සිට 2009 දක්වා වන්නියේ ආරක්‍ෂක ප‍්‍රධානියා ලෙස කටයුතු කළේය. 2017 අගෝස්තු මස ඔහු යුද අපරාධකරුවකු ලෙස නම්කළ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා ලතින් ඇමරිකානු අධිකරණ කීපයක් හමුවේ නඩුවක් ගොනු කළේය.

ඒ වනවිට ජගත් ජයසූරිය ලතින් ඇමරිකාවේ සිට ඩුබායි හරහා ශ‍්‍රී ලංකාවට සම්ප‍්‍රාප්ත විය. සුකා ඩුබායි රාජ්‍යයේ දී ජගත් ජයසූරිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කළත් එම සැලසුම ව්‍යාර්ථ විය. එහෙත් සුකා එම උත්සාහය අත්හැරියේ නැත.

මේ වසරේ පෙබරවාරි 13 ඇය තම 2 වැනි මෙහෙයුම ආරම්භ කළාය.

ඊට බි‍්‍රටිෂ් ටැමිල් කෝන්සර්වේටිව් – ටැමිල්ස් ෆෝ ලේබර් – ශ‍්‍රී ලංකා කැම්පේන් – ලිබරල් ඩිමොක‍්‍රටික් සහ පර්ල් සහ කොටි හිතවාදී සංවිධාන දායක විය.

මේ වසරේ බි‍්‍රතාන්‍යයේ බර්මිංහැම් නුවර දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට ජාතික බොක්සිං ශූරතා තේරීමේ කමිටු සභාපති ජගත් ජයසූරිය පැමිණෙන බවට කොටි ඩයස්පෝරාවට වාර්තා විය. ඒ සමගම ටැමිල්ස් ෆෝ ලේබර් සංවිධානයේ සෙන් කන්දයියා නැමැති කොටි හිතවාදියා කි‍්‍රයාත්මක විය.

කොටි ඩයස්පෝරාව නටන්න හදන අලුත්ම නාඩගම
මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයට වසර 26යි

ජගත් ජයසූරිය බි‍්‍රතාන්‍යය ට පැමිණිවිට ඔහුව අත්අඩංගුවට ගැනීමට අප කි‍්‍රයාකරනවා. සර්ව ලෝක අධිකරණ පද්ධතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගත හැකියි යැයි කන්දයියා කියා සිටියේය. මෙයට පෙර හමුදා ජෙනරාල් චැගි ගාල්ලගේ බි‍්‍රතාන්‍යයේ දී අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහද අසාර්ථ විය. මෙම සර්වලෝක අධිකරණ පද්ධතියට බි‍්‍රතාන්‍ය රජය ද අත්සන් කර තිබේ. ලන්ඩන් නුවර සිටින ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන් තමන් වව්නියාවේ ජෝශප් කඳවුරේදී වධහිංසාවලට ලක්වූ බවට බි‍්‍රතාන්‍ය අධිකරණයට පැමිණිලි කළහොත් යම් ලෙසකින් ජගත් ජයසූරිය බි‍්‍රතාන්‍යයට පැමිණ සිටියහොත් ඔහුව අත්අඩංගුවට ගත හැකිය.

මේ සතියේ ජර්මානු අධිකරණය හමුවට යුරෝපීයන් සෙන්ටර් ෆෝ කන්ස්ටිටියුෂනල් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානි මුලවී පැමිණිල්ලක් කරමින් සිරියානු කර්නල් රස්ලාන් සිරියානුවන් 4000කට වධහිංසා පමුණුවා ඇති බව දක්වමින් කර්නල්වරයාව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටියේය. ඒ අනුව අත්අඩංගුවට ගත් කර්නල් රස්ලාන්ට එරෙහිව නඩු පවරා ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබීය. සර්වලෝක අධිකරණ පද්ධතිය මත අත්අඩංගුවට පත්වී සිරගෙට යැවූ මුල්ම හමුදා නිලධාරියා කර්නල් රස්ලාන්ය. දැන් සර්වලෝක අධිකරණ පනතට අමතරව බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව මැග්නිට්ස්කි පනත් යටතේ ද ශ‍්‍රී ලංකාවට දඬුවම් කිරීමට සැරසේ.

මෑතකදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පැවසුවේ ඉදිරියේ දී පිහිටුවන විනිශ්චය මණ්ඩලයක් සඳහා ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව 120000ක සාක්කි ඉදිරිපත් කරන බවයි. එහෙත් 1988 සිට ගම්මානවලට කඩාවැදි සිවිල් වැසියන් ඝාතනය කරමින් කොටි යුද අපරාධ කර ඇත. මේ යුද අපරාධ මානව හිමිකම් කවුන්සිලය වසන් කර ඇත. එම බිහිසුණු අපරාධ කලවුන්ට නිදහස ලැබී විදේශ රටවලට පලාගොස් සුවසේ සිටින අතර එකී අපරාධකරුවන්ට එරෙහි යුරෝපා ආණ්ඩු කිසිම පියවරක් ගෙන නැත.

ස්විස් ආරංචි මාර්ග පැවසුවේ ස්විට්සර්ලන්තයේ පමණක් කොටි යුද අපරාධකරුවන් 200කට අධික සංඛ්‍යාවක් සිටින බවයි. ස්විට්සර්ලන්තය තුළ යුද අපරාධ විමර්ශන කාර්යාලයක් ඇතත් එම කාර්යාලය කොටි යුද අපරාධකරුවන් ගැන පියවරක් ගෙන නැත. ස්විස් ආරංචි මාර්ග තවදුරටත් හෙළිකළේ උතුරේ මැණික් ෆාම් කඳවුරේ සිටි කොටි යුද අපරාධකරුවන් ඇතැම් පාර්ශ්වවලට අල්ලස් ලබා දී බි‍්‍රතාන්‍යයට සහ ස්විට්සර්ලන්තයට පැන ආ බවයි. මේ අතර මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව විනිශ්චය මණ්ඩලයක් පිහිටුවන්නේ කවදා දැයි අනාවරණය කර නැත. එහෙත් ඇය සිය බලතල ඉක්මවා කි‍්‍රයාකරයි. මෙය භයානක ප‍්‍රවණතාවයකි.

ඇයට කළ නොහැකි කාර්යයන් මෙසේය.

  1. ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කිරීම
  2. නඩු විභාගයකින් තොරව යුද අපරාධ චෝදනා එල්ල නොකිරීම
  3. ඒක පාර්ශ්වික තීරණ ගැනීම
  4. පරීක්‍ෂණවලින් තොරව සම්බාධක පනවැන්නැයි ඉල්ලීම
  5. එක්සත් ජාතීන්ගේ සාමාජික රටක හමුදා නිලධාරීන් නම් කිරීම
  6. පැමිණිලිකරු සාක්‍ෂිකරු ලෙස කි‍්‍රයාකිරීම

එසේ වුවත් මිචෙලි බැෂලේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ කි‍්‍රයාකරන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහිව පමණකි. මේ අතර 49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට තව ඇත්තේ දින 35කි.

2015 දී ඇමරිකාව ගෙන ආ 30/1 ජිනීවා යෝජනාව බෙල්ල වටේ ඇඹරූ ගලක් එල්ලූවාට සමානය. දැන් එහි ප‍්‍රතිඵලය පැහැදිලිවේ.

ශ‍්‍රී ලංකාව ජිනීවා යෝජනාවෙන් ඉවත්වූවත් යුද අපරාධ චෝදනා අහෝසි වී නැත. සිදු වී ඇත්තේ යුද අපරාධ චෝදනා පුළුල්ව දිගට ම කි‍්‍රයාත්මක වීමයි. යහපාලන රජය සමයේ විදේශ කටයුතු බලධාරීන් සිදුකළේ නොකඩවා ශ‍්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීමට දොරක් විවෘත කර දීමයි. මේ සඳහා යහපාලන රජය මෙන් වත්මන් රජය ද ඊට එරෙහිව කි‍්‍රයාකර නැත. එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සහ යුද අපරාධ පදනම් කර චෝදනා එල්ල කිරීමට දිගට ම කරද්දී ආරක්‍ෂක හමුදාව දැඩි අසරණ තත්ත්වයකට පත්විය. මේ අතර යස්මින් සුකා දකුණු අප‍්‍රිකාවේ මෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කළේය. යහපාලන රජය ඊට එකඟවූවත් මෛත‍්‍රීපාල – රනිල් ගැටුම මැද එම යෝජනාව ඉටුවූයේ නැත. මේ පසු බිම මැද බි‍්‍රතාන්‍ය රජය වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට එරෙහිව මැග්නිට්ස්කි සම්බාධක පනවයි ද යන ප‍්‍රශ්නය මතු වී ඇත. ඉංග‍්‍රීසි නීතිය යටතේ ආක‍්‍රමණයක් අපරාධයක් නොවන නිසා ඉරාක ආක‍්‍රමණයෙන් හිටපු අගමැති බ්ලේයාර් නිදහස් බව එරට මහාධිකරණය තීරණය කරනු ලැබීය.

බි‍්‍රතාන්‍ය කොටි හිතවාදීන් විසින් පිහිටුවා ගෙන ඇති ද්‍රවිඩයන් සඳහා වූ සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කමිටුව ද ජගත් ජයසූරිය සහ ශවේන්ද්‍ර සිල්වාට මැග්නිස්කි සම්බාධක පනත කි‍්‍රයාත්මක කරන ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත. මෙම පාර්ලිමේන්තු කමිටුවේ නීති උපදේශක චාලි ලවුන්ඩන් චිලි රජයෙන් ඉල්ලීමක් කරමින් ජගත් ජයසූරිය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමට චිලී නඩු අධ්‍යක්‍ෂකවරයෙක් පත්කරන ලෙස ඉල්ලා තිබේ. බි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මකවන ශ‍්‍රී ලංකා කැම්පේන් අධ්‍යක්‍ෂ මෙලිසා ඩිසන් ද ප‍්‍රකාශයක් කරමින් ජයසූරිය සහ සිල්වාට පමණක් නොව අනිකුත් ජෙනරාල්වරුන්ට ද එරෙහිව කි‍්‍රයාකළ යුතු බව දක්වා ඇත.

කොටි ඩයස්පෝරාව නටන්න හදන අලුත්ම නාඩගම

මෙලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩයන් සඳහා වූ කණ්ඩායමේ සභාපති එලියට් සොල්බරින් ද වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවිය යුතු බව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිද්දී බි‍්‍රතාන්‍යයේ හිටපු ජනපති ටෝනි බ්ලේයාර්ට එරෙහිව ඉරාක ආක‍්‍රමණය ගැන බරපතළ යුද අපරාධ චෝදනාවක් එල්ල විය. ටොනි බ්ලේයාර්ගේ ආරක්‍ෂක ලේකම්ව සිටි ජෙෆ් හුන් පැවසුවේ ඉරාක යුද්ධයට අදාළ රහස් ලියවිලි පුළුස්සා දැමීමට තමා කි‍්‍රායාකළේ බ්ලේයාර්ගේ නියෝග මත බවයි.

එහෙත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව හෝ ද්‍රවිඩයන් සඳහාවූ පාර්ලිමේන්තු කණ්ඩායම ද යස්මින් සුකා ද ඒ ගැන වචනයක්වත් පවසා නැත. මෙයට වසර දෙකකට පෙර සුකා සම්බන්ධව මම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරියකුගෙන් විමසූවිට ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් සම්බන්ධ ඉහළ පෙළේ මණ්ඩලයක සුකා සේවය කරන බව පිළිගත්තේය. එසේ නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ මෙහෙයවනු ලබන්නේ සුකාගේ බලපෑම මත බව තහවුරු වේ. මේ පසුබිම මැද යස්මින් සුකාගේ ශ‍්‍රී ලංකාවට එරෙහි අයි. ටී. ජේ. පී. ව්‍යාපෘතියට අරමුදල් සපයන්නේ කවුරුන්ද?

ඒ බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයයි. එම අරමුදල් එංගලන්ත සහ වේල්ස් බාර් හියුමන් රයිට්ස් කමිටුව ඔස්සේ සැපයෙයි. මේ අතර සුකා පිටු 100ක වාර්තාවෙන් වන්නි මෙහෙයුමේ සියලූම ජනරාල්වරුන්ට එරෙහිව සම්බාධක පැනවිය යුතු යයි ඉල්ලා සිටිද්දී වත්මන් රජය ඊට ප‍්‍රතිචාර දක්වා නැත. පසුගිය යහපාලන රජය යස්මින් සුකාට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කළත් සිංහලයන් තමන්ව මරාදමන බවට බොරු චෝදනා කරමින් ඇය ශ‍්‍රී ලංකාවට පැමිණීම ප‍්‍රතික්‍ෂේප කළාය.

1996 ජනවාරි 31 වැනිදා කොටි ත‍්‍රස්තවාදීහු මහ බැංකුවට ප‍්‍රහාරයක් එල්ල කර 100කට අධික සිවිල් වැසියන් ඝාතනය කළහ. එහෙත් එය යුද අපරාධයක් ලෙස නම්කිරීමට ඇමරිකාව හෝ බි‍්‍රතාන්‍යය කි‍්‍රයාකළේ නැත.

මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ ඇමරිකානු රහස් වාර්තාවක සඳහන් කොටි ත‍්‍රස්තයන් යුද අපරාධ සිදුකළ බව දැක්වෙන කොටස ඉවත් කළේ කවුරුන් ද යන බරපතළ ප‍්‍රශ්නය පැන නැඟී ඇත. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හෝ රාජ්‍ය නොවන සංවිධාන ද ඒ ගැන නිහඬව සිටී. වගවීම ගැන හඬ නඟන බටහිර රටවල් කොටි සංවිධානය ද වගවිය යුතු බව පවසන්නේ නැත. මේ අතර බි‍්‍රතාන්‍යයේ අහ්මද් සාමි ද මෙරටට පැමිණ ජිනීවා යෝජනාව ගැන සාකච්ඡා කර ඇත. එහෙත් එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම වූ මැග්නිට්ස්කි සම්බාධක පනත යටතේ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට පියවර ගන්නා බව පවසා නැත. අපට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකිරීමට නොහැකි වී ඇත. ඊට ඇති එකම බාධාව රුසියාව සහ චීනයයි. ඔවුන් ඊට විරුද්ධයි යයි අහමද් සාමිවරයා කියා සිටියේය. මේ පසුබිම මැද රජය අනුගමනය කරන පිළිවෙත එකවරම වෙනස් කරමින් කොටිඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට කි‍්‍රයාකරන බව අපි විශේෂයෙන් හෙළි කළෙමු. බි‍්‍රතාන්‍යයේ අහ්මද් සාමිවරයා මෙරට පැමිණි අවස්ථාවේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලීම කර ඇත.

එහෙත් කොටිඩයස්පෝරාව රජය සමග සාකච්ඡා කිරීමට ඉදිරිපත් වේද?

ශ‍්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක් වී ඇති බව කොටි හිතවාදීහු දනී. ඔවුන් මෑතක දී හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මැග්නිට්ස්කි සම්බාධක පනත කි‍්‍රයාත්මක කරන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා තිබුණි. එම පසුබිම මැද වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට එරෙහිව එල්ල කර ඇති යුද අපරාධ චෝදනා කිසිවිටෙක අහෝසි කරලීමට ඩයස්පෝරා කි‍්‍රයාකාරීහු ඉදිරිපත් නොවේ. එවැනි තත්ත්වයක් මත ඩයස්පෝරාව හමුවේ හිස නැමීමට රජයට උපදෙස් දුන්නේ කවුද? එසේම පෙබරවාරි 28දා ආරම්භවන 49 වැනි ජිනීවා සමුළුව ද ශ‍්‍රී ලංකා රජයට අසීරු තත්ත්වයක් උදාකරන බව ඩයස්පෝරාව දනියි. ඒ හැර යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර සම්බාධක 2ක් ඉදිරිපත් වී ඇත. ඒ සර්වලෝක අධිකරණ පද්ධතිය සහ මැග්නිට්ස්කි පනතයි. මේ පනත් කි‍්‍රයාත්මක කිරීමට බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, නෙදර්ලන්තය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව යන රටවල් සූදානම් වී සිටී. හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස්ව කැනඩාව සහ ඉතාලිය යන රටවල් එරට ශ‍්‍රී ලංකා තානාපති ලෙස භාරගැනීම ප‍්‍රතික්‍ෂේප කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඔහුට යුද අපරාධ චෝදනා නොකර තිබියදීය. මින් තහවුරුවන්නේ නඩු විභාගයක් ආරම්භ කර වරදකරුවීමට පෙර බටහිර රටවල් දඬුවම් කරන බවයි.

මේ අතර පීපල්ස් අප්රයිසින් මුමන්ට් නමින් හඳුන්වාගත් සංවිධානයක් උතුරේ ද්‍රවිඩ ජනතාවට ස්වයංපාලනය ලබාදෙන ලෙස ඉල්ලමින් අහ්මද් සාමිවරයාට ලිපි දෙකක් පිළිගන්වා ඇත. මෙම සංවිධානය මෙහෙයවන්නේ මෑතක දී කරළියට පැමිණි සිවයෝගන් නැමැත්තෙකි. මේ පී 2 පී නැමැති හොර සංවිධානය තමන්් වසර 70 ක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ ස්වයං පාලනය උදෙසා සටන් කළ බවද පවසා තිබේ. ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන ලෙස අහ්මද් සාමිගෙන් ඉල්ලා ඇති සිව්යෝගනාදන්ගේ සංවිධානයේ ලිපිනයක්ද නැත. මෙම තක්කඩි සංවිධානය ජනතාවගේ නැඟිටීමක් ලෙසද ඔහු හඳුන්වාගෙන ඇත. මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් රාජ්‍ය තාන්ත‍්‍රිකයකු නොවන සිවයෝගනාදන්ට බි‍්‍රතාන්‍ය ඇමැති අහ්මද්සාමි මුණගැසී ලිපි දෙකක් භාරදීමට ඉඩලැබීමයි. ඒ කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තුළ කොටි හිතවාදීන් කි‍්‍රයාත්මක වීම නිසාය. මේ අයුරින් මෙරට දේශපේ‍්‍රමි සංවිධානවලට අහ්මද් සාමි හමුවීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය කිසිදිනෙක ඉඩ දෙන්නේ නැත.

මෙවන් පසුබිමක් මැද සුමන්තිරන් නැමැත්තා ජනපති ගෝඨාභය රාජපක්‍ෂගේ රාජාසන කතාවට ප‍්‍රතිචාර දක්වමින් ද්‍රවිඩයන් ස්වයංපාලනය සඳහා සටන් කළ බවත් ජනපති කතාව ද්‍රවිඩයන්ට කළ අවමානයක් බවත් දක්වා ඇත. ද්‍රවිඩයන් ස්වයංපාලනය සඳහා ද සටන් කළේ ත‍්‍රස්තවාදයෙන් රට අල්ලා ගැනීමට ද යන්න වසර 37කට පෙර යාල්දේවි දුම්රිය මාර්ගයේ බෝම්බ තබා දුම්රිය පිපිරවීමේ සිද්ධියෙන් තහවුරු වේ. මේ සිදුවීම සමයේ සුමන්තිරන් නැමැත්තා සිටියේ කොහේද? මුරුන්කන් හිදී සිදු වූ එම බෝම්බ පිපිරීමෙන් පසු කොටි ත‍්‍රස්තයෝ දුම්රිය මගීන්ට ද වෙඩි තැබූහ. එහිදී 34ක් මරුමුවට පත්වූහ.

මෙය යුද අපරාධයක් වුවත් කිසිදු රටක් ඒ බව නම් කළේ නැත. යාල්දේවි දුම්රියට එල්ලවූ ප‍්‍රහාරයේ දී හමුදා භටයන් 24ක් සහ පොලිස් භටයන් තිදෙනෙක් ද ඝාතනය විය. එහෙත් මේ අතීතය අද අමතක වී ඇත. එහෙත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු අදවනතුරු මේ ගැන පරීක්‍ෂණයක් කර නැත.

ඉරාක ආක‍්‍රමණයෙන් ලක්‍ෂයකට අධික සිවිල් වැසියන් අතුරුදන්වූවත් බි‍්‍රතාන්‍ය රජය ඒ ගැන හඬක් නඟා නොමැත.

එහෙත් යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප‍්‍රකාශ කරන්නේ බි‍්‍රතාන්‍යයයි. මේ අතර මහජන විනිශ්චය සහා නමින් හඳුන්වාගත් සංවිධාන ශ‍්‍රී ලංකාවට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර නඩු විභාගයක් ආරම්භ කර ඇත. එම නඩුවේ චූදිතයා ජනපති ගෝඨාභය රාජපක්‍ෂයි. මෙම හොර විනිශ්චය සභාවල නඩුකාරයන් ලෙස කටයුතු කරන්නේ ඩොලර් අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ය. දින කිහිපයක දී විනිශ්චය දීමට ද ඔවුහු කි‍්‍රයා කරති. අවසානයේ දී චූදිතයා වරදකරුවේ.

මෙවන් පසුබිමක් මැද වසර 13ක් තිස්සේ ඇප ලබාදීමකින් තොරව සිරගතව සිටින හිටපු පොලිස් අධිකාරිවරයකු ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ වෙත පැමිණිල්ලක් කරමින් ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ පොලිස් පරීක්‍ෂකවරයකු තමාට කෲර වධහිංස පමුණුවා ඇතැයි සඳහන් කර ඇත. මෙම හිටපු පොලිස් අධිකාරිවරයාට එරෙහි එක් සාක්කිකරුවකු හදිසියේ මියගිය බව අනාවරණය විය. රජය ගුවන් යානාවලට මිසයිල ගැසූ කොටි ත‍්‍රස්තයන් මුදාහරිද්දී මේ පොලිස් නිලධාරියා ගැන නිසි පියවරක් නොගත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි. මේ අතර කොටි සමග සිංහයන් මෙන් සටන් කළ හමුදාවට කොටි යුද අපරාධ චෝදනා එල්ල කරද්දී කොටිඩයස්පෝරාව ඉදිරියේ දණ නැවීමට රජය ඉදිරිපත් වීම ගැන විදේශගත ශ‍්‍රී ලාංකිකයෝ දැඩි අප‍්‍රසාදය පළකර ඇත. අපි කොටි සමග සටන් වැදුණේ සිංහයන් ලෙසින් යැයි මේජර් ජෙනරාල් දයා රත්නායක වරක් පවසා තිබුණි.

කොටි ඩයස්පෝරාව නටන්න හදන අලුත්ම නාඩගම

එසේ නම් සිංහයන් විදේශගත කොටි සමග සාකච්ඡා කරන්නේ කුමකට ද? මේ සතියේ දිනෙක ස්විට්සර්ලන්තයේ සිටින කොටි විරෝධි ද්‍රවිඩයෙක් අප අමතා වසර 37ක රහසක් හෙළිකළේය.

යාල්දේවි දුම්රියට බෝම්බ ඇට වූ කොටියා ලූසර්න් නුවර සුවසේ සිටිනවා. කොටි උත්සවයක දී ඔහු තම සගයන්ට මේ බව හෙළි කළා යැයි එම කොටි විරෝධි ද්‍රවිඩයා වැඩිදුරටත් අනාවරණය කළේය. ති‍්‍රකුණාමලයේ කොටි හමුදා නායකයාව සිටි දයා මෝහන්ද ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර සිටිනවිට කොටි යුද අපරාධකරුවන්ට එරෙහිව ස්විස් රජය පියවර නොගන්නේ මන්ද?මේ අතර ඇමරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානය රජයට චෝදනා එල්ල කරමින් ප‍්‍රකාශයට පත්කළ මානව හිමිකම් වාර්තාව රජය ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය. මේ වාර්තාවට අමුද්‍රව්‍ය සපයනු ලැබුවේ එදා සිට ම කි‍්‍රයාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ය. එහෙත් රජය ඒ බව අමතක කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment