කොටි සාමාජිකයන්ට හිමි හමුදා සෙබළාට අහිමි පොදු සමාව

215

නිදහස වෙනුවෙන් නිලධාරින් ළඟ දණින් වැටී වටේ යන සිරකරුවෝ

සමා කමිටු නිලධාරීන්ගේ අල්ලේ නැටවෙන්නේ මෙහෙමයි

මියන්මාරය සිරකරුවන් හත්දහසක් නිදහස් කරමින් සැමරූ 75 වැනි නිදහස

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින එල්ටීටීඊ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සියලුම දමිළ සිරකරුවන් නිදහස් කර යැවීමට රජය නුදුරේදීම කටයුතු කරනු ඇතැයි යනුවෙන් කතාවක් මේ දිනවල කියැවෙමින් ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණු ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලට අනුව නම් ඇතැම් අවස්ථාවල දකුණේදී පිපිරී ගිය කොටින්ගේ මාරක බෝම්බවලින් මිනිසුන් සියගණනින් සුණු විසුණු වී මියපරලොව ගියහ. අදටත් ආබාධිතව සිටින්නෝ බොහෝය. එකී බෝම්බ පිපිරී යෑමේදී ගලා ගිය රුධිර ගංගාවන්ගෙන් මේ පොළොව තෙත් වී ගියේය.

එහෙත් අපි ඉතා ඕනෑකමින් සඳහන් කරන්නෙමු. එකී මිනිසුන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය ඉතාම යහපත් ක්‍රියාවකි. ඔවුහු බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් හෝ ප්‍රභාකරන්ගේ සිහින ඊළම වෙනුවෙන් නොමඟට ඇද වැටුණෝම වන්නාහ.

එසේ නොමඟ ගිය ඒ මිනිසුන් අතින් දකුණේ ජනතාවට සිදු වූ වැරැදිවලට ඔවුන් ලද දඬුවම දැන් හොඳටෝම ප්‍රමාණවත්ය. වෛරයෙන් වෛරය කිසි දිනෙක නොසන්සිඳෙන්නේ යැයි එදා තිලෝගුරු බුදු හිමියන් ලොවට කියා දුන්හ. එසේ නම් වසර දෙදහස් පන්සියයකටත් අධික ඉතිහාසයේ සිට බුදු දහම පවතින රටක මේ මිනිසුන් තවත් සිරගතව දුක්විඳිය යුතු නැත.

මනුෂ්‍යයත්වයෙන් නාමයෙන් ඔවුන්ට නිදහසක් හිමිවිය යුතුමය. යුද්ධය අවසානයේ හමුදා අත්අඩංගුවට පත්වූ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් දහස් ගණනක් දෙවසරකින් පමණ පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීමට රටක් වශයෙන් අප කටයුතු කළේ නම් මොවුන් තවදුරටත් සිරගතව සිටිනුයේ කුමකටද?

ඔවුනටද මවක් පියෙක් සහෝදර සහෝදරියන් ආදී වශයෙන් පවුලක් ඇත. මේ මිනිසුන් නිදහස් වෙද්දී ඒ සමඟම සැනසෙන්නෝ ඔවුහු වන්නාහ. සැනසීම යනු කාටත් පොදුය. කවුරුත් එයට කැමැතිය. එහි ජාති බේදයක් නැත.

යුද්ධය නිමාවී මේ ගෙවී යමින් තිබෙන්නේ දහහතරවැනි වසරය. එදා උතුරේ යුද්ධය පවතිද්දී ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූ ඔවුහු ගෙවී ගිය වසර දහයකටත් අධික කාලය පුරා සිරගතව සිටියහ. බිත්ති හතරක් තුළ මිනිසකු දසවසරක් තිස්සේ කොටුවී සිටියදී ඒ මනසට කළ සියල්ලේ ආදීනව හොඳින් අවබෝධ වන්නේය.

එවැන්නකු අලුතින් පුනරුත්ථාපනය කළ යුතු නැත. සාමාන්‍ය සමාජයෙන් ඈත් කර තැබීමේදී දැනෙන වේදනාව විසින් ඔහුව පුනරුත්ථාපනය කරන්නේය. එතැනින් එහාටත් යමෙකු සිරගතවම තැබුවහොත් සිදුවන්නේ ඒ වේදනාව විසින්ම ඔහුව වෙනතකට රැගෙන යෑමය. එවිට ඔහු සමාජයට දැඩිව වෛර කරන්නකු බවට පත්විය හැකිය. එසේ වුවහොත් එය සමාජයට දැඩි හානියක් ගෙන දෙන්නකි.

එනිසා රජය දමිළ සිරකරුවන් නිදහස් කිරීමේ ඍජු තීරණයක් ගනු ලැබුවේ නම් එය ඉතාම හොඳ කටයුත්තකි. එය සිදු කෙරුණහොත් ඒ මිනිසුන් සතුටින් නිදහස්ව යනු ඇත. එහෙත් මේ අන්දමට නිදහස් කර යැවිය යුත්තේ දමිළ සිරකරුවන් පමණක්ද?

නැත. යුද්ධයට අදාළ කිසියම් කරුණක් හේතුවෙන් සිරගත වන්නට සිදුවූ සියලුම දෙනාට ඒ නිදහස හිමිකර දීම රජයේ යුතුකමකි. මේ දමිළ සිරකරුවන් සේම හමුදා සාමාජිකයෝ රැසක්ද යුද්ධය මුල්කර ගනිමින් මේ වන විට බන්ධනාගාර තුළ සිටිති.

කටයුත්ත සම්පූර්ණ වන්නේ දමිළ සිරකරුවන් නිදහස් කිරීමට සමගාමීව යුද්ධය හේතුවෙන් සිරගත වීමට සිදු වූ සියලු හමුදා සාමාජිකයන්ට ද නිදහසක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළොත් පමණි.

දමිළ සිරකරුවන් මෙන්ම එකී හමුදා සාමාජිකයන්ටද පවුලක් ඇත. ඔවුන්ටද මව්පියවරුන් බිරින්දෑවරුන් හා දරුවන් සිටී. ඔවුන් සිරගතව සිටිනුයේද යුද්ධය හේතුවෙනි. එනිසා දමිළ සිරකරුවන් නිදහස් කෙරෙන්නේ නම් ඔවුන්ටද නිදහසක් ලබාදීම යුක්තිසහගත වන්නකි.

අප දන්නා තරමින් චෙම්මනි ඝාතන සිද්ධියේ වරදකරුවන් වූ හමුදා සාමාජිකයන්ද විසිවසරකටත් අධික කාලයක් ගෙවී ගොස් තිබුණද අදටත් සිටිනුයේ සිරගතවය. එම සිදුවීමද යුද්ධය හා බැඳී තිබෙන්නකි. ඔවුහුසමාවක් ලැබීමට සුදුස්සෝ නොවෙතිද? එදා යුද බිමේදී හමුදා සෙබළකු අතින් යමක් සිදුවූනා නම් එසේ වූයේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයට නිසි පිළිතුරු දෙන්නට වෙර දැරීම හමුවේය.

ආණ්ඩුව මේ අනද්මට එල්ටීටීඊ ත්‍රස්තවාදය හේතුවෙන් සිරගත කෙරුණු දමිළ සිරකරුවනට නිදහසක් ලබා දීමට සැරසෙද්දී සෙසු සිරකරුවන් අරභයා ද යම් සමා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ඉකුත් දිනවල අපි පෙන්වා දුන්නෙමු.

රුපියල් කෝටි ගණනින් වැය කර සිරකරුවන් නඩත්තු කිරීමෙන් වැළකී රට ඉදිරියේ පවතින බරපතළ ආර්ථික අර්බුදයෙන් පීඩිත ජනතාවට යම් සහනයක් ලබා දෙනු පිණිස අවම වශයෙන් දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් දෙදහසක්වත් දැඩි කොන්දේසි යටතේ නිදහස් කරන්නැයි එහිදී අප කළ ඉල්ලීම විය.

මේ අතරේ බන්ධනාගාරගත සිරකරුවනට යම් සහනයක් ලබාදීම සඳහා කලකට පෙර පත්කර තිබූ සමා කමිටුවකට සහාය වනු පිණිස අනුකමිටු කිහිපයක් පිහිටුවා සමාවක් ලබාදීමට සුදුසු සිරකරුවන් තෝරා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බන්ධනාගාර අමාත්‍යාංශය කටයුතු කළේය.

පැහැදිලිවම එය කාලෝචිත පියවරකි. වයෝවෘද්ධ වූවන්, රෝගීන් ඇතුළුව සිරකරුවන් විශාල පිරිසකට කොන්දේසි සහිත සමාවක් ලබා දීම මෙහිදී අමාත්‍යාංශයේ ඉලක්කය වී තිබෙන බවද දැනගැනීමට ලැබිණි.

එහෙත් ඉලක්කය කුමක් වුවත් මේ වන විට ආදාළ කමිටු ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ නිවැරදි ආකාරයටද? කිසිසේත්ම නැත. සිදුවෙමින් තිබෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පරිදි කමිටු නැටවීමය.

මෙකී සමා කමිටුවක් වෙත ඉදිරිපත් වීමට නම් දීර්ඝකාලීනව සිරගත සිරකරුවා කඩයිම් හතරක පසු කළ යුතුව ඇත. පළමුව ඔහු කිසි දිනෙක බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයකදී වැරදිකරුවෙක් නොවූ අයකු වීම අනිවාර්ය කරුණකි. එකී දණ්ඩනයට සිරකරුවා යටත් කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවය.

එම සුදුසුකම සපුරා ඇත්නම් දෙවනුව සිරකරුවාට ගමන් කිරීමට සිදුවන්නේ සිරගොනු අංශය හෙවත් ආර්සී අංශය වෙතය. ඒ තමන්ගේ සිරගොනුව අදාළ ස්ථාන වෙත යොමුකරවා ගනු පිණිසය. එහිදී කැපකිරීම් රැසක් කිරීමට ඔහුට සිදුවේ. කෙසේ හෝ සිරගොනු අංශයෙන් තමන්ගේ ගොනුව ඉදිරියට යෑමෙන් පසු සිරකරුවා යළි සුබසාධන අංශය වෙත යා යුතුය. එසේ කිරීමට සිදුවන්නේ එතැනින් සිරගොනුව විනය අංශය වෙතට යොමු කරවා ගැනීමට. එහිදීත් සිරකරුවාට බොහෝ දේ කරන්නට සිදුවීම බන්ධනාගාර තුළ සාමාන්‍ය තත්ත්වයකි.

ඒ සියල්ල කර නිලධාරීන් පිනවීමෙන් පසු සිර ගොනුව විනය අංශය වෙතට යවා ගතහොත් කරන්නට තිබෙන අසීරුම කොටස වන්නේ විනය අංශයෙන් ලිපි ගොනුව සමා කමිටුව වෙතට යොමු කරවා ගැනීමය. එය ලෙහෙසි පහසු නැත. එහිදී සිරකරුවාට කරන්නට සිදුවන කැපකිරීම් බොහෝය. වැරදීමකින් හෝ යම් සිරකරුවකු මේ සියලු කඩයිම් ගැටලුවකින් තොරව පසුකර සමා කමිටුව දක්වා ගියහොත් ලිපිගොනුවක්ද සමඟ පෞද්ගලිකවම කමිටුව ඉදිරියට යන විනය අංශයේ නිලධාරියකු සිරගත මිනිසාට එරෙහිව දැඩි ලෙස ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ලැබෙන්නට ඇති සහනය අහිමි කරන්නට වෙහෙසෙන්නේය.

එවන් අවස්ථාවන්හිදී අදාළ විනය නිලධාරියාට කමිටුවෙන් ඉවත්ව යන්නැයි පැවසීමේ හයියක් කමිටු සාමාජිකයන්ට නැත. එයින් කියැවෙන්නේ බන්ධනාගාර නිලධාරීන් සමා කමිටුව නටවන්නේ යැයි නොවේද? මේ ක්‍රමවේදයෙන් බැහැරව සියලු සිරකරුවන්ගේ සිර ගොනු නිරීක්‍ෂණය කර සමාව දීමට සුදුස්සා තෝරාගැනීමට කමිටු නිලධාරීන්ට නොහැකිව තිබෙන්නේ කුමක් නිසාද?

අප තරම් වළක ඇද වැටී නොතිබුණද සිය හැත්තෑපස් වැනි නිදහස් දිනය නිමිතෙන් සිරකරුවන් හත්දහසක් නිදහස් කිරීමට මියන්මාර රජය මීට දෙසතියකට ඉහතදී පියවර ගනු ලැබිණි. එහෙත් අර්බුදයක කරවටක් ගිලී සියල්ල නාසයටත් උඩින් ගොස් තිබියදීත් මෙරට තුළ සමා කමිටු ක්‍රියාත්මක වන්නේ ඉහත පරිදිය.

වසරකට රුපියල් කෝටි පන්සියයක් පමණ වැය කරමින් රටක් වශයෙන් අප අද සිරකරුවන් නඩත්තු කරමින් සිටිනුයේ රජයේ සේවකයාට වැටුප පවා ගෙවා ගත නොහැකි පසුබිමකය. රෝහල්ගත රෝගියාට ආහාර ටික දීගත නොහැකි තත්ත්වයක ය. පාසල් දරුවනට නිල ඇඳුම් ටික දීමට ආණ්ඩුව අපොහොසත්ව සිටියදීය.

ආණ්ඩුවට මුදල් නැතැයි යන්න රජයේ මැති ඇමැතීන් අද ප්‍රසිද්ධියේම කියන කතාවක් බවට පත්ව ඇත. එවැනි අහේනියකට රට පත්ව තිබේ නම් නිවැරදි තේරීම සිදු කිරීමට නොහැකිව මුළු රටම වැළැලෙමින් තිබියදී බන්ධනාගාර නිලධාරීන්ගේ ඕනෑ එපාකම් අනුව ආණ්ඩුව මෙසේ සිරකරුවන් නඩත්තු කරමින් සිටිනුයේ කුමකටද?

අද මෙරට බන්ධනාගාර පිරී ඉතිරී යෑමට තවත් ප්‍රබල හේතුවක් වී ඇත්තේ යමෙකුට සිර දඬුවමක් නියම වීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කළහොත් එම අභියාචනය විභාග වන කාලය තුළ ඔහු වසර ගණනාවක් සිරගතව සිටියද අභියාචනා තීන්දුවෙන් පසු එම දඬුවමම නියම කෙරුණහොත් එකී තීන්දුව දුන් දිනයේ සිට දඬුවම ක්‍රියාත්මක වන ක්‍රමයක් පැවතීමය.

එසේ අභියාචනා තීන්දු ලැබෙනතුරු දසවසරකටත් අධික කාලයක් බන්ධනාගාරගතව සිට අභියාචනා තීන්දුව ලබාදුන් දිනයේ සිට දඬුවම ක්‍රියාත්මක වන සිරකරුවෝ දහසකටත් අධික පිරිසක් මේ මොහොත වන විට බන්ධනාගාරගතව සිටින්නාහ.

රට තුළ කොතෙක් අර්බුද පැවතිය ද එවැනි දෝෂ සහිත තැන් නිවැරදි කරන්නට කිසිවකුත් නැත. වගකීම පැවරී ඇති අය බන්ධනාගාර වෙත ගොස් සිරකරුවන් මුණ ගැසී විවිධ පොරොන්දු දී පැමිණිය ද ඒ කිසිත් ඉටුවීමක් නම් සිදුවන්නේ නැත. ඒ සියල්ල මැතිවරණ සමයට ඇතැමුන් රටේ ජනතාවට දෙන දේශපාලන පොරොන්දු හා සමානය.

වසර දහය පහළව සිරගතව සිටින මිනිසුන් කොතෙන් වරදින් ඈත්ව සිටියද බන්ධනාගාරය විසින්ම පනවා තිබෙන විවිධ කොන්දේසි ඔවුන්ගේ නිදහසේ බලාපොරොත්තු සුන් කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට සහ ස්ත්‍රී දූෂකයන්ට කිසිදු ආකාරයක නිදහසක් නොලැබෙන්නේ යැයි යන්න අද ඒ ආකාරයට පැනවී තිබෙන කොන්දේසියකි. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනකු වසර දහයක් හෝ පහළවක පමණ කාලයක් සිරගතව සිටියදී එකී කාලය තුළ ඔහුගේ පවුලේ සාමාජිකයකුවත් එකී වරද යළි සිදුකර නොමැති නම් එවැන්නකුට සහනයක් ලබාදීමේ හැකියාවක් නොමැතිද?

රාජ්‍ය බුද්ධි සේවා වාර්තාවක් මත පදනම්ව එකී වරද යළි සිදු නොවන්නේ යැයි තහවුරු වන්නේ නම් එවැන්නකුට සමාවක් දීමේ ගැටලුවක් නැත. එසේ නිවැරදි වූවෝ රාශියක් අද බන්ධනාගාර තුළ පිරී සිටින්නාහ.

රටම අර්බුදයක ගිලී තිබියදී අප තවදුරටත් සාම්ප්‍රදායික මතවල ඇලී ගැලී සිටීමෙන් රටට සිදුවන සෙතක් නැත. අවම තරමින් එළැඹෙන හැත්තෑපස් වැනි ජාතික නිදහස් දිනයේදී බන්ධනාගාරගත සිරකරුවන් උදෙසා මාස හයක පමණ පොදු සමාවක් ප්‍රකාශ කරන්නට රජය පියවර ගතහොත් රටට අත්වන සහනය අති විශාලය.

එසේ කෙරුණහොත් රාජ්‍ය සේවයේ වැටුප පවා ගෙවාගත නොහැකි තැනකට රට වැටී තිබෙන මේ මොහොතේ සිරකරුවන් නඩත්තු කිරීම සඳහා ආණ්ඩුව වැය කරන මුදලින් අති විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇත. එවැන්නක් සිදු වනවාට අකමැති වන්නෝ කවරහුද? බන්ධනාගාර නිලධාරීහුද? එසේ නැතිනම් අමාත්‍යාංශ බලධාරීන්ද? ඒ කිසිවකුත් නොවේ නම් බන්ධනාගාරවලට සබන් කෑල්ලේ සිට සැපයුම් සිදුකරමින් ප්‍රකෝටිපතියන් බවට පත්ව සිටින මුදලාලිලාද? එසේ නැතිනම් එකී මුදලාලිලා ලබා දෙන කොමිස් මුදලින් සුරසැප විඳින අයද?

අප මේ මොහොතේ ඒ විමසීම කරනුයේ තොප්පිය හරි කෙනාට දමා ගනු පිණිසය. එවිට එකී තොප්පිය දැකීමෙන්වත් සිදු වන්නේ කුමක්දැයි බන්ධනාගාර භාර ඇමැතිවරයාට වටහා ගැනීමට හැකිවනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment