කොටුව උසාවියෙන් දේශබන්දුට නිකුත් කළ සිතාසිය බලරහිත කරයි

170

අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්
අරගලයට පහරදීමේ සිද්ධියට සැකකරුවකු කිරීමේ ලිපියත් බලරහිත කරයි

පසුගිය වසරේ (2022) ජූලි 09 දා අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්‍ෂ පනස්දහසක මුදල මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කළ නියෝගය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසි නියෝගය බලරහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (26 දා) රිට් ආඥාවක් නිකුත් කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත සිතාසි නිකුත් කර තිබිණි. එම සිතාසි නියෝගය අභියෝගයට ලක් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එන්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු සිය තීන්දුව නිකුත් කරමින් තෙන්නකෝන් මහතා ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

මේ අතර ඉකුත් වසරේ මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර පිටියේ ඉදිකර තිබූ ‘ගෝඨා ගෝ ගමට’ කඩාවැදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය ගැනද දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කර ඉදිරි කටයුතු කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක්ද අභියාචනාධිකරණය බලරහිත කරමින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment