කොතලාවල ආරක්ෂක රෝහලට හයිපෙක් කීමෝතෙරපි යන්ත‍්‍රයක් පරිත්‍යාග කෙරේ…

188

ප‍්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා සභාපතිත්වය දරන ‘‘හෙල්ප් සර්කල්ස්’’ (HELP CIRCLES GUARANTES LTD) ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් යුතුව, 2021 නොවැම්බර් 08 වන දින වේරහැර, කොතලාවල ආරක්ෂක රෝහල වෙත ලක්ෂ එකසිය හැටක් වටිනා (මිලියන16) හයිපෙක් කීමෝතෙරපි (HIPEC CHEMOTHERAPY) යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම සිදුවුණි.

මෙම අවස්ථාවට, රාජ්‍ය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, කොතලාවල විශ්වවිද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කොතලාවල ආරක්ෂක රෝහලේ හිටපු අධ්‍යක්ෂ, වෛද්‍ය ජයන්ත බලවර්ධන, ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා, ශල්‍ය වෛද්‍ය දුලන්ත ඞී සිල්වා, සර්ජිටෙක් ආයතනයේ ලක්ෂාන් නානායක්කාර, යසින්ත කේ. ප‍්‍රනාන්දු, හෙල්ප් සර්කල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ නීතිඥ නිරංගා නානායක්කාර, නෙළුම් ජයවීර, තර්ම සොලියුෂන් ජාත්‍යන්තර නෙදර්ලන්ත ශාඛාවේ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරු, බෲනෝ ලැම්බර්ඞ් යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද සහභාගි විය.

කොතලාවල ආරක්ෂක රෝහලට හයිපෙක් කීමෝතෙරපි යන්ත‍්‍රයක්  පරිත්‍යාග කෙරේ...

ඇමෙරිකාවේ හුස්ටන් හී පදිංචි ලංකා පන්නිල මහතා සහ ප‍්‍රශාන්ති පන්නිල මහත්මිය ඇතුළු දානපතියන් රැසක් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත.

මේ වනතුරා මෙවැනි යන්ත‍්‍රයක් ලංකාවේ භාවිතා වූයේ කුරුණෑගල මූලික රෝහලේ පමණි. මෙම යන්ත‍්‍රය මඟින්, මහ බඩවැල් , උණ්ඩුක පුච්ච, ඩිම්බකෝෂ සහ ආමාශ පිළිකා, උදර අභ්‍යන්තර මිසතෙලියොමා (MESOTHELIOMA) වැනි දෘශ්‍යමාන නොවන හා ප‍්‍රතිකාර කිරීමට අපහසු උදර පිළිකා සඳහා, උදර අභ්‍යන්තරයට රසායනික චිකිත්සක ඖෂධ අඩංගු සෙන්ටිගේ‍්‍රඞ් අංශක 40-45 අගයට උණුසුම් වූ දියරයක් යවමින්, එම පිළිකා ශෛල විනාශ කිරීම සිදුවේ. මෙමගින් වෙනත් කිසිදු ප‍්‍රතිකාරයක් නොමැති තත්ත්වයේ මහා බඩවැල් ආශ‍්‍රිතව පිළිකා ඇති පුද්ගලයන්ගේ ජීවිත කාලය දෙගුණ කිරීමට මෙන්ම, වෙනත් කිසිදු ප‍්‍රතිකාරයක් නොමැති තත්ත්වයේ ඩිම්බකෝෂ පිළිකා ඇති රෝගී කාන්තාවන්ගෙ ආයු අපේක්ෂාව වසරකට ආසන්න කාලයකින් දීර්ඝ කිරීමට හැකි වන බවද පෙන්වා දී ඇත.

ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment