කොතලාවල පනත ඇතුළු තවත් පනත් හතරක් හෙට සිට විවාදයට

249

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත ඇතුළුව පනත් කෙටුම්පත් හතරක් අදින් (03) ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගැනීමට නියමිත අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පසුගිය 19 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත , සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) , ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම, 2020 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාවක් ඇතුළු විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා 02ක් විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ඊට අමතරව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා 02ක්ද මෙම සතියේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මීට අමතරව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන 2021 වර්ෂයේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ යෝජනාවද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් 3 ක්ද 2021 හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මීට අමතරව ආගාමික හා විගාමික පනත යටතේ නියෝගයන්ට සම්බන්ධ 2021 ජූලි 08 දිනයේදී කල් තබන ලද විවාදයේ ඉතිරි කොටසද ලබන 06 පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment