කොත්මලාඔය දෙපස පදිංචිකරුවන්ට රතුඑළියක්

159

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට 20 වැනිදා දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් වාන් දොරටු හතරක් 21 වැනිදා දින අලුයම විවෘතකර තිබේ. එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 200ක ජල ධාරිතාවක් කොත්මලාඔයට මුදා හරින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වැසි ලැබුණොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුව විවෘත වන බවත්, ඒ අනුව ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටී ඇති නිසා එම ස්ථානවල රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සීමා කර ඇත.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලිකිමත්ව රිය ධාවනය කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළිවලින් පහළට ඇද හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment