කොදෙව් දැවැන්තයා 20-20 පිටියේ දැවැන්ත වාර්තාවක් තබයි : 6×22 4×17

983

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ බර අධිකම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දැවැන්තයා වූ රකීම් කොන්වෝල් පෙරේදා (5 දා) පැවැති පන්දු වාර 20-20 තරගයකදී එම තරග අංශයෙන් ක්‍රීඩකයකු ලබාගත් විශාලම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට සමත්වී ඇත.

පන්දු 77 ක් තුළ නොදැවී ලකුණු 205 ක් ලබා ගනිමින් කොන්වෝල් එම වාර්තාව බිහි කළ අතර කොන්වෝල්ගේ එම ඉනිම සඳහා හයේ පහර 22 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය. එම හයේ පහර සහ හතරේ පහරවලින් පමණක් ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 200 ක් වේ.

ඇට්ලන්ටා විවෘත පන්දු වාර 20-20 ලීග් තරගයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ රකීම් කොන්වෝල්ගේ ඉනිම හේතුවෙන් ඔහු නියෝජනය කළ ඇට්ලන්ටා ෆයර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ ලකුණු 326 ක් ලබා ගැනීමට සමත්වී ඇත.

පිළිතුරු ලෙස ප්‍රතිවාදී ස්කවයාර් ඩ්‍රයිව් කණ්ඩායමේ ඉනිම ලකුණු 154 කට සීමාවී ඇති අතර කොන්වෝල් සිය ද්විත්ව ශතකය වාර්තා කර තිබෙන්නේ තරගයේ අවසන් පන්දුවට ද හයේ පහරක් එල්ල කරමිනි.

අඩි 6 යි අඟල් හයක් උසැති කොන්වෝලේ කිලෝ ග්‍රෑම් 140 කට අධික බරකින් යුතු අතර ඔහුට පෙර පන්දු වාර 20-20 තරගයක ඉහළම ලකුණු ලාභියා ලෙස වර්තා වූයේ අයිපීඑල් තරගාවලියේදී තවත් බටහිර ඉන්දීය ක්‍රීඩකයකු වන ක්‍රිස් ගේල් විසින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් රැස් කළ ලකුණු 175 යි. කොන්වෝල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කර කඩුලු 35 ක් දවාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment