කොන්ත්‍රාත්තුව භාර ගන්න එපා – සජිත් මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලයි

124

විවිධ කුට ක්‍රමෝපායන් මගින් මැතිවරණ කල් දමනවාට තමන් විරුද්ධ බවට ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කර තිබූ ප්‍රකාශ අදටත් වලංගු නම් ආණ්ඩුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා බව කියමින් අලුතින් පත්කර තිබෙන සීමා නිර්ණය කමිටුවේ සභාපතිකමට පත්ව ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කොන්ත්‍රාත්තුව භාර නොගන්නා ලෙස තමා ඒ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරයේදී පැවසීය.

සමගි ජනබලවේගයේ අනුරාධපුර නැගෙනහිර ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් පෙරේදා (05දා) සවස හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. සමගි ජනබලවේගයේ නැගෙනහිර ආසන සංවිධායිකා හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් අනුරාධපුර සී.ටී.සී. උත්සව ශාලාවේදී එම රැස්වීම සංවිධානය කොට තිබිණි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“සීමා නිර්ණය කමිටුවක් පත්කොට එහි සභාපති ලෙස ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබෙන බව ආරංචි වුණා. මොනවටද මේ සීමා නිර්ණය කමිටුවක්? මොනවා හරි ප්‍රශ්න ටිකක් ඉදිරියට දමා මැතිවරණ කල් දැමීමටයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. පළාත් පාලන මැතිවරණය තිබිය යුතුමයි. එම මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පළාත් පාලන පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හදන්න මේ සීමා නිර්ණය කමිටුවක් පත් කර තිබෙන්නේ.

අද රටේ ප්‍රමුඛතාව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමද? එහෙම නොමැතිව ජනතාවට තම ජනමතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමද? කලට වෙලාවට මැතිවරණ තිබිය යුතු බව ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුව ඔබතුමාගෙන් කර ගැනීමට හදන්නෙ මැතිවරණ කල් දැමීමේ වැඩේ. මේ කරන්න හදන්නේ මැතිවරණයක් හරහා ජනතාවට ජනමතය ඉස්මතු කිරීමට තිබෙන අවස්ථාව පැහැර ගැනීමක්.

මහින්ද දේශප්‍රිය මහතා මීට වැඩිය උසස් මට්ටමකින් සිතා කටයුතු කරන්නට ඕනෑ. අද රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව ඉල්ලන්නෙ මැතිවරණයක්. මේ ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් මේ රටේ ලක්ෂ දෙසිය විස්සම ජනතාව ඒකරාශී කරගෙන අපි මහපාරට බැහැලා මැතිවරණයක් ලබා ගන්නවා ලබා ගන්නවාමයි”
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මකුලෑව -එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment