කොන්දොස්තර බසයෙන් බිමට තල්ලු කර මුදල් කොල්ලකති

335

යාපනයේ සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ යාපනය ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගීන් තුන් දෙනකු බස් රථයේ කොන්දොස්තරවරයාව බසයෙන් බිමට තල්ලු කොට ඔහු සතුව තිබූ රුපියල් 59,177 ක මුදලක් 2 දා රාත්‍රී කොල්ල කා පලා ගොස් තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයට ආසන්නයේදී වන අතර කොල්ලකරුවන් තුන්දෙනා යාපනයේ සිට එම බස් රථයේ ප්‍රවේශපත්ද මිලට ගෙන පැමිණෙමින් සිට එක් වරම බසය නැවැත්වූ අවස්ථාවක කොන්දොස්තරවරයාව බිමට තල්ලු කොට මෙම මුදල් මංකොල්ලය සිදු කොට තිබේ.

බසය නවත්වන ලද අවස්ථාවේදී බසයෙන් බැස සිටි මගීන් පවසා ඇත්තේ තරුණයන් තුන් දෙනා අතුරු මාර්ගයක් ඔස්සේ දිව ගිය බවයි.

තමන්ට ඔවුන් දුටුවහොත් හඳුනාගත හැකි බවද එම මගීන් පොලිසියට ප්‍රකාශ කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයා මගීන්ගේ සාක්කිද සහිතව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කොට ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment