කොමර්ෂල් බැංකුව දරුවන් වෙනුවෙන් ‘අරුණළු’ විදේශීය මුදල් ඉතිරි කිරීමේ ගිණුම අරඹයි

114

දරුවන් වෙනුවෙන් විදේශ මුදලින් ඉතිරි කිරීම කාලීන අවස්ථාවක් ලෙස පෙනෙන්නට තිබෙන හෙයින් කොමර්ෂල් බැංකුව එම අවස්ථාව ලබාදෙමින් ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වාදී තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකාවේ වාසය කරන මෙරට පුරවැසියන් වන දරුවන් සඳහාත් විදේශයක වාසය කරන ශ්‍රී ලංකාවේ උපත ලියාපදිංචි කර තිබෙන දරුවන් සඳහා මෙම විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුමේ විදේශීය මුදල් වර්ග හතරකින් මුදල් තැන්පත් කළ හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුමක් ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් අවුරුදු 15 කට අඩු දරුවෙකු වෙනුවෙන් ඩොලර් 50 මූලික තැන්පතුවක් මගින් හෝ ඩොලර් 50 කට සමාන වන ස්ටර්ලිං පවුම්, යූරෝ සහ ඕස්ටේ්‍රලියානු ඩොලර් තැන්පත් කිරීම මගින් දෙමව්පියන්ට, නීත්‍යානුකූල භාරකරුවන්ට හෝ දරුවන්ගේ දෙමව්පියන්ගේ දෙමව්පියන්ට විවෘත කළ හැකිවේ. දරුවා අවුරුදු 18 උපන් දිනය සමරන අවස්ථාවේ හෝ එයට පසුව මෙම ගිණුමේ තිබෙන සම්පූර්ණ මුදල් ප්‍රමාණය දරුවාට ලබාගත හැකි බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව විසින් මෙම විශේෂ යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ විශේෂයෙන්ම දරුවන් අනාගතයේදී විදේශීය අධ්‍යාපනය සඳහා ඇතුළු අනාගත වියදම් වෙනුවෙන් දෙමව්පියන් කලින්ම ඉතිරිකිරීම සඳහා යොමු කිරීමටයි. බැංකුව සඳහන් කරන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල වලින් මිදී එවිට අදාළ වියදම් කිරීමට අවස්ථාව හිමිවන බවයි.

මෙම ගිණුමට දෙමව්පියන්ට, දෙම්පියන්ගේ දෙමව්පියන්ට සහ නීත්‍යානුකූල භාරකරුවන්ට ඔවුන්ගේ පුද්ගලික විදේශීය ගිණුම් (PFCA) වලින් තැන්පතු ලෙස ප්‍රේෂණ මුදල් එවිය හැකිවේ.

මෙම මුදල් තැන්පතුව හිමි දරුවාට අවුරුදු 18 ක් පිරුණු විට බැංකුව විසින් ඉතිරි කළ මුදල රුපියල් වලින් ලබාදෙන අතර විදේශීය අධ්‍යාපන කටයුතු, විදේශීය රටවලින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ කටයුතු වැනි අවංක උත්සාහයන් වෙනුවෙන් අවශ්‍ය වුවහොත් විදේශීය මුදල් ලබාදීමට කටයුතු කරන බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, බැංකුවේ අධීක්ෂණය යටතේ කල් පිරීමට පෙර විශේෂ කාරණා සඳහා මුදල් මෙමගින් ලබාගත හැකි බවද බැංකුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment