කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාව තුළ ලංකාපේ කාඩ්පත් එළිදක්වයි

106

කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් පසුගියදා හඳුන්වා දුන් අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී.

මෙම ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත් ක්‍රමයක් වන JCB ඉන්ටර්නැෂනල් සමග ඒකාබද්ධ වෙමින් ආරම්භ කළ වැඩසටහනක් වේ. ලෝකය පුරා JCB කාඩ්පත් හිමියන් මිලියන 150 කට වැඩි සංඛ්‍යාවක් සිටී.

ශ්‍රී ලංකාව තුළ ලංකාපේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන පළමුවැනි අවස්ථාව මෙය වන අතර, ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග තුනක් සහ ඩෙබිට් කාඩ්පත් වර්ග දෙකක් සහිතව ලංකාපේ කාඩ්පත් පහක් නිකුත් කිරීමත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට සිදුවිය.

ලංකාපේ කාඩ්පත පිරිවැය සඵලතාවයෙන් යුක්ත නවීන තාක්ෂණයෙන් සහ ඉහළම ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සමන්විත වේ. ලංකාපේ කාඩ්පත් වලින් සිදුකරන සියලුම දේශීය ගනුදෙනු දේශීයව අනුමත වන අතර මෙම කාඩ්පත මගින් විදේශීය ගනුදෙනු සිදුකරන විට එය JCB ජාත්‍යන්තර ජාලය මගින් අනුමත වේ. මෙම වැඩසටහනේදී දේශීයව ගනුදෙනු සිදුකරන විට විදේශ විනිමය රටින් පිටතට නොයන නිසා එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

ලංකාපේ කාඩ්පත් ශ්‍රී ලංකාවේ එළිදැක්වීමේ අවස්ථාව උත්සවාකාරයෙන් කොළඹදී සිදුකළ අතර එම වැඩසටහනට JCB, කොමර්ෂල් බැංකුව සහ ලංකාපේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් සහභාගි විය. මෙහිදී, ඔවුන් අවධාරණය කළේ මෙමගින් කාඩ්පත් හිමියන්ට ඉහළ අගය එකතු කළ සේවාවක් සහ පාරිභෝගික වරණයක් ලබාදෙන බවයි.

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලංකාපේ කාඩ්පත් ලංකාපේ ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර තිබෙන පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍ර තුළින් ගනුදෙනු කිරීමේදී ස්පර්ෂ සහ ස්පර්ෂයෙන් තොර (contact සහ contactless) ගනුදෙනු තාක්ෂණය භාවිතා කරනු ලබයි. මීට අමතරව, ලංකාපේ පද්ධතියට සම්බන්ධ කර තිබෙන සියලුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ දේශීය වෙළඳසැල් 42,000 ක මෙන්ම මිලියන 41 කට අධික JCB ගෝලීය ව්‍යාපාරික ජාලයේ ස්ථාන වලින් මෙම කාඩ්පත් භාවිතා කරමින් ගනුදෙනු සිදුකළ හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව විසින් ලංකාපේ සන්නාමකරණය කළ ක්‍රෙඩිට් කාඩ්පත් ප්ලැටිනම්, ගෝල්ඩ් සහ ක්ලැසික් යන මට්ටම් වලින් නිකුත් කරනු ලබන අතර ඩෙබිට් කාඩ්පත් ප්ලැටිනම් සහ ක්ලැසික් යන මට්ටම් වලින් නිකුත් කරයි. මෙම ඩෙබිට් කාඩ්පත ශ්‍රී ලංකාව තුළ නිකුත් කරනු ලබන පළමු ඩුවල් ඉන්ටර්ෆේස් කාඩ්පත වන අතර එමගින් භාවිතා කරන්නාට ඕනෑම පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍රයක් මගින් කන්ටැක්ට් සහ කන්ටැක්ට්ලස් තාක්ෂණය භාවිතා කරමින් ගනුදෙනු කිරීමට හැකිවේ.

මෙම හඳුන්වාදීමේ අවස්ථාවට (වමේ සිට…) කෝයා සකුමා (විධායක උප සභාපති – ප්‍රධානි ග්ලෝබල් ඩිවලප්මන්ට් මූලස්ථානය – JCB ඉන්ටර්නැෂනල් සමාගම), කෙනත් සිල්වා (සභාපති ලංකාපේ), මහාචාර්ය ආනන්ද ජයවර්ධන (සභාපති – කොමර්ෂල් බැංකුව), සනත් මනතුංග (කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරි – කොමර්ෂල් බැංකුව), චන්න ද සිල්වා (සාමාන්‍යාධිකාරි සහ ප්‍රධාන විධායක නිලධාරි – ලංකාපේ) යන මහත්වරු එක්වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment