කොම්පෝස්ට් බඩවැල්

926

ඉන්දියාවෙන් ආනයනය කර මෙරට වෙළෙඳපළේ අලෙවි කරන්නට ලක ලැහැස්ති වෙමින් තිබූ කුණු අල කිලෝග‍්‍රෑම් 40,000 ක ප‍්‍රමාණයක් දඹුල්ලේ පෞද්ගලික ගබඩාවක තිබී අත්අඩංගුවට ගත් පුවතක් මාධ්‍ය වාර්තාකර ඇත. මේ වැටලීම සිදුකර තිබුණේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ප‍්‍රමුඛ දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගිනි. අනතුරුව අදාළ සිද්ධිය පොලිසියට වාර්තා කර සැකකරුවන් අධිකරණ භාරයට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද පෞද්ගලික ගබඩාවකින් මෙම අල තොගය අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විටත් අල තොගය පැළවී, මුල් ඇද කුණු වී ඕජස් ගලමින් තිබී ඇත. එපමණක් නොව, වැටලීම සිදුකරන මොහොත වන විට අදාළ ගබඩා හිමිකරු විසින් කුලී කාන්තාවන් යොදවා පැළ වුණු අල තොගයේ මුල් ඉවත්කර, තෝරා පරිභෝජනය සඳහා යොදාගැනීමට කටයුතු කරමින් සිට ඇත.

දඹුල්ල නගර සභා සෞඛ්‍ය අංශ කියන පරිදි මෙම අල තොගය භාවිතයට නුසුදුසු, වහාම විනාශ කළ යුතු තත්ත්වයේ ඇති, තනිකරම කුණු ගොඩකි. නමුත්, මීට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින් මෙම අල තොගය රේගුවෙන් නිදහස් කරගෙන කෙළින්ම දඹුල්ලට ගෙන්වාගෙන මෙසේ කුලීකරුවන් යොදවාගෙන එහෙන් මෙහෙන් පිරිසිදුකර හොඳ අර්තාපල් සමග මිශ‍්‍ර කර, ආර්ථික මධ්‍යස්ථානය හරහා රටේ බොහෝ ප‍්‍රදේශවලට බෙදාහරින බව දැන් අනාවරණය කරගෙන ඇත.

එපමණක් නොව, මෙම තැනැත්තා මීට පෙර කුණු ලොකු ලූනු පකිස්තානයෙන් ආනයනය කර මේ ආකාරයෙන්ම තෝරා හොඳ ලූනු සමග මිශ‍්‍ර කර රට වටේ යවන්නට ගොස් අතේ මාට්ටු වී අත්අඩංගුවට පත් වූ අපතයෙකි. එනම්, මේ නම් කලක පටන් සිදුවන ජාවාරමක් බව අපට සිතන්නට පුළුවන. ප‍්‍රශ්නය වන්නේ මීට පෙර එසේ කුණු ලූනු සිද්ධියට ඔහුට ලැබුණු දඬුවම කුමක්ද යන්නය. එදා මොහුට හරි දඬුවමක් දුන්නා නම් තවත් වරක් ඔහු මෙසේ අපත වැඩ කරන්නේ නැත. තමන්ගේම සහෝදර ජනතාවට කුණු ගොඩවල් කවා තම බඩ වඩාගන්නේ නැත. ඇතැම් විට එදා මොහු අත යටින් ගානක් දී අත්අඩංගුවෙන් මිදුණා දැයි අප දන්නේ නැත.

කෙසේ හෝ මෙම සිද්ධියත් සමග අපට ප‍්‍රශ්න ගණනාවක් මතුවේ. පිළිවෙළින් ගතහොත් අපට නැගෙන ප‍්‍රධාන ප‍්‍රශ්න මෙවැනිය.

මෙම පුද්ගලයා පුරුද්දක් වශයෙන් තම ව්‍යාපාරය ලෙස සිදුකරන්නේ ඉන්දියාවේ, පකිස්තානයේ හෝ වෙනත් රටවල කුණු කෘෂි අපද්‍රව්‍ය ලංකාවට ගෙනවිත් පිරිපහදු කර, ඒවා අලෙවියෙන් අධික ලාභ උපයන්නෙක්ද…? යන්නය. එසේ නම් බලධාරීන් ඒ බව සොයාගෙන කියන දේ නාසන මේ අපත ව්‍යාපාරික මීහරකා වහාම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයෙන් අතුගා දැමීමට කටයුතු කළ යුතුය.

එසේම, තවත් ව්‍යාපාරිකයන් විසින් මෙරටට ආනයනය කර, යම් යම් හේතුන් නිසා කල් ඉකුත්වන අල, ලූනු වැනි දෑ මොහු විසින් ලබාගෙන පිරිපහදු කර විකුණන මොහු, ඒ ජාතියේ අතරමැදි එක්ස්පර්ට් කෙනෙකුද යන්න පිළිබඳවද අපට ප‍්‍රශ්නයක් තිබේ. මන්ද, එක එක ජාතියේ ව්‍යාපාර සිදුකර මඩිය තරකරගන්නා අයට ශ‍්‍රී ලංකාව තෝතැන්නක් වී ඇති නිසා සහ මොනවා කරත් හොයා බලන්නට හරි හමන් කෙනෙක් මේ රටේ නැති නිසාය. (අඩුම තරමින් මේවා ගැන සොයාබලන්නට වෙනම බුද්ධි අංශයක් මේ රටට වුවමනා බව අපගේ කල්පනාවයි) අප මෙතෙක් දැන සිටියේ ලංකාවේ රේටින් වලින් ඉහළම ස්ථානවල පමණක් සිටින ඇතැම් ව්‍යාපාරිකයන් විසින් එංගලන්තය වැනි රටවලින් රෝහල් අපද්‍රව්‍ය ඇතුළු හානිකර කසළ තොග මෙරටට ගෙන්වා අපේ රටේ කසළ ගොඩවලට ඒවා එකතුකර අධික ලෙස මුදල් උපයාගන්නා හැටි

ගැනය. නමුත් කුණු කෘෂිකාර්මික බෝග හොඳ ඒවා බවට පෙන්වා ඉතා අඩු මිලට හෝ නිකන්ම මෙරටට ගෙන්වා රටේ ජනතාවගේ කුස තුළ තැන්පත් කරන මෙවන් ආකාරයේ ජාවාරම් ගැන අප මෙතෙක් දැනසිටියේ නැත. වරායෙන් ගොඩබාන මෙවන් කසළ කන්ටේනර් ඉක්මනින්ම නිදහස් කරගෙන දඹුල්ල වැනි ඈත පළාතකට ගෙනගිය පසු බල්ලෙක්වත් හොයන්නට එන්නේ නැතැයි ඇතැම් විට මේ ජාවාරම්කාරයන් හිතනවා වන්නට පුළුවන.

ඒ කොහොම වුවත් මේ කටයුත්ත රේගුවේ අනුදැනුම නැතිව කරන්නට නොහැකිය. දැනගන්නට ඇති පරිදි මෙම කුණු අල තොගය වරායේ සියලූ පරීක්ෂණවලින් නිදහස් කර, ආහාරයට සුදුසු බවට නිර්දේශ කර පසුගිය 15 වැනිදා සවස රේගුවෙන් නිදහස් කළ බව අල කන්ටේනරය රැගෙන ගිය රියැදුරා පොලිසියට හා නගර සභා බලධාරීන්ට කටඋත්තර දී ඇත. එසේනම් මෙය කලක පටන් සිදුවන මහා පරිමාණ වංචාවකි. දඹුල්ලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු කෙළින්ම ශ‍්‍රී ලංකාවට අල, ලූනු වැනි කෘෂි ද්‍රව්‍ය ආනයනය කරයි. එය නරකක් නොවේ. නමුත් ඒ අතර මෙවන් ජාවාරම් කරන අය සිටින්නේ නම් එය සොයා බැලිය යුතු තත්ත්වයකි. පස්සෙන් පන්න පන්නා බැලිය යුතු තත්ත්වයකි. පුදුමය වන්නේ මේ රටේ වගාකරන්නට හැකි දේවල් ආනයනය නොකරන්නට රජය තීන්දු, තීරණ ගෙන ඇති පසුබිමක මෙවන් වංචා සිදුවීමය.

දඹුල්ල පමණක් නොව, පිටකොටුවට ගියත් කුණු අල, ලූනු ගොඩවල් කරත්තවල එහාට මෙහාට ප‍්‍රවාහනය කරන අයුරු, පොළවල් ගානේ තියාගෙන කුලී කාරයන් දාගෙන සුද්ධ කර අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ ඇෙඟ් ගසන අයුරු සුලභ දසුනකි.

එසේ නම්, මේ කාලාන්තරයක පටන් හා නිරන්තරයෙන් සිදුකරන ජාවාරමක් බව පැහැදිලිය. මේ ගැන බලධාරීන් වහාම පියවර ගත යුතුය. ඒ අතින් දඹුල්ලේ නගරාධිපති ඕපාත මහතා ප‍්‍රමුඛ සෞඛ්‍ය අංශ කඩා පැන මෙසේ අනාවරණය කරගෙන ඇත්තේ පොඩි පහේ ජාවාරමක් නොවේ. කාබනික පොහොර ගැන කතාකරන කාලයක යාන්තමින් එදා වේල ගැටගහගන්නා පාරිභෝගික ජනයාගේ බොකු, බඩවැල් කුණු ගොඩවල් දමා කොම්පෝස්ට් කරන ජාතියේ ජාවාරමකි. මේ පිළිබඳව අග සිට මුලට හෝ මුල සිට අගට සොයාබලා වහාම කි‍්‍රයාමාර්ග යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment