කොමිසමටත් බෑ!…ආණ්ඩුවටත් බෑ!…මණ්ඩලේ කපයි…විභාගය අස්සේ ළමයි කලුවරේ

54

කොමිස්කාරයන්ට හිසරදයක් වූ උපයෝගිතා කොමිසම

සභාපතිවරයා හදිසියේම පීල්ල මාරු කරයි

නයි – මුගටි සටන පරදන ඇමැති – සභාපති සටන

මේ වන විට රට තුළ විදුලිබිල වැඩිකිරීම සම්බන්ධ තීරණය ස්ථිර වන මට්ටමට පත්ව තිබේ. එය ජනාධිපතිවරයා විසින්ද, බලශක්ති ඇමැතිවරයා විසින් සහ ආණ්ඩුවේ වෙනත් මැති ඇමැතිවරුන් හා ඊට සම්බන්ධ පාර්ශ්ව කියන කතාවලින් මැනවින් සනාථ වේ. මහජනතාව වශයෙන් දැන් අපට ඉතිරිව ඇත්තේ වහ ටිකක් කා දිවි නසා ගැනීමට හෝ විදුලි පේනුවකට අත තබා විදුලි සර වද්දාගෙන මියදීමටය. මහජනතාවට මේ වනවිට කිරීමට කිසිදු දෙයක් ඉතිරිවී නැත. මන්ද මේ පවතින ආර්ථික රටාවත් සමඟ ජනතාවගේ පඩියෙන් නැතිනම් වෙනත් ආදායම් මාර්ග වලින් මේ ආකාරයෙන් විදුලි බිල ගෙවුවහොත් ජනතාවට බඩගින්නේ සිටීමට සිදුවේ. දවසට වේලක් දෙකක් හෝ කෑවොත් විදුලි බිල ගෙවිය නොහැක. දැන් ජනතාවට තීරණය කිරීමට සිදුව ඇත්තේ කරුවලේ සිටිනවාද බඩගින්න නිවාගන්නවාද කියාය.

විදුලිබිල පවතින තත්ත්වයෙන් පවත්වාගෙන යනවාද වැඩිකරනවාද යන්න ජනතාවට පවතින විශාල ගැටලුවකි. මේ ගැටලුවට ඇති විසඳුම තෝරා බේරා ගැනීමට බැරිව සිටින්නේ දැන් ජනතාවට වඩා ආණ්ඩුව හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවය. මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයක් නිකුත් කරයි. ආණ්ඩුව ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරයි. මේ වනවිට මේ දෙපාර්ශ්වය අතර විශාල මතගැටුමක් නිර්මාණය වී තිබේ. විදුලි බිල වැඩිකිරීමේ අයිතිය සම්බන්ධයෙනුත්, උපයෝගිතා කොමිසමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙනුත් එහි වගකීම් සම්බන්ධයෙනුත් විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් තිබේ. මේ ඒ පිළිබඳ විමසා බැලීමයි.

● මොකක්ද මේ මහජන උපයෝගිතා කොමිසම

2002 අංක 35 දරන පනත මගින් භෞතික යටිතල පහසුකම් නියාමන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව :ඡමජික) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් පිහිටුවන ලදී. මහජන උපදේශනය හෝ පාර්ශ්වකරුවන් සඳහා උපදේශන පවත්වා එම අදහස්ද සලකා බලමින් විධිමත් ක්‍රියා පටිපාටියක් යටතේ තීන්දු තීරණ ගැනීම මෙහි කාර්ය භාරයයි. මුලදී මෙරට විදුලි බල හා ජල සේවා කර්මාන්තයේ නියාමන ආයතනයක් ලෙස ආරම්භ වූ මෙය මේ වනවිට ඛනිජ තෙල් කර්මාන්තයද නියාමනය කරයි.

විදුලිබල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්‍ෂම සැපයුමක් සහ ගුණාත්මක සේවා තත්ත්වයක් සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම හා භාවිතය නියාමනය සිදුකරයි. මේ සියලු කරුණු කැටිකරගත් කල්හි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම කොමිසම සතු අත්හළ නොහැකි මූලිකම වගකීමයි. අද දවස වන විට මේ වගකීම ඉටුකරන්නට ගොස් විවිධ පාර්ශ්වයන්ගේ විවේචනයට කොමිසම ලක්ව ඇත.

● කොමිසම අහෝසි කිරීමේ සූදානමක්

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සඳහාද යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වරක් බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පත්කරන ලද කමිටුව මගින් ඉදිරිපත් කළ යෝජනා අතර මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට වන යෝජනාවද ඊට ඇතුළත් බවත් මහජන උපයෝගිතා කොමිසම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය වෙනුවෙන් වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවත් දියුණු රටවල ඇත්තේ එවන් ක්‍රමවේදයක් බවත් බලශක්ති ඇමැතිවරයා මෑතකදී පැවැසීය.

● මීට පෙරත් කොමිසම අහෝසි කරන්න උත්සාහ කරලා

2020 වසරේදී හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාද මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ යුතු යැයි යෝජනා කර මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ඒ බව ලිඛිතව දැනුම්දී ඇත. නමුත් ඒ අවස්ථාවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවූ විරෝධය හමුවේ එම තීරණය හකුලාගෙන ඇති අතර එහිදී විපක්‍ෂ මන්ත්‍රීවරු නගා ඇති තර්කය වන්නේ පාර්ලිමේන්තුවේ පනතක් මගින් පිහිටු වූ ආයතනයක් එසේ එක් ලියුමකින් අහෝසි කළ හැකිද යන්නයි.

● කොමිසම අහෝසි කරනවාට පාර්ශ්ව රැසක විරෝධය

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරනවාට විරුද්ධ 2020 වසරේ සිටම ප්‍රධාන විපක්‍ෂයට අමතරව තවත් පාර්ශ්ව රැසක්ම තම විරෝධය පළකොට ඇත. එහිදී එක් අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ “මහජන උපයෝගිතා කොමිසම යනු කොමිස් ගහමින් බාල විදුලිය සපයන සැලසුම්වලට එරෙහිව කටයුතු කරන, හිතුමතේ ජනතාවගේ විදුලිබිල වැඩිකිරීමට ඉඩ නොදෙන ජනතාව සහ රට නියෝජනය කරන කොමිසම” යනුවෙනුයි. එම ප්‍රකාශය තුළින්ම මනාව පැහැදිලි වන කරුණු නම් මෙම කොමිසම තිබෙන තාක් වංචාකරයන්ට, කොමිස්කාරයන්ට මෙය හිසරදයක් වන බවයි. තමන්ට වුවමනා ආකාරයට කටයුතු කිරීමට කොමිසම බාධාවක් බැවින් පත්වන ඇමැතිවරු කොමිසමේ නැති වැරදි හදමින් සෑම විටම උත්සාහ ගෙන ඇත්තේ මෙය අහෝසි කිරීමටය.

● වැඩිකිරීමේ බලය සැබෑවටම අයිති කාටද?

බලශක්ති ඇමැතිවරයා විසින් මේ වනවිට විදුලිබිල වැඩිකිරීමට අදාළව එම බලය තමන් සතු බව පවසමින් කැබිනට් මණ්ඩලයට ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කර එය අනුමත කරගෙන තිබේ. නමුත් එම මිල සංශෝධන පත්‍රිකාවට අනුව කෙළින්ම විදුලි ගාස්තු ඉහළ නොදමා මේ වනවිට මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇත. මුලදී ඇමැතිවරයා වැඩිකිරීමේ බලය තමන් සතු යැයි වහසි බස් දෙඩුවද මේ වනවිට සිදුවන ක්‍රියාදාමයන් තුළින් පැහැදිලි වන්නේ එවන් බලයක් ඇමැතිවරයාට කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපතිවරයාට නැති බවයි.

මේ සම්බන්ධව අප ජනක රත්නායක මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

“විදුලි බිල සංශෝධනය කිරීමේ බලය අප සතුයි. එය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 2014 වසරේදී මිල සංශෝධනය සිදුකළේද මහජන උපයෝගිතා කොමිසමයි. පසුගිය අගෝස්තු මස විදුලි බිල සංශෝධනය කළේත් ඇමැති මණ්ඩලය නොව මහජන උපයෝගිතා කොමිසමයි. එසේම මෙවරත් ගාස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පත්‍රිකාව කොමිසමට යොමු කොට තිබේ. එම කරුණු සලකා බලන විට විදුලි ගාස්තු සංශෝධනයේ සැබෑ අයිතිය මහජන උපයෝගිතා කොමිසමට බව පැහැදිලියි.

පසුගිය කාලය මුළුල්ලේම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දිගින් දිගටම පැවසුවේ අගෝස්තු මස සංශෝධනය ප්‍රමාණවත් වන බැවින් කිසි ලෙසකින්වත් නැවත ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි.

● ජනපතිගෙන් ඳානිලධාරීන්ට කැඳවීම්

ජනාධිපතිවරයා ද පසුගියදා පැවසුවේ විදුලි බිල අනිවාර්යයෙන් වැඩිකිරීමට සිදුවන බවයි. විදුලි කප්පාදුවකට නොගොස් විදුලිය දීමට නම් අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවයි. එම සංශෝධන සිදු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා පසුගිය සතියේ සිකුරාදා දින මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ව පාර්ලිමේන්තුවේ පැවැති මහජන සභාව හමුවට කැඳවනු ලැබූ අතර එහිදී කොමිසමේ සභාපතිවරයා හැර ඉතිරි සාමාජිකයන් පවසා ඇත්තේ නිසි දැනුවත් භාවයකින් තොරව පෙර තීරණය ගත් බවත් කැබිනට් මණ්ඩලය අනුමත කළ මිල සංශෝධනයට දැන් තමන් එකඟ බවත්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගිය දිනක සභාපතිවරයා හැර කොමිසමේ ඉතිරි සාමාජිකයන් තිදෙනා වන උදේනි වික්‍රමසිංහ, මොහාන් සමරනායක හා චතුරිකා විජේසිංහ යන අය කැඳවා තිබිණි. මේ අවස්ථා දෙකේදීම සභාපතිවරයා හැර ඉතිරි සාමාජිකයන් තිදෙනා විදුලි බිල වැඩිකිරීමට කැමැත්ත පළකොට තිබිණි.

උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා, රාජ්‍ය බැංකු දෙකේ නිලධාරීන්, තෙල් සංස්ථා සභාපති ඇතුළු පාර්ශ්ව රැසක් පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කර 23 වැනිදා සිට ලබන 17 වැනිදා දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට එකඟතාවට පැමිණ ගිවිසුමක් අත්සන් කළත් මෙම ලිපිය ලියන 26 වැනිදා වනවිටත් විදුලිබල මණ්ඩලයෙන් පැය 2 විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කරන්නේ රටේ අනාගත පරපුරේ හෙට දවස ගැන තීන්දු කරන අවුරුදු 13ක මහන්සිය ගැන කිසිදු තැකීමකින් තොරවය.

මානව හිමිකම් කොමිසම සමග එළඹි එකඟතාවන්ට අනුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව මානව හිමිකම් කොමිසම පවසයි. එසේම විභාග කාල සීමාව තුළ විදුලි කප්පාදුව අනුමත නොකරන බවට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යොමුකර ඇත. ඊට පටහැනිව කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා විදුලිබල පනතේ විදුලි සම්ප්‍රේෂණ හා සැපයුම් වගන්තිවලට අනුව නීතිමය පියවර ගන්නා බවද දන්වා ඇත.

● ඇමැතිගෙන් කොමිසමට චෝදනා

ඇමැතිවරයා දිගින් දිගටම පවසන්නේ කොමිසමෙන් සිදුවූ වැරදි නිසා මණ්ඩලය පාඩු ලබන බවයි. එක් පුද්ගලයෙක්ගේ දේශපාලන හෝ වෙනත් යටි වුවමනාවන් සඳහා අනෙක් කොමසාරිස්වරුන්ගේ මතය නොවිමසා සභාපතිවරයා තනි මතයට අනුව ක්‍රියා කරන බවට ඇමැතිවරයා චෝදනා කරයි. එය බරපතළ වැරැද්දක් බැවින් ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් කොමිසමට ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි යැයි පැවසිය නොහැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. ඇමැතිවරයා විසින් සභාපතිවරයා ඉවත් කිරීමට උත්සාහ දරන අතරේ සභාපතිවරයා පවසන්නේ වැඩ කළ හැකි දැනුමැති ඇමැතිවරයෙකු මේ ක්‍ෂේත්‍රය සඳහා පත්කරන ලෙසයි.

● ගාස්තු වැඩි කිරීම අනිවාර්යයි

විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම ඉහළ නැංවීමට සිදුවන බව කංචන විජේසේකර ඇමැතිවරයා පුන පුනා ප්‍රකාශ කරයි. නමුත් ආර්ථික අර්බුදයෙන් කරවටක් ගිලී සිටින ජනතාවට විදුලි බිල ගෙවිය හැකිදැයි, විදුලිබිල වැඩිකිරීමත් සමග කර්මාන්ත වැසීයෑමේ අවදානම මෙන්ම ඒ හරහා දහස් ගණනකට රැකියා අහිමිවීම පිළිබඳ ඇමැතිවරයාට නොතේරේද. මේ පිළිබඳ මේ වනවිටත් පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ලෙඩා මියැදී බඩ සුද්ද වීමෙන් ඵලක් නැත.

මෙරට දේශපාලනඥයන්ගේ ජඩ ගතිය වන්නේ තමන්ට අවනත තීන්දු තීරණ නොගන්නා පුද්ගලයන් හෝ පක්‍ෂ, සංවිධාන කොමිෂන් සභා කඩා විසුරුවා හැරීමයි. පසුගිය කාලය දෙස විමසා බැලීමේදී ඒ බව හොඳින්ම පැහැදිලි වේ. මැතිවරණ කොමිෂන් සභාවේද සිදුවන්නේ මේ දෙයමය. තමන්ට අවනත නොවන අය වක්‍රකාරයෙන් බලපෑම් කොට නම්මවා ගැනීමට දේශපාලනඥයන්ගේ පුරුද්ද වී තිබේ. ජනතාවට වැලේ වැල් නැතිව සිටින මෙවන් මොහොතක එක දේශපාලනඥයෙක් තම වරදාන, වරප්‍රසාද අතහැර නැත. ආණ්ඩු පක්‍ෂ මෙන්ම විපක්‍ෂ දේශපාලනඥයන්ද මේ ගාස්තු වැඩිවීම් වලට කැමැතිය. ඒ තම පාලන කාලය තුළදී මේ ආයතනවලින් දැනෙන බර තරමක් හෝ අනිත් ආණ්ඩුව විසින් ලිහිල් කර තිබීම හේතුවෙන්ය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment