කොරල් එනර්ජි සමාගමේ රජාගෙ පුතාගෙ කොටස් වෙන කෙනෙකුට පවරලා

507

සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් සැපයුම් ඒකාධිකාරිය ලබාදී තිබෙන කොරල් එනර්ජි සමාගමේ කොටස්වලින් සියයට විස්සක් මේ රටේ රජකුගේ පුතෙකුට අයිතියට තිබූ බවත් එම කොටස් ප්‍රමාණය මේ වනවිට වෙනත් අයකුට පවරා දී ඇති බවත් ශ්‍රී. ල. නි. ප. මහලේක්ම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (05 දා) පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුවට සරිලන්නේ මර්බන් ලයිට් හෝ ඉරානියන් ලයිට් වර්ගයේ බොරතෙල් වුවත් කොරල් සමාගමෙන් ගෙන එන ඌරල් වර්ගයේ බොරතෙල් බර තෙල් වර්ගයක් යැයිද එහි සල්ෆර් ප්‍රමාණය වැඩි යැයිද ඒ මහතා කීය.

මර්බන් වර්ගයේ බොරතෙල් පිරිපහදුවේ දී සියයට 10 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලැබුණත් ඌරල් බොරතෙල් පිරිපහදුවේදී ලැබෙන්නේ සියයට 7 ක 92 පෙට්‍රල් ප්‍රමාණයකි. මර්බන් වලින් 95 ඔක්ටේන් පෙට්‍රල් සියයට 30 ක් ලැබුණත් වර්තමානයේ දී එහි නිෂ්පාදනය සියයට 20 ට අඩුවෙලා. මර්බන් පිරිපහදු කිරීමේදී භූමිතෙල් සියයට 20 ක් ලැබුණත් එම ප්‍රමාණය සියයට 11 ට අඩු වෙලා. නැප්තා නිෂ්පාදනයද සියයට 9 සිට සියයට 7 ට අඩුවෙලා. වර්තමානයේ දී පිරිපහදුවට ගෙන එන බොරතෙල් වලින් සියයට 54 ක්ම දැවිතෙල් නිෂ්පාදනය වනවා යැයිද දයාසිරි ජයසේකර මහතා කීය.

මේ වනවිට දැවිතෙල් මෙටි්‍රක් ටොන් 75000 ක් පමණ සපුගස්කන්ද හා කොළොන්නාවේ ගබඩාවල තැන්පත් කර තිබෙන බවද ඒවා අඩු මිලයට පිටරටට විකිණීම හැර විකල්පයක් නැති බවද හෙතෙම කීය.

මෙරටට ගෙනඑන ඉන්ධන නෞකා දින ගණන් මුහුදේ නවතා තබා කොරල් එනර්ජි සමාගම ගෙන එන ඉන්ධන ගොඩබා ගනිමින් හොරකම ජයටම කරගෙන යන්නේ යැයිද පැවසීය. මෙම ගනුදෙනු නිසා පාරිභෝගිකයන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 73 ක් අමතරව ගෙවන්නේ අදාළ ප්‍රීමියම් ගාස්තු වෙනුවෙන් යැයිද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ, අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment