කොරහෙ කිඹුල්ලුන් දකින්න එපා කියූ සෞඛ්‍ය ඇමැතිවරයා දඹුලු ගිහින් තලගොයි මරයි!

552

කිසිදු ඖෂධයක් සායනික පරීක්‍ෂණයකට ලක්කර නෑ

පසුගිය කාලය තුළ විදේශ විනිමය අර්බුදයෙන් අපේ රටේ ආර්ථිකයට මෙන්ම සෞඛ්‍ය අංශයටද ඇතිවූයේ බලවත් ගැටලුවකි. මේ නිසා සෞඛ්‍ය අංශයේ බෙහෙත් හා සෞඛ්‍ය උපකරණ පවා මෙරටට ගෙන්වීමට නොහැකිවීමෙන් රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට රෝහල්වල පෝලිම්වල, වාට්ටුවල දින සති මාස ගණනින් කල්ගෙවීමට සිදුවිය. තවද රෝගීන්ගේ ශල්‍යකර්ම දිනෙන් දින පස්සට ගියේ රෝගියා මරුතුරුළටම යවමිනි. නමුත් මේ වන විට නව වර්ෂයක් ආරම්භ වී ඇත. රටේ මිනිසුන් දැන් තමන්ගේ ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න මොහොතකට හෝ අමතක කර දමා සැරසෙන්නේ අලුත් අවුරුද්ද සැමරීමටයි. එහෙත් රටේ සෞඛ්‍ය ප්‍රශ්නය තවමත් දලුලා වැඩෙන්නේ උදාවූ අලුත් අවුරුද්දේද රටේ ඖෂධ හිඟයට නිසි පිළියම් නොමැති හෙයිනි. රට මෙතරම් ආර්ථික අගාධයකට වැටී ඇති යුගයක රටේ සෞඛ්‍ය වළපල්ලට යන්නේ දැයි සිතිය හැකි සාධාරණ සැකයක් මතුවෙමින් ඇත. ඒ මෙරට ඖෂධ හිඟයට මුවාවෙන් රටේ බලධාරීන් ඖෂධ ජාවාරමේ යෙදෙන සිද්ධීන් පිළිබඳ පසුගිය දිනෙක පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ පුබුදු ජයගොඩ මහතා කරන ලද හෙළිදරව්වත් සමඟය.

ටෙන්ඩරයට පිටින් පැන්න ඖෂධ ගෙන්වීම

පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට ඉන්දියාවට පිටත් ගොස් ඇති බවයි. ඔහුගේ චෝදනාව වූයේ අමාත්‍යවරයා ඉන්දියාවට යන විට අපේ රටේ මහජන මුදල් අවභාවිතාවක් සිදුවන බවත් රටේ රෝගීන් රෝහල් තුළ මියැදෙන බවත්ය. ඔහු මාධ්‍යයට දැක්වූ කරුණු අනුව ඔක්තෝබර් 25 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඖෂධ හදිසි මිලදී ගැනීමට ඉදිරිපත් කර ඇත. එහිදී ඔහු එයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ රටේ ඖෂධ හිඟයක් ඇති බවත් ඖෂධ සංස්ථාව හරහා මේ ඖෂධ මිලදී ගන්න සිදුවුවහොත් ප්‍රමාදයක් සිදුවන බවත් එම නිසා හදිසි මිලදී ගැනීම් සිදුකරන්න සිදුවෙන බවකි. තවද ඔහුගේ යෝජනාව වී ඇත්තේ ඉන්දීය ණය ආධාරවල ඩොලර් මිලියන එකසිය දාහතරයි දශම නමයක් ඉතිරි වී ඇති බවත් එයින් ඩොලර් මිලියන හැටඅටයි දශම පහක පමණක් ඖෂධ මිලදී ගෙන ඇති හෙයින් ඉතිරි මුදලින් ඖෂධ ගෙන්වාගත යුතු බවත්ය. ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රම හා අනෙකුත් ක්‍රම භාවිත කරමින් දින 45 ක් ඇතුළත ශ්‍රී ලංකාව වෙත මාස 3 ක කාලයක් සඳහා ප්‍රමාණවත් වන වෛද්‍ය සැපයුම් තොග ලබාදීම සඳහා ඉන්දියානු ආයතනයක් එකඟතාවක් පළකර ඇති බවය. ජයගොඩ මහතා කියන පරිදි එහි ප්‍රශ්නයක් ඇත. එනම් ටෙන්ඩර් කැඳවීමකින් තොරව තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව හා අවම මිල ගණන් ඉදිරිපත් කරන සමාගම කුමක්ද යන්න සොයා බැලීමකින් තොරව අදාළ සමාගම මගින් ඖෂධ මිලදී ගැනීම් සඳහා වන මූලික අනුමැතියක් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත. එමෙන්ම වෙනත් සමාගම් හරහාද ඖෂධ මිලදී ගැනීමට හැකි බව එහි සඳහන් කර ඇත.

සාමාන්‍යයෙන් ඖෂධ මිලදී ගැනීමක් කිරීමේදී ඒ ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි විය යුතුව තිබේ. එසේ ලියාපදිංචි වූ ගුණාත්මකභාවයක් ඇති ඖෂධ පමණක් ලංකාවට ගෙන්වනු ලැබේ. තවද ඖෂධ ගෙන්වීමේදී තරගකාරී මිල ගණන් කැඳවීමක් සිදුකරනු ලැබේ. එහිදී අඩුම මිල සහිත සමාගමට එම ටෙන්ඩරය ලබාදෙනු ඇති අතර ඒ සඳහා තාක්‍ෂණ ඇගයුම් කමිටුවක්ද මැදිහත්වෙනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ මේ කිසිවක් නොමැතිව මේ තීරණය කැබිනට් මණ්ඩලය සඳහා ඉදිරිපත් කිරීමයි. මෙම තීරණය ඉදිරිපත් කළ පසු නොවැම්බර් මස 08 වැනිදා මුදල් අමාත්‍යාංශය විසින් නිරීක්‍ෂණයෙන් පසු දන්වා ඇත්තේ මෙම ඖෂධ ගෙන්වීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට අනුමැතිය ලබාදී ඇති නිසා මේ සඳහා තවත් කමිටු දෙකක අනුමැතිය අවශ්‍ය බවය. මෙම මුදල් අමාත්‍යාංශ මගින් නිරීක්‍ෂණය කරන ලද පත්‍රිකාවට අත්සන් තබා ඇත්තේද ජනාධිපතිවරයා විසිනි. මෙහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට මෙම වංචාව වැටහීගොස් ඇති නිසා තවත් කමිටු දෙකක අනුමැතිය ලබාගත යුතු බවද සඳහන් කර තිබේ. මෙසේ තිබියදී නොවැම්බර් මස 14 වැනිදා කැබිනට් මණ්ඩලය මේ මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී ඇත. සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නැවත දෙසැම්බර් මස 05 වැනිදා නැවත වතාවක් කැබිනට් පත්‍රිකාවක් යොමුකරමින් කලින් ඉල්ලා සිටි ඖෂධ ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවද සඳහන් කර ඇත. තවද එයට අලුත් සමාගමක නමක්ද ඔහු ඇතුළත් කොට ඇත. එසේ ඇතුළත් කළ සමාගම ගැනද කිසිදු කරුණක් කැබිනට් පත්‍රිකාව තුළ සඳහන් කර නැත.

බිල්ලන් මවා හදිසි මිලදී ගැනීම

සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රාජ්‍ය සෞඛ්‍ය නියාමන අධිකාරියේ නැති බෙහෙත් වර්ග 28 ක් සඳහා කැබිනට් මණ්ඩලය නොමග යවා මේ බෙහෙත් වලට ඖෂධ නීතිගත සංස්ථාව අනුමැතිය ඇති බවද සාවi තොරතුරු වාර්තා කරමින් මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන ඇත. මෙම ඖෂධ වර්ග 28 න් ඖෂධ 12 ක්ම මෙරට තුළ නිෂ්පාදිත ඒවාය. එනිසා හදිසි හිඟයක් මෙරට තුළ ඇතිවීමට ඉඩ නොමැති බවද ජයගොඩ මහතා ප්‍රකාශ කරයි. මෙම ඖෂධ වලින් ඖෂධ 3 ක්ම මෙරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඒවාය. එසේ තිබියදී ඇමැතිවරයා විසින් මෙම ඖෂධ හදිසියේ මිලදී ගැනීමට සූදානම් වූයේ කුමකටද යන්න ඔහු ප්‍රශ්න කරයි. කැබිනට් පත්‍රිකාවේ 2.1 වගන්තියේ සඳහන් පරිදි සෞඛ්‍ය ඇමැති ප්‍රකාශ කර සිටින්නේ 2022 ඔක්තෝබර් 17 වන විට ඖෂධ වර්ග 151 ක් ශල්‍ය වෛද්‍ය උපකරණ සහ පරිභෝජන භාණ්ඩ 5278 ක් විකිරණශීලී උපකරණ 18 ක් නිත්‍ය සහ අනුපූරක රසායනාගාර උපකරණ 850 ක තොග ශුන්‍ය මට්ටමේ තිබෙන බවත් ඒනිසා රෝගීන් මියයන බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. එහෙත් මීට පෙර විවිධ අංශ රටේ ඖෂධ හිඟය ගැන හෙළිදරව් කළ විට මෙම අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘කොරහෙ කිඹුල්ලුන් දකින්න එපා’ මෙරට තුළ ඖෂධ හිඟයක් නොමැති බවත්ය. මේවන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීමකට ගොස් ඇත. ප්‍රශ්නය හදිසි මිලදී ගැනීමකට යන්නට පෙර මෙම තොග අවසන් වීමටත් පෙර ටෙන්ඩර් කැඳවීමක් නොකළේ ඇයිද යන්නය. මෙසේ ගෙන්වන ලද කිසිදු ඖෂධයක් සායනික පරීක්‍ෂණයකටද ලක්කොට නැත.

ඖෂධ මුවාවෙන් අල්ලස් ගැහිල්ලක්

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා හෝටල් කාමරය වෙන් කිරීමට සඳහා චෙන්නායිවල තිබෙන තරු පහේ හෝටල් වල කාමර වෙන්කර ඇති බවද එම කාමරයක් සඳහා එක් දිනකට ඩොලර් 400 ක් ගෙවා ඇත. මේ වන විට ඉන්දියන් රුපියල් ලක්‍ෂයක් එනම් ලංකාවේ රුපියල් ලක්‍ෂ හතරහමාරක් පමණ කාමරයට පමණක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇත. තවද ආහාර පාන සඳහාද ඊට අමතරව මුදල් වැය කිරීමට සිදුවෙන බව ජයගොඩ මහතා සඳහන් කරයි. ඔහුට මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ කෞෂික් සමාගමයි. මෙම සිද්ධිය අල්ලස් ගැනීමක්ද යන්න සැක සහිතය.

ඖෂධ ගෙන්වීමට ගැන (MCPA‍) පරීක්‍ෂණයක් රජයෙන් ඉල්ලයි

දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර නිසි තත්ත්වය පරීක්‍ෂණයට ලක් නොකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලබා ඉන්දියානු ඖෂධ ගැනීමට දරන ප්‍රයත්නයක ගැන විශේෂ පරීක්‍ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා විශේෂ ලිපියක් පසුගිය දිනෙක ඉදිරිපත් කර ඇත.

එම ලිපියෙහි සඳහන් වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා ඉවත් කොට නව පරිපාලනයක් බිහිකිරීම යන අරමුණ තේමාකොටගෙනය. මෙම ලිපියෙන් හෙළිදරව් වන කරුණුවලට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ජනාධිපතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇත. තවද ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් පවා නොතකමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ නිලධාරීන් හා ඖෂධ නියාමන අධිකාරියේ ඉහළම පෙළේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව සාක්‍ෂි සහිතව රටේ ජනමාධ්‍ය වාර්තා කර ඇත. එවන් තත්ත්වයක් මත රටේ මහජනතාවගේ ජීවිත තත්ත්වයෙන් බාල ඖෂධ ලබාදීම හරහා ගොදුරු කර ගැනීමට දරන නින්දිත උත්සාහය පිළිකුළෙන් යුතුව බැහැර කරන අතර රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකදී සාමාන්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදයන් වෙත යොමු වීම වෙනුවට දිගින් දිගටම හදිසි මිලදී ගැනීම් ද නිසි තත්ත්ව පරීක්‍ෂණවලින් තොරව අතරමැදියන් හරහා ඖෂධ මිලදී ගැනීමේ ජාවාරම මේ අන්දමට සිදුවීම මරණ තුනක් ඇති රටක මිනිසුන්ගේ ජීවිත සමඟ නින්දිත ලෙස සෙල්ලම් කිරීමක් ලෙස ඔවුන් පෙන්වා දෙයි. මේ වනවිට දේශපාලනඥයන් රටේ ජනතාවගේ ප්‍රශ්න,

ගැටලුවලට ප්‍රායෝගික විසඳුමක් දීමට අසමත් වී ඇති අතර ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා සහනයක් දීමට ඔවුන්ට තවමත් වුවමනාවක් නොමැත. රට මෙතරම් අරාජිකව තිබියදීත් රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන දේශපාලනඥයින් කොමිස්, පගා ලබාගනිමින් එයින්ද නොනැවතී ඔවුන් ලෙඩ ඇඳක මරණාසන්නව සිටින රෝගියාගේ බෙහෙත් පෙත්තෙන්ද ගසා කන තත්ත්වයට පත්ව ඇත. තවද මේවා හෙළිකරන විට ඔවුන් තමන්ගේ නොහැකියාවන් හා අසමත්කම් වලට එරෙහිව කතා කරන නිලධාරීන් පවා මර්දනය කිරීමට ක්‍රියාකරති. රටේ තත්ත්වය එසේය. එසේ ක්‍රියාකරන දේශපාලනඥයන්ට දඬුවම් කිරීමට අපි ජනතා අධිකරණයට භාර කරන්නෙමු.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment