කොරියානු භාෂා උපදේශිකාවගේ ශෝකාන්තය

1051

අපේ අක්කා ඇයගේ සිසුන්ට උපදේශිකාවක් විතරක් නෙවෙයි දෙවැනි අම්මා වුණා….
– සොයුරිය හැඬූ කඳුළින් කියයි

කිසිවකු නොසිතූ මොහොතක මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ප්‍රවීණ කොරියානු භාෂා උපදේශකවරියගේ අකල් වියෝව කණ වැකුණු ගෝනහේන අවට ප්‍රදේශයේ බාල, තරුණ, මහළු සැමදෙනා කතා බහ කළේ තම සිතේ නැගුණු දැඩි වේදනාවකිනි.

මෙසේ සදහටම මෙලොවින් සමුගත්තේ කඩවත, රම්මුතුගල, ගෝනහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රවීණ කොරියානු භාෂා උපදේශකවරියක් වන ගීතානි මානෙල් ප්‍රියන්ති බණ්ඩාර නමැති හතළිස් හත් හැවිරිදි එක් දරු මවකි.

මෙම අනතුරින් එම ජීප් රථය පැදවූ රියැදුරාටද සුළු තුවාල සිදුවී තිබෙන අතර ඔහු මෙම කොරියානු භාෂා උපදේශකවරියගෙන් කොරියානු භාෂාව උගත් ශිෂ්‍යයෙක්ද වේ.

මියගිය කොරියානු භාෂා උපදේශිකා ප්‍රියන්ති බණ්ඩාර මහත්මිය ඉඹුල්ගොඩ රාජසිංහ මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වීමෙන් පසු 1992 වසරේදී පාසල් ජීවිතයට සමුදුන්නාය. ඇයට සරසවි වරම් හිමිව තිබුණත් සරසවි අධ්‍යාපනයට නොගොස් 1995 වර්ෂයේදී රජය මගින් කොරියානු රටේ රැකියාවලට තරුණ තරුණයන් යැවීමේදී ඇයටද එම අවස්ථාව හිමි වූවාය. ඒ අනුව 1995 දී ඇය කොරියාවට ගොස් කොරියන් භාෂාව හදාරමින් එරටේ විවිධ ආයතනවල රැකියාව කරමින් වසර 15 ක පමණ කාලයක් සේවය කර 2008 වසරේදී නැවත මව්බිමට පැමිණියාය.

කොරියානු භාෂා උපදේශිකාවගේ ශෝකාන්තය
උපන් දින සාදයට එක්වූ අවස්ථාවක්

ඇය කොරියානු රටේ ගතකළ කාලය තුළ එරටේදී දැනහඳුනා ගත් මාතලේ ගාමිණී බණ්ඩාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ දිවියට පා තැබුවාය. මේ වනවිට එම යුවළට මෙතුලි මෙතුන්සා බණ්ඩාර නමින් වයස අවුරුදු හයක දියණියක සිටින අතර එම දියණිය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපන ලබන්නීය. මෙම කාල සීමාව තුළ ඇය කොරියානු විශ්වවිද්‍යාලයකින් කොරියානු භාෂාව පිළිබඳව උපාධියක්ද ලබා ගත්තාය. මෙසේ කොරියානු භාෂාව පිළිබඳව උපාධියක් ලබා මෙරටට පැමිණි ඇය 2010 වසරේදී රජයේ විදේශ සේවා කාර්යන්ශයේ කොරියනු භාෂා උපදේශිකාවක් ලෙස පත්වීම් ලබා මාතර දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල සිසු දරුවන්ට කොරියානු භාෂාව පිළිබඳව ඉගැන්වීමේ නියලුණාය.

තවද ඇයගෙන් කොරියානු භාෂාව ඉගෙනගෙන කොරියාවට යන තරුණ තරුණියන්ට මුදල් අඩුපාඩු ඇති අවස්ථාවලදී ඇය විසින් තමාගේ මුදල් ලබාදී තිබෙන අතර කොරියාවේ රැකියාව කරන තරුණ තරුණියින් සිය ආයතන සමග ඇතිකරගන්නා ගැටළුවලදී ඇය මැදිහත්ව එම ගැටලු විසඳා දීමට කටයුතු කර ඇති අවස්ථාද එමටය.

ඇයගේ අභාවය ගැන ශෝකවන ඇගේ සොයුරිය වන ඉන්දියන් ගුවන්සේවයේ සේවය කරන මාරඹගේ කුමුදුනී සඳමාලි (45) මහත්මිය මෙසේ අදහස් පළකළාය.

අපේ තාත්තා අපි කුඩා කාලයේ මිය ගියා. අක්කාගේ උත්සාහයෙන් තමයි ඇය මේ තත්ත්වයට ආවේ. එයා කොරියානු විශ්ව විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත්තා. අක්කා ධෙර්යවත් කාන්තාවක්. අක්කා කොරියානු භාෂා උපදේශිකාවක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ කොරියානු භාෂාව ඉගැන්වීමට කටයුතු කළා. එම දරුවන්ගේ මනස හඳුනාගෙන දකුණේ පරිසරයට නැඹුරුවෙමින් සිසුදරුවන්ට මැනවින් කොරියානු භාෂාව ඉගැන්වීම් කටයුතු කළා. ඒ නිසාම අක්කා එම ප්‍රදේශයේ සිසුන් අතර ජනප්‍රිය වුණා. ඇය ඇගේ සිසුන්ට උපදේශිකාවක් විතරක් නොවෙයි දෙවෙනි අම්මා ලෙස ආදරයට පත්වුණා .

අක්කා මාතර නැවතිලයි ඉගැන්වීමේ කටයුතු කළේ. නමුත් අක්කාගේ දුව ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලකට ඇතුළු කළ නිසා. අක්කා ගෝනහේනේ නිවසේ ඉඳලා මාතර ගියා. සිද්ධිය වු දින (23 දා) අළුයම 5.00 ට පමණ අක්කා මාතර යන්න පිටත් වුණා. එදින සවස ඉගෙනීම් කටයුතු ඉවර කරලා අක්කා බස්එකේ එන්නයි හිටියේ. අක්කගෙන් ඉගෙනගත්ත ගෝලයෙක් තමා රියදුරු විදිහට වැඩකළේ. අක්කට මහන්සි හින්දා රියදුරු මල්ලී කිව්වා ජීප් එකේ මන් ඇරලවන්නම් කියලා. ඒ අනුව අක්කා ජීප් එකේ ආවා. රාත්‍රී 9.00 ට විතර අක්කාගේ දුව අක්කාගේ දුරකතනයට කෝල් කළා. නමුත් අක්කා ආන්සර් කළේ නැහැ. ඒ සමගම රියදුරු කිව්වා.. අම්මා නිදි අම්මාට කියන්නම් දුවට කතා කරන්න කියලා. අපි විනාඩි දහයෙන් ගෙදර කියලත් රියදුරු මල්ලී කිව්වා. ටික වේලාවකින් අනතුර ගැන අපිට ආරංචි වුණා.

අකුරැස්සේ තරිදු දමිත් (20) මහතා :

මම මැඩම්ගෙන් වසර හතරක් කොරියානු භාෂාව ඉගෙන ගත්තා. මැඩම් මනසින් වැටුණු දරුවන් ගොඩගත්තා. ඒ නිසා අපේ දෙවැනි අම්මා කියලයි අපි මැඩම්ට කිව්වේ. මැඩම්ගේ අභාවය කොරියන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට දැරිය නොහැකි පාඩුවක්.

ඇගේ අවසන් කකටයුතු අද (26) පස්වරුවේ ගෝනහේන රැප්පාගොඩ පොදු සුසාන භුමියේදී සිදුකෙරේ.

බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව් ඩී එම් විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment