කොරියාවේ රැකියා අහිමිවීමේ බරපතළ තත්ත්වයක් මතුවෙලා

286

එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

කොරියාවේ රැකියා සඳහා යෑමට සුදුසුකම් සම්පූර්ණ කර ඇති මෙරට ශ්‍රමිකයන්ට එහි යෑම සඳහා ඇති බාධා ඉවත් කිරීමට අවශ්‍ය බලධාරීන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමි වීමේ බරපතළ තත්ත්වයක් මතුව ඇති බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේය.

හඳුන්නෙත්ති මහතා පසුගිය (23)දා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද කීවේය.

විදේශ රැකියාවලට යන අපේ කාන්තාවන්ට විඳින්නට සිදුවී තිබෙන අතවර පිළිබඳව වාර්තා දිගින් දිගටම මාධ්‍යවල පළවෙනවා. විශේෂයෙන් ඕමානයේ තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටින පරිපාලන නිලධාරී ඊ. කුෂාන් කියන පුද්ගලයා පිළිබඳ වාර්තා කළ මාධ්‍යවලටත් දැන් එය අමතක වී තිබීම කනගාටුවක්. මේ වසරේ ජනවාරි 28 වැනිදා එවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ජනරාල් මහින්ද හතුරුසිංහ මේ පුද්ගලයා පිළිබඳව ඇමැතිවරයාත් දැනුවත් කිරීමෙන් පසුව ආපසු කැඳවීමේ ලිපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් යැව්වා. “මෙම ලිපිය ලද පසු දින 14ක් ඇතුළත වහාම කැඳවන්න” යනුවෙන් සඳහන් කර තිබුණා. මේ පුද්ගලයාගේ කටයුතු පිළිබඳව ශ්‍රමිකයින්ගෙන් ලැබී තිබුණු පැමිණිලි, අභ්‍යන්තර විගණන අංශයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා අනුව මෙම නියෝගය කර තිබුණා.

නමුත් දින 14ක් ඇතුළත කුෂාන් නැමැත්තා ආපසු පැමිණියේ නැහැ. ඉන් අනතුරුවත් ඔහු විසින් දිගින් දිගටම සිදු කළ අතවර සිදුවීම් සම්බන්ධයෙන්, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කර නොවැම්බර් 11දා ලිපියක් යවා තිබුණා.

මෙවැනි පුද්ගලයෝ සමහර විට දේශපාලන බලය, රාජ්‍ය බලය අපේ රටේ අහිංසක කාන්තාවන්ට විරුද්ධව අඩම්තේට්ටම් කිරීමට යොදා ගන්නවා. ඔවුන් වැඩකරන්නේ ජනතාවගේ අයිතිකාරයන් වගේ; ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන සේවකයන් හැටියට නොවෙයි. හොඳ නිලධාරීන් ටික දෙනෙක් ඉන්න අතර මැදපෙරදිග ගෘහසේවයට ගිය කාන්තාවන් හාම්පුතාගෙන් අතවරයට ලක්වෙලා, තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසවලට ආවාට පස්සේ නිලධාරීන්ගෙන් අතවරවලට ලක්වෙනවා නම්, මේ රට මොකක්ද? ඔවුන් ගේන ඩොලර් ටික දිහා විතරක් බලාගෙන ඉන්නවා. ඔවුන්ට රැකවරණයක්, ආරක්ෂාවක් ලබාදෙන්නේ නැහැ.

මෙවැනි ඛේදවාඡ මාධ්‍යවලින් වාර්තා කරන තුරු ආණ්ඩුවත් බලාගෙන ඉන්නවා. මම කියූ කාරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාදුන් පසුවයි මේ නිලධාරියාගේ වැඩ තහනම් කරන්නේ. මේක එක සිද්ධියක් හැටියට අපි සලකන්නේ නැහැ. මෙවැනි කාන්තාවන් මුහුණ දෙන අපරාධවල එක උදාහරණයක් විතරයි. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ගාස්තු අයකරත්, රක්ෂණ ආවරණය සලසා තිබුණත්, අදාළ අවස්ථාවල ප්‍රතිලාභ ලබාදෙන්නේ නැහැ. ඔවුන්ගේ බදු මුදල්වලින් තානාපති නිලධාරීන්ට වැටුප් ලබාදෙනවා. විදේශගත ශ්‍රමිකයන් තානාපතිවරුන්ගේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ සේවකයින් නොවෙයි. ඒ බව අපි අවධාරණය කරනවා. සමහර නිලධාරීන් හිතාගෙන ඉන්නේ විදේශ රැකියා නියුක්තිකයන් කියන්නේ ඒ අයගේ සේවකයන් හැටියටයි. තානාපති කාර්යාලය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශගත ශ්‍රමිකයන්ට සේවා සලසා දිය යුතුයි. ඒ හැර මේ අයගේ බදු මුදල්වලින් පඩි අරගෙන නිකම් ඉන්න නොවන බව අවධාරණය කළ යුතුයි.

විදේශ රැකියා නියුක්තිකයන් ආයෝජනවලට, ව්‍යාපාරවලට සල්ලි එවන්නේ නැහැ; එවන්නේ ගෙදර පරිභෝජනයට පමණයි. විදේශ විනිමය ඉපයූවත් සංචාරකයින්ට සේවා සැපයීමට පිරිවැයක් දරනවා. නමුත් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් උපයන්නේ පිරිවැයක් දරන්නේ නැතිවයි. නමුත් ඔවුන්ගේ විදේශ විනිමය ඉපයීම්වලට කිසිම සහනයක් නැහැ. බැංකුවලදී, නිවාසයක් සෑදීමට යාමේදී, දරුවා පාසලට ඇතුළත් කිරීමට යාමේදී වගේ අවස්ථාවල විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. තානාපති සේවාව බොහෝ විට අකර්මන්‍ය වෙනවා. සුරක්ෂා නිවාස නැත්නම් කාන්තාවන්ට නතර වී ඉන්න තැනක් නැහැ. විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව කිසිදු විධිමත් දත්ත පද්ධතියක් පවත්වා නොගැනීමෙන් අසරණ වූවන් විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිසට පිළිසරණ වෙන්න තිබෙන එකම තැන තානාපති කාර්යාලයයි. එතන තිබෙන සුරක්ෂා නිවාසය වහනවා නම්,මේශ්‍රමිකයන් ගැන නිශ්චිත දත්ත නැත්නම් පවතින අනාරක්ෂිතභාවය විශාලයි.

එතෙර අපි සංවිධානයේ සෞදි අරාබියේ නියෝජිත රසීෆ් ඩීන් මහතා

සෞදි අරාබිය තුළත් ගෘහ සේවිකාවන් ලෙස සහ සුළු රැකියාවලට එන අයට විශාල ගැටලු‍ ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩුව මේ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ඉල්ලු‍වත් ඩොලර් යවා ගන්න තිබුණු පහසුකම් පවා අහිමි කර තිබෙනවා. මීට පෙර මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකුවල නියෝජිතයෝ සෞදි අරාබියේ රැඳී සිටියා. අපේ ශ්‍රමිකයන්ගේ ඩොලර් රටට යවන්න අවශ්‍ය මූලික කටයුතු ඔවුන් විසින් ඉටුකර දුන්නා. නමුත් දැන් ඒ නියෝජිතයන් ලංකාවට ආපසු ගෙන්වාගෙන තිබෙනවා. මේ නිසා ශ්‍රමිකයන් යවන මුදල් ලංකාවේ ඥාතීන්ට නොලැබීම ගැන සොයා බැලීමටවත් කෙනෙක් නැහැ. ඒ වගේම විදේශ රැකියා සඳහා විශාල පිරිසක් පිටත්කර යැවීමට ආණ්ඩුව උත්සාහ කළත් සෞදි අරාබිය සම්බන්ධයෙන් ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නැහැ.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment