කොරෝනාවට ගොදුරුව අපෙන් සමුගත් මාධ්‍ය මිතුරා සුරේෂ්

576

සුරේෂ් කොවිඞ් රෝගයට ගොදුරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ දිනයේදී මම ඔහුට දුරකථනයෙන් කතා කළෙමි. ටිකක් අමරු වෙලා හොස්පිටල් ඇඞ්මිට් වුණා නෝමන්….. යැයි ඔහු පිළිතුරු දුන්නේය. ඉන්පසු දින කිහිපයක් ඇමතුම් ගත්ත ද ඔහුගේ දුරකථනය නාද වූවේ නැත. ඊයේ (18 දා) මට අසන්නට ලැබුණේ ඔහු මියගොස් ඇති බවය.

 කොවිඞ් නිසා අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (17 දා) රාති‍්‍රයේ ඔහු මියගොස් තිබිණි.

 සුරේෂ් පෙරේරාගේත් මගේත් මාධ්‍ය මිතුදම ආරම්භ වූයේ මීට වසර හතළිහකට පමණ පෙර ලේක්හවුස් ආයතනයේදීය. එවකට මා ලේක්හවුස් සිංහල පුවත්පත්හි සේවය කරද්දී ඔහු ඬේලිනිව්ස් ඉංගී‍්‍රසි පුවත්පතේ සේවය කළේය.

 ඉන්පසු උපාලි පුවත්පත් සමාගම ආරම්භ වී දිවයින සහ දි අයිලන්ඞ් පුවත්පත් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග නැවත අප දෙදෙනාට එකට සේවය කිරීමට හැකි විය.

 දි අයිලන්ඞ් පුවත්පතට එක්වූ සුරේෂ් මියයන මොහොත දක්වාම එහි සේවය කළේය.

 දි අයිලන්ඞ් පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස ද ඉන්පසු සන්ඬේ අයිලන්ඞ් හි ප‍්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුතු කළ ඔහු දක්ෂ ප‍්‍රවෘත්ති වාර්තාකරුවකු, විශේෂාංග මාධ්‍යවේදියකු පමණක් නොව දක්ෂ සංස්කාරකවරයෙක් ද ලෙස ඉංගී‍්‍රසි භාෂාවෙන් පෑන හැසිරවීය.

 පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙසින් ද කටයුතු කළ ඔහු හිටපු ජනාධිපතිවරයෙක් වූ ආර්. පේ‍්‍රමදාස මහතාගේ පාලන කාලයේ ‘අයිලන්ඞ්’ පුවත්පතට ජනාධිපතිවරයාගේ ප‍්‍රවෘත්ති ආවරණය කළේය. පේ‍්‍රමදාස මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී අගමැතිවරයාගේ ප‍්‍රවෘත්ති ආවරණය කිරීමේ වගකීම ද එවකට දි අයිලන්ඞ් පුවත්පතේ ් සුරේෂ්ට පැවරුණේය.

 පාර්ලිමේන්තු වාර්තාකරණයේදී එවකට ඔහු සමග දි අයිලන්ඞ් පුවත්පතේ සිටි ප‍්‍රසාද් ගුණවර්ධන ද කටයුතු කළේය.

 සහෝදර දිවයින පුවත්පතින් එවකට පාර්ලිමේන්තු වාර්තාකරණයේ නිරත වූයේ වත්මන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දයා ලංකාපුර සහ නැසීගිය සරත් අබේගුණවර්ධන යන මා හිතමිත‍්‍රයින්ය. සුරේෂ් සමග දි අයිලන්ඞ් පුවත්පතට ලිපි සැපයූ ජෙහාන් හනීෆ් ද මගේ මතකයට නැෙඟ්.

 එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ලෙස සිටි රන්ජන් විජේරත්න මහතා ද සුරේෂ්ගේ හිතවත් දේශපාලනඥයෙක් විය.

 දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වූ සුරේෂ් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ද දිගුකාලීන මාධ්‍ය මිත‍්‍රයෙකි.

 සුරේෂ් තම මිතුරන් අතර දුක්ගන්නාරාල කෙනෙක් ද විය. මිතුරෙකුට කරදරයක් වූ විට ඊට යම් පිහිටක් විය හැකි නම් නොපැකිළිව ඉදිරිපත්ව පිහිට විය. එලෙස ඔහු පිහිට වූ බොහෝ අය සිටිති. එවන් අවස්ථාවල තිබේ නම් තම මුදල් පසුම්බිය ද නොමසුරුව දිග හැරියේය. ඇතමකුට ගේ දොර හදාගන්නත් ඔහු උදව් කළ වග අපි දනිමු.

 කොවිඞ් රෝගය වැළඳී රෝහල්ගත කරන තුරු සුරේෂ් සේවයට වාර්තා කරමින් තම රාජකාරි නොපිරිහෙලා ඉටු කළේය. ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘවරයා ලෙස සහ නියෝජ්‍ය කර්තෘවරයකු ද ලෙස කටයුතු කළ ඔහු උදෑසනම කාර්යාලය වෙත පැමිණ දවසේ රාජකාරි ආරම්භ කිරිම පුරුද්දක් කරගෙන තිබිණි. ඔහු මිය යෑමට සතියකට පෙර ‘කොවිඞ්’ ගැන විශේෂාංග ලිපියක් ද ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයට ලියා තිබිණි.

 නෝමන්…. උඹලා ප‍්‍රවේශම් වෙයල්ලා…. මේක මහා භයානක වෛරසයක්. එසේ මට උපදෙස් දුන් සුරේෂ් කොරෝනාවට ගොදුරුව මෙතරම් ඉක්මනින් ජීවිතයෙන් සමුගනු ඇතැයි අප කිසිවකුත් සිතුවේ නැත.

 සුරේෂ් ඔබගේ දිගුකාලීන මාධ්‍ය මිතුරෙක් ලෙස මම අයිලන්ඞ් පුවත්පත සහ දිවයින පුවත්පතේ ඔබගේ සහෝදර මාධ්‍යවේදීන් සියලූ දෙනා ද සමග එක්ව ඔබට නිවන්සුව පතමු.

 * නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment