කොරෝනාවෙන් බලවත්වූ ආර්ථික අර්බුදය

239

මෙය කොරෝනා විපතින් ජනයා හොඳටම පීඩාවට පත්ව සිටින මොහොතකි. දුප්පත් ජනයා බලවත්ම පීඩාවට පත්ව ඇති අතර වාර්තා වන පුවත් අනුව කොරෝනා වැළඳී මිය යාමට සිදුවනු ඇතිද යන භීතිය ද බොහෝ දෙනෙක්ට තිබේ. මීට අමතරව වසංගතය පාලනය කර ගැනීමට රට වැසීම හමුවේ එදිනෙදා ආදායම් උපයන ජනයා බලවත් අසරණ තත්ත්වයට පත්ව ඇත. රජයෙන් ද ඒ අයට නිසි සහන සලසන වැඩපිළිවෙළක් තිබෙන බවක් පෙනෙන්නට නැත. එලෙස එදිනෙදා ආදායම් උපයන අය පීඩාවට පත්ව සිටියත් මේ නිරෝධායන ඇඳිරි නීතිය ලොකු මිනිස්සුන්ට නම් තම වැඩ කර ගැනීමට බාධාවක් වී ඇති බවක් නොපෙනේ. පාරේ සාමාන්‍ය දිනයක මෙන් බොහෝ වාහන ධාවනය වනු පෙනේ. සුළු වෙළෙන්දෙකුට වෙළෙඳාමක් කර ගැනීමට නොහැකි වුවත් සුපිරි වෙළෙඳසල් නම් ඔන්ලයින් වෙළෙඳාම දිගටම කරගෙන යයි. පවතින දැඩි කොරෝනා අවදානම හමුවේ වෛද්‍ය අංශ නිර්දේශ මත රජය විසින් රට වැසීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම ගැන අපට එකඟ විය හැකිය. එහෙත් එය ක‍්‍රියාත්මක වන ආකාරය නම් ගැටලූ සහගතය. ඒ නිසා එය ක‍්‍රියාත්මක වන දින ගණන දීර්ඝ කළත් එහි ප‍්‍රතිපලදායි බව අඩු වී තිබේ. අපට අවශ්‍ය වන්නේ පවතින දැඩි කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ දිනපතා සිදුවන මරණ ගණන අවම කරගෙන ආසාදිතයින් වාර්තා වීම ක‍්‍රමානුකුලව අඩු කර ගැනීමට ය. රට ඉක්මනින් විවෘත කරගෙන ආර්ථික කටයුතු පණ ගන්වා ගත හැක්කේ එවිටය.

මේ පසුබිම තුළ මේ මොහොතේ අප රට මුහුණ දී සිටින ප‍්‍රධානම අභියෝග දෙක වන්නේ රට පුරා පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය ඉක්මණින් පාලනය කර ගැනීම සහ උග‍්‍ර විදේශ විනිමය අර්බුදයට විසඳුම් ලබාගැනීමයි. ඩොලර් හිඟය ලෙස කවුරුත් කතා කරන්නේ මේ බලවත් වී ඇති විනිමය අර්බුදය පිළිබඳවය. එසේම විදේශ මුදල් පමණක් නොව රජයේ බදු ආදායම් ද හොඳටම පහත වැටී ඇත. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (07* පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව කරමින් ද මේ ගැන කීවේය. එනම් මේ වනවිට රජයට රුපියල් බිලියන 1500 ක පමණ ආදායමක් අහිමි වී ඇතැයි මුදල් ඇමැතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය. ආදායමට වඩා වියදම් වැඩි වීම දශක ගණනක සිට මෙරට සිදුවන අතර කොවිඞ් ව්‍යසනය හේතුවෙන් එය තවත් වර්ධනය වී ඇතැයිද එසේම මේ හේතුවෙන් ආණ්ඩුව අනවශ්‍ය වියදම් අඩු කිරීමේ අවංක උත්සාහයක නිරතව සිටින බව කියා සිටි ඇමැතිවරයා රේගුව, සුරාබදු සංචාරක වැනි ආයතන මගින් ලැබෙන ආදායම් විශාල වශයෙන් අඩුවී ඇතැයිද පැවසීය. මේ තත්ත්වය නිසා විදේශ ආනයන දැඩි ලෙස සීමා කිරීමටත්, එමගින් විදේශ විනිමය ඉතිරි කරමින් වෙළෙඳ පරතරය අඩු මට්ටමකට ගෙනැවිත් ඇතැයිද බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් කියා තිබුණි.

මේ නිසා ඩොලර් හිඟයක් පමණක් නොව ආණ්ඩුවට බලවත් මුදල් හිඟයක් ද තිබේ. කොරෝනාවට කලින්ම ආණ්ඩුව වැට් බදු අඩුකරගෙන විශාල බදු අහිමි කර ගැනීමක් ද කළේය. ඊට පසු සීනි බදු ශත 25 දක්වා අඩු කිරීම නිසා රු.බිලියන 15.9 ක පමණ තවත් බදු ආදායම් හානියක් ද රජය සිදු කර ගත්තේය. අන්තිමට සීනි කිලෝව රු.210 ට රු.220 දක්වා ඉහළ ගියේය. මේ අනුව අපට පෙනෙන්නේ මේ සීනි බද්ද අඩු කිරීම ඇතුළු රජයේ ඇතැම් තීරණ නිසා රජයට බදු ආදායම් අහිමි වීමට අමතරව ජනයාට ද කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබුණු බවයි. සීනි ප‍්‍රශ්නයේ දී නම් පෙනෙන්නේ සීනි මිල අඩු වීම කෙසේ වෙතත් සීනි වෙළෙඳුන් විසින් සීනි මිල කෘත‍්‍රීම ලෙස වැඩි කිරීම මගින් මේ වසංගත සමයේ ජනයා සැලකිය යුතු කාලයක් සූරාකෑමට ද ලක් කළ බවයි. වැඬේ වැරදුණු පසු දැන් ඔවුන් රජයේ සහතික මිල ගණන්වලට සීනි අලෙවි කිරීමට එකඟ වී තිබෙනවා විය හැකිය. ඒ නිසා ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ නැති ද? ඔවුන්ගේ එකඟතාව මත පමණක් ප‍්‍රශ්නය විසඳා ගන්නවා ද? මේ සීනි තොග ගබඩා වටලා කළේ මාධ්‍ය සංදර්ශනයක් ද? යන ප‍්‍රශ්න අපට මතුව තිබේ. දැන් සීනි මිල කිලෝවක් රු.125 සහ රු.128 පමණ දක්වා අඩු කර ගැනීමට රජය සමත්ව ඇති නමුත් මේවා, සීනි ශත 25 ට සීනි බද්ද අඩු කළ පසු විශාල වශයෙන් මෙරටට ගෙන්වා සඟවා තැබූ සීනි බව අප අමතක නොකළ යුතුය. එවකට සීනි කිලෝවක් රු.85 ලෙස උපරිම මිල නියම කර ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ද අපට මතකය. අද රු.125 ට රජය විසින් උපරිම මිල නියම කර ඇත්තේ එම සීනි සම්බන්ධයෙන්ම නම් ඒ අතර රු. 40 ක මිල වෙනසක් තිබේ. ඒ නිසා දැන් සීනි තොග වටලා ඒවා විකිණීමට සතොසට දෙන විට එම ආනයනකරුවන්ට සීනි කිලෝවක් සඳහා කොපමණ මුදලක් ගෙවන්නේ ද යන ප‍්‍රශ්නය ද තිබේ.

දැනට රජය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ ලබන වසරේ (2022* අයවැය සකස් කිරීමේ දී ද රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. මේ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් නිකුත් කළ ලබන වසර (2022* සදහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට උපදෙස් ඇතුළත් ජාතික අයවැය චක‍්‍රලේඛයේ සඳහන් කරුණුවලින් ද මේ බව පැහැදිලි වේ. ඒ අනුව එහි මෙසේ සඳහන්ය.

‘සෞභග්‍යයේ දැක්මෙහි සඳහන් අරමුණු ළඟා කර ගැනීමේ දීර්ඝ ගමනට ශක්තිමත් පදනමක් ඇති කරමින් 2021 වර්ෂයේ දී අයවැය සකස් කරන ලදී. එනමුත් 2021 මුල් කාර්තුවේ දී කොවිඞ් -19 වසංගත තත්ත්වය නැවත හිස එසවීම නිසා, අපේක්ෂිත ආදායම් ළගා කර ගැනීමට බාධා ඇති වූ අතර ව්‍යසනය නිසා ඇති වූ අමතර වියදම් හේතුවෙන් සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වියදම් අනපේක්ෂිත පරිදි ඉහළ ගිය හෙයින් මෙම වසරේ අයවැය කළමනාකරණය අභියෝගාත්මක වී ඇත. රටේ බහුතර ජනතාවක් කඩිනමින් එන්නත්කරණය කර මෙම තත්ත්වය හැකිතාක් ඉක්මනින් යථාවත් කරගෙන 2022 වර්ෂය සඳහා නව ප‍්‍රවේශයකින් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව වේ.’’

මේ අනුව අනපේක්ෂිත ලෙස කොරෝනා වසංගත තත්ත්වය පැතිර යාම නිසා අප මුහුණ දී සිටි ආර්ථික අර්බුදය බලවත් වී ලබන වර්ෂය (2022* සඳහා ද වියදම් සීමා කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බව පැහැදිලි වේ. ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලූ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට 2022 වසරේ අයවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් උපදෙස් දී ඇත්තේ සියලූ වියදම් තාර්කිකව හා විචක්ෂණශීලීව සමාලෝචනය කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය හා ඵලදායි වියදම් පමණක් ඇස්තමේන්තුවලට ඇතුළත් කළ යුතු බවයි. වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව ඇති රාජ්‍ය ආදායම යථා තත්වයට පත් වන්නේ මන්දගාමීව බවත් එසේම ඉහළ අගයක පවතින රාජ්‍ය ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 95 දක්වා අඩු කර ගැනීමට අපේක්ෂා කරන බවත් මේ නිසා 2022 වසරේ රාජ්‍ය මුල්‍ය අවකාශය පටු වනු ඇති බව සලකා 2022 වසරේ වියදම් ඇස්තමේන්තු සකස් කිරීම කළ යුතු බවට ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සියලූ අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ. මේ නිසා වියදම් කළමනාකරණය කර ගනිමින් අනවශ්‍ය වියදම් අඩු කරගැනීමට මෙන්ම නව ආදායම් ප‍්‍රභවයන් කරා යොමු වීමට ද රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බවට මුදල් අමාත්‍යංශයෙන් උපදෙස් ලැබී තිබේ. මේ අතර වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය ව්‍යාපාර අයවැය මගින් ප‍්‍රතිපාදන ලබා නොගෙන ස්වකීය මෙහෙයුම් වියදම් ආවරණය කරගැනීමේ විකල්ප ක‍්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. මෙහිදී රජය විසින් සම්පත් වෙන් කිරීමේ දී අනුගමනය කරන ප‍්‍රමුඛ අංශ කිහිපයක් හඳුනාගෙන තිබේ. එහි ද අංක එකටම තිබෙන්නේ වසංගත තත්ත්වය පාලනය කිරීම සහ ජනජීවිතය කඩිනමින් යථාවත් කිරීම යන කරුණයි. මේ නිසා කවුරුන් කෙසේ කීවත් පසුබෑමට ලක්ව ඇති ආර්ථිකය යළි පණ ගන්වා ගැනීමට නම් අනිවාර්යෙන්ම වසංගත තත්ත්වය පාලනය කරගත යුතු වේ. මුලින් ප‍්‍රමාද වුවත් රජය මගින් දැන් එන්නත්කරණය වේගයෙන් සිදුකරගෙන යන බව සත්‍යයකි. එය අපි ඉතාමත් අගය කරමු. එය අනාගතයේ දී කොරෝනා මරණ ගණන සහ වැඩිවෙන ආසාදිතයින් ප‍්‍රමාණය අඩු වීමට හේතුවක් වන නිසා අනාගතයේ එන්නත්කරණය සමග ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවීමට ඉඩ තිබේ.

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව ඇත්තේ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාය. ඒ ඔහු ඇමැති ධුරයෙන් හා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට සහ ඔහු විසින් මහ බැංකුවෙන් විශ‍්‍රාම වැටුපක් ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීමක් සම්බන්ධව පළ වූ පුවත් නිසාය. ඔහුට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය යළි භාර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. එය රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් මාධ්‍යයට වාර්තා වී ඇති පුවතකි. ඒ සමගම මහ බැංකු අධිපති ධුරයේ බලතල වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ. එසේ කරන්නේ මුදල් නීති පනත සංශෝධනය කිරීමෙන් ද වෙනත් ආකාරයකට ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නැත. මේ අනුව මුදල් රාජ්‍ය ඇමැති ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වී යළි මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට කබ්රාල් මහතා මේ දිනවල සලකා බලමින් සිටින බවද දැන ගන්නට ඇත. ජනපති ඉල්ලීමක් නම් බොහෝ දුරට ඔහු එය භාරගනු ඇතැයි සිතිය හැකිය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ මොහොතේ ආර්ථික හා විදේශ විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවට රජයේ අදහස වී ඇත. ඒ අනුව නැවතත් අජිත් නිවාඞ් කබ්රාල් මහතාට මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කිරීමට හේතුව මෙය විය හැකිය. ජනාධිපතිවරයා කබ්රාල් මහතාගෙන් සිදුකර ඇතැයි කියන ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ ලියුම්කරුට ප‍්‍රකාශ කළේ එය තහවුරු කිරීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට තවමත් හැකියාවක් නොමැති බවයි. මේ වන විට ඔහු කවර තීරණයක් ගෙන තිබෙනවා ද යන්න අප දන්නේ නැත. කෙසේ හෝ කිසියම් වෙනසක් සිදුවෙමින් තිබෙන බව පැහැදිලිය. විශ‍්‍රාම වැටුප් කාරණය ගැන කබ්රාල් මහතා කියන්නේ තමා වසර 8 කට වැඩි කාලයක් මසකට රු. 70,000 ක අවම වැටුපකට සේවය කළ බවයි. තමාට විශ‍්‍රාම වැටුපක් වශයෙන් ශතයක්වත් ලැබී නැති බව ද එසේම රජයෙන් ලබා දුන් තීරුබදු රහිත වාහනයෙන් ප‍්‍රයෝජන නොගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට සාධනීය වැඩපිළිවෙළක් නැහැ

කොරෝනාවෙන් බලවත්වූ ආර්ථික අර්බුදය

රටේ විදේශ විනිමය සහ සංචිත අර්බුදය ගැන රටේ බලධාරීන් මෙය ඉතා තාවකාලික තත්ත්වයක් බවට පෙන්වා දීමට මාධ්‍ය ඉදිරියේ ගන්නා අසාර්ථක උත්සාහය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එසේම මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සාධනීය වැඩපිළිවෙළක් ඇති බව ද අපට නොපෙනේ. මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කරන දෛනික නිල විනිමය අනුපාතික වාණිජ බැංකු අනුගමනය නොකිරීමෙන් මෙම අර්බුදයේ උග‍්‍ර බව අපට අවබෝධ කර ගත හැකිය. ණයවර ලිපි, හරපත් සහ ණයපත් භාවිතයෙන් සිදුවන විදේශීය විනිමය ගනුදෙනු බැංකු පද්ධතිය හරහා සිදු වුවද විදේශ විනිමය හුවමාරු ආයතන හරහා සිදුවන පේ‍්‍රෂණවලදී ලංකාවට සත්‍ය වශයෙන් එම විදේශ මුදල් ගලා ඒම නිරන්තරයෙන්ම සිදු නොවේ.
එහිදී සිදුවනුයේ එම ආයතන සතු දේශීය මුදල් එම මුදල් ලාභියාගේ බැංකු ගිණුමට තැන්පත් වීම පමණකි. එවැනි ආයතන ලබා දෙන ඉහළ විනිමය අනුපාතයන් නිසා විදේශ ගත ශ‍්‍රමිකයන් සහ විදේශ රටවල පදිංචිකරුවන් බහුතරය එවැනි බැංකු නොවන ආයතන හරහා විදේශ විනිමය ගනුදෙනුවල නිරත වන බව විදේශගත ශ‍්‍රී ලාංකිකයකු ලෙස අප හොඳින් දන්නා කරුණකි. ශ‍්‍රී ලංකාව තවමත් රතු ලැයිස්තුවේ පැවතීමත් විදේශ රටවල සංචාරය ඉතා මිල අධික වීමත් නිසා බටහිර රටවල ජීවත් වන අය තම රට ඇතුළත දේශීය සංචාරයට බෙහෙවින් නැඹුරු වී ඇති නිසා ඉතා ඉක්මනින් සංචාරක කර්මාන්තය පණ ගැන්වී ඒ තුළින් රටට විශාල විදේශ විනිමයක් ලැබේ යැයි සිතීම එතරම් ප‍්‍රායෝගික නොවන බව මගේ අදහසයි.

ආචාර්ය එස්. ඩබ්ලිව්. හිරන්ත
එක්සත් රාජධානියේ ෂෙෆීල්ඞ් විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment