කොරෝනාවෙන් මියගිය පියා රහසේම වළදාලා – දින දෙකකට පසු මව සහ දියණියත් මරුට

501

පුත්තලම, වෙප්පමඩුව ප‍්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මව හා දියණියට කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති අතර දින දෙකකට පෙර මරණයට පත්වූ පියාගේ සිරුර රහසේම මිහිදන් කිරීම සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ පැමිණිල්ලකට අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

කොරෝනාවෙන් මියගිය  පියා රහසේම වළදාලා - දින දෙකකට පසු මව සහ දියණියත් මරුට

පුත්තලම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ දේහය මිහිදන් කර තිබේ. මෙම කොරෝනා මරණ සිදුවූ නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු තුනක දරුවකු ඇතුළු හයදෙනකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙසේ කොවිඞ් ආසාදිතව මරණයට පත්ව ඇත්තේ පුත්තලම – මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ  දියණිය වන 37 හැවිරිදි ෆාතිමා සහානා නමැති එකම නිවසේ පදිංචි අය වේ. මෙම පවුලේ ගෘහ මූලිකයා වූ 56 හැවිරිදි මොහොමඞ් නිස්තාර් නමැති අය හදිසියේම ඉකුත් 04 දින මරණයට පත්ව ඇති බවත්, ඔහු ප‍්‍රතිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බව පැවසේ. මෙම තැනැත්තාගේ අවසන් කටයුතු කිසිදු නිරෝධායන නීතියක් මත සිදුකර නැති බවත්, මොහු මරණයට පත්ව දින දෙකකට පසු ඉකුත් 06 දා එකවරම අසාධ්‍ය වූ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් කොවිඞ් ආසාදිත බව සනාථ වී ඇති අතර ඇය පැය කීපයකින් මරණයට පත්ව ඇත. දියණිය මරණයට පත්වී පැය කීපයක් යෑමටත් පෙර 51 හැවිරිදි ඇගේ මවද නිවසේ ඇද වැටී සිහිසුන්ව සිටියදී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මරණයට පත්ව තිබුණි. මෙම කාන්තාවට පුත්තලම මූලික රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසුව සනාථ වී ඇත්තේ ඇය ද කොවිඞ් ආසාදිතව සිට ඇති බවයි. මෙසේ කොරෝනා ආසාදිතව මරණයට පත්වූ මව හා දියණියගේ සිරුරු මේ වනවිට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පුත්තලම මූලස්ථාන පොලිසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියේ මේ හේතූන් එසේ තිබියදී මෙම නිවසේ ගෘහ මූලිකයා වූ 56 හැවිරිදි තැනැත්තාගේ සිරුර පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් නොකර භූමිදානය කිරීම බරපතළ වරදක් බවයි. ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එසේ අදාළ අංශ කිසිදු ලෙසකින් දැනුවත් නොකරමින් භූමිදානය කිරීම සම්බන්ධව අධිකරණය කරුණු ඉදිරිපත් කර නැවත දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවත්, එම නියෝගයෙන් පසු දේහය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ අරඹන බවද පොලිසිය පවසයි.

පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා – ‘‘භුමිදානය කර ඇති දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබාදෙන නියෝගයෙන් පසුව දේහය නැවත දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් භාවිත කරමින් පොලිසිය හා එක්ව ගොඩගෙන එහි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කරනවා.’’ පුත්තලම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතා පවසා සිටියේ නිවසේදී මරණයට පත්වූ ගෘහ මූලිකයාගේ සිරුර භූමිදානය කිරීම සඳහා අවසර ලබාදුන් මනතිව් ග‍්‍රාම නිලධාරිවරයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් බවයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment