කොරෝනාවෙන් ලොක්ඩවුන් කර ආර්ථික එන්ජිම පණගැන්වීම

201

රට වසා තිබුණත් දිනපතා වාර්තා වන මරණ ප‍්‍රමාණයේ සහ ආසාදිතයින් ප‍්‍රමාණයේ අඩුවක් නැත. මේ අනුව ඉකුත් අගෝස්තු 25 දින තවත් කොවිඞ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය එදින දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වේ. කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු මේ මරණ අතරට අයත් ය. එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 8ල157ක් දක්වා ඉහළ ගොස් ඇත. මරණ ප‍්‍රමාණය 200 ඉක්මවා යෑම අප වැනි පුංචි රටකට ලොකු ඉලක්කමකි. එසේම අගෝස්තු 26 වැනිදා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 602කි. ඒ අනුව කොවිඞ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412ල370ක් දක්වා ඉහළගොස් තිබේ. මේ සියල්ල වාර්තා වන්නේ රටේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී වීම විශේෂත්වයකි. මේ නිසා වසංගතය පාලනය කරමින් මරණ ගණන අඩු කරගනිමින් ක‍්‍රමයෙන් අපේ ආර්ථිකය පණ ගන්වා ගැනීමේ අභියෝගය ජයගත යුතුව තිබේ.

දැනට ක‍්‍රියාත්මක වන රට වැසීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය අගෝස්තු 20 වැනිදා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. එම ප‍්‍රකාශයේ එක් තැනක ජනාධිපතිවරයා කීවේ ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලූ දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටින බවයි. රට බැ?රුම් තත්ත්වයක තිබෙන නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කෝවිඞ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලූ දෙනාගෙන්ම තමා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය. ජනාධිපතිවරයා ඉතා නිවැරදිව කියා ඇති පරිදි සියලූ දෙනාම කැපකිරීම් කළ යුතුව තිබේ. එහෙත් අපට නම් පෙනෙන්නේ එය එසේ සිදුව නැති බවයි. මේ විපත අප සියලූ දෙනාම එක්ව ඉමහත් කැපකිරීම් කර මුහුණ දිය යුතු ව්‍යසනයකි. එසේ නම් පිරිසක් කැප කිරීම් කරමින් සිටින සහ තවත් කොටසක් එසේ නැතුව සිටින තත්ත්වයක් අපට දකින්නට තිබේ. පොදුවේ ජනයාට මේ ව්‍යසනය හමුවේ මේ පණිවිඩය දෙන අතරම එසේ කැපකිරීම් කළ යුතු අනිත් පිරිස් ගැන ද අවධානය යොමු කර සියලූ දෙනාම එක්ව මේ අර්බුදය අප ජයගත යුතුව තිබේ. එසේ නැතහොත් අපට තවත් අමාරු තත්ත්වයකට ගමන් කිරීමට සිදුවනු ඇත. විදේශ මුදල් හිඟය ද වඩාත් උග‍්‍ර තත්ත්වයකට පත්ව ඩොලරයේ කළුකඩ මිල මෙන්ම බැංකුවල ඩොලර් අගය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

දිගටම රට වැසීම් සිදු කිරීම දුෂ්කර බව සත්‍යයකි. එන්නත්කරණය සමග අපට මේ සදහා සැලකිය යුතු විසඳුමක් ලැබෙනු ඇත. අපට විටින් විට දීර්ඝ කාලයන් රට වැසීමට සිදු වන්නේ අප ඇතැම් විට නිසි වෙලාවේ වසංගතය පාලනය කිරීමට ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා බව පෙනේ.

රජය විසින් නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම මෙන්ම ගන්නා ක‍්‍රියාමාර්ග පවා ප‍්‍රමාද වී ගැනීම මෙයට හේතු වී ඇත. මේ නිසා වසංගත තත්ත්වය පැතිර ගොස් වැඩි දින ප‍්‍රමාණයක් වැසීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වේ. එවිට ආර්ථිකමය වශයෙන්ද වඩා අමාරු තත්ත්වයකට රටට මුහුණ දීමට සිදු වෙයි. අද අප මුහුණ දෙන්නේ එවැනි තත්ත්වයකටය. එනම් නිසි වෙලාවේ කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා වසංගත තත්ත්වය රට පුරා පැතිර ගොස් මරණ අනුපාතය සහ ආසාදිතයින් වාර්තා වීම මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. රට වසා තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇත්තේ රට වසන විටත් සැලකිය යුතු ලෙස වසංගතය පැතිර ගොස් අවසන් නිසාය. එනම් අශ්වයා පැන ගොස් ඇති නිසාය. රට දීර්ඝකාලයක් වසා තැබීම වළක්වා ගැනීමට නම් රජය විසින් අප‍්‍රමාදව හරි වෙලාවේ නිසි තීන්දු තීරණ ගත යුතුය. එසේම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා’යැයි ද ජනාධිපතිවරයා කියයි. අප නම් සිතන්නේ මේ රටේ අතිමහත් බහුතර ජනයා ගිය වසරේ (2020) මාර්තු සිට මේ දක්වාම අඩු වැඩි වශයෙන් සැලකිය යුතු කැපකිරීම් කරමින් සිටින බවයි. එසේ නම් ඇමැති මණ්ඩල සාමාජිකයින් ඇතුළු ආණ්ඩුවේ අයටත් දැන්වත් කැපවීම් කිරීමට පටන් ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. මේ ගැන ජනයා විවධ යෝජනා රජයට ඉදිරිපත් කරමින් සිටී.

ජනාධිපතිවරයා කියන කැපකිරීම් රජයේ ඇමති මණ්ඩලයෙන්ම පටන් ගන්නේ නම් ඉමහත් ආදර්ශයකි. එවිට ජනයා ද තව තවත් කැපකිරීම් කරනු ඇත. මේ නිසා ඇමැති මණ්ඩලය සහ ඊට පසු දේශපාලන පත්වීම් ලැබූ සියලූ ආයතන ප‍්‍රධානීන්, සංස්ථා මණ්ඩල සභාපතිවරුන්ගේ සිට සාමාන්‍ය රාජ්‍ය සේවකයා දක්වාම විවිධ මට්ටම්වලින් මේ කැපකිරීම් කිරීම අවශ්‍ය වේ. මිනිස්සුන්ට කළ හැකි ලොකුම කැප කිරීම වන්නේ ජීවිතය කැප කිරීමයි. මිනිස්සු දිනපතාම වසංගතයෙන් මැරි මැරී යයි. දැනටමත් වටිනා මිනිස් ජීවිත රැසක් කොරෝනා මාරයාට බිළි වී ඇත. තවදුරටත් බිළිවෙමින් ද තිබේ. ආණ්ඩුවේ ඇතැමුන්ට නම් ඒවා හුදු ඉලක්කම් පමණි. ඔවුන් වඩාත්ම වධ වෙන්නේ මිනිස් ජීවිත ගැන නොව ආර්ථිකයට වන බලපෑම් ගැන බව පෙනෙන්නට තිබේ. ආර්ථිකය ජනයාට ප‍්‍රතිලාභ ලැබීමටය. ඒ නිසා හොඳ ආර්ථිකයක් හැදිය යුත්තේ උසස් ජීවන තත්ත්වයක් ජනයාට ලබා දීමටය. එහෙත් අද තිබෙන්නේ ජීවිතය ගැන පවා අවිනිශ්චිත හෙට දවසකි. කොරෝනා වසංගතය ආණ්ඩුව ඇති කළ එකක් නොවේ. එහෙත් වසංගතය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩු ගැන රජයට චෝදනා එල්ල කිරීමට සිදු වීම අනිවාර්ය කරුණකි. එසේම වසංගතය හමුවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ අඩුපාඩු ද තිබේ. සීනි බද්ද ශත 25 ට අඩු කර රජයට හෝ ජනයාට වූ සෙතක් නැත. සීනි මිල ගණන් හොඳටම වැඩි වී ඇත. ඒ නිසා රජයේ තියෙන තුට්ටු දෙකත් නැති කරගන්නා තීරණ ගත යුතු නැත. කිරිපිටි බදු අඩු කිරීමත් එවැනිම ප‍්‍රතිපල ගෙන දීමට ඉඩ තිබේ.

ආර්ථිකය ගැන මෙන්ම මිනිසුන්ගේ වටිනා ජීවිත ගැනත් රජයක් සිතිය යුතුය. කැපකිරීම් කිරීමටත් මිනිසුන් ජීවත්ව සිටිය යුතුය. ජීවිතය මෙන්ම ජීවනෝපාය යන දෙකම වැදගත් බව සත්‍යයකි. එහෙත් ජීවනෝපාය කිරීමටත් මිනිසුන් ජීවත් විය යුතුය. මේ නිසා මරණ ශුන්‍ය කළ නොහැකි වුවත් වළක්වා ගත හැකි සෑම මරණයක්ම අප වළක්වා ගත යුතුමය. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා කියන කැපකිරීම ආරම්භ කළ යුත්තේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයෙන්මය. ආණ්ඩුවේ අය කිසිදු කැපකිරීමක් නොකරනවා නොවේ. එහෙත් මේ මොහොතේ මීට වඩා වැඩි කැපකිරීම් සිදු කිරීම අත්‍යවශ්‍ය මොහොතක් බව සිහිපත් කිරීම වටී. එහෙත් එය ඔවුන්ගේ මසක වැටුප පරිත්‍යාග කිරීමට පමණක් ලඝු නොකළ යුතුය. එනම් එහි ආරම්භක පියවරක් ලෙස සියලූ මැති ඇමැතිවරුන්ගේ මසක වැටුප් සහ සියලූ දීමනා ඇතුළු වරප‍්‍රසාද ජනතාව වෙනුවෙන් මසකට හෝ අත්හැරීමට කටයුතු කළ හැකිය. ජනාධිපතිතුමනි, ඔබගේ විශේෂ ප‍්‍රකාශයේ සඳහන් වූයේ සියලූ දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන ලෙසයි. අපිත් එය එසේම සිතමු. එහෙත් ආණ්ඩුවේ පාර්ශවයන්ගේ කැපකිරීම් කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි. එසේ නම් ජනයා අඩු වැඩි වශයෙන් ගිය වසරේ (2020) මාර්තුවේ සිටම ජීවිතය කැප කිරීමේ සහ ජීවනෝපාය අහිමි කර ගැනීමේ සිට විවිධ මට්ටම්වලින් කැපකිරීම් කරමින් සිටින පසුබිම තුළ අප කියන්නේ ආණ්ඩුවේ කැප කිරීම් ඇමැති මණ්ඩලයෙන්ම දැන් පටන්
ගන්න කියාය.

එන්නත්කරණය ගැන විශේෂ අවධානයක් යොමු කර එය වේගයෙන් ව්‍යාප්ත කිරීම සතුටට කරුණකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප‍්‍රකාශයේ ආරම්භයේම මෙසේ සඳහන්ය. එනම් කොරෝනා වසංගතය මැඬපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බවයි.

එන්නත්කරණය මේ අවස්ථාවේ කොවිඞ් වසංගතයට මුහුණ දීමේ ප‍්‍රබලම විසඳුම විය හැකි නමුත් අප සිතන්නේ එය එකම විසඳුම නොවන බවයි. එන්නත්කරණය එකම විසඳුම නම් එන්නත් කරාම සියල්ලම විසඳිය යුතුය. වෙනත් කිසිවක් කිරීමට අවශ්‍යතාවක් ද නොමැති විය යුතුය. එනම් වෙනත් කිසිදු සෞඛ්‍ය උපදේශ පිළිපැදීම ද එවිට අවශ්‍ය නොවනු ඇත. එහෙත් එය එසේ නොවේ. එන්නත්කරණයත් සමග තවත් කළ යුතු බොහෝ දේ තිබේ. එන්නත්කරණය කළ ද සෑම කෙනෙක්ම සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඞ් ආසාදිතයෙක් නොවී සිටීමට හැකි උපරිම උත්සාහ ගත යුතුය. එන්නත් දෙකම ගත්තද ඔවුන්ට කොවිඞ් වෛරසය බෝවීමට මෙන්ම ඔවුන්ගෙන් වෙනත් අයට පැතිරීමට ද හැකියාව තිබේ. එසේම එන්නත් දෙකම ලබාගත් අය පවා කොවිඞ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය ගොස් තිබේ. කොරෝනාවෙන් මිය ගිය හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවා එන්නත් දෙකම ලබාගෙන සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ නිසා එන්නත්කරණය එකම විසඳුම නොවේ. එහෙත් එන්නත්කරණය නිසා ආසාදිතයින් අමාරු තත්ත්වයට පත් වීම සහ මරණයට පත් වීම සැලකිය යුතු ලෙස අවම කර ගත හැකි බව ඇත්තය. ඒ බව නම් වෛද්‍යවරු පවසති. මේ නිසා කුමන හෝ පළමුවෙන් ලැබෙන එන්නත හොඳම එන්නත ලෙස සලකා ලැබෙන පළමු අවස්ථාවේම එන්නත් ලබාගන්නා අතරම අනෙකුත් සියලූ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඞ් ආසාදිතයෙක් නොවී සිටීමට හැකිතාක් වගබලා ගැනීම මේ වසංගතයට මුහුණ දීමේ දී සියලූ පුරවැසියන්ගේ වගකීම බව අපි සිහිපත් කරමු. මෙහිදී අප කියන්නේ කවර එන්නතක් ගනු ලැබුවත් රෝග නිවාරණය ඉතාම වැදගත් බවයි. එය වසංගතය තවදුරටත් පැතිරීම පාලනය කර ගැනීමට මෙන්ම වසංගතයේ ආර්ථික බලපෑම් අවම කරගැනීමට ද හේතුවනු ඇත. එසේම ආණ්ඩුවට අප කියන්නේ දිනපතා සිදුවන කොරෝනා මරණ ගණන හුදු ඉලක්කමක් ලෙස සුළුවෙන් නොසලකා මරණයෙන් වළක්වා ගත හැකි සෑම මිනිස් ජීවිතයක්ම බේරා ගන්නා ලෙසයි. කොවිඞ් මරණ ප‍්‍රමාණය බින්දුව බවට පත්කර ගත නොහැකි වුවත් බේරා ගත හැකි මිනිස් ජීවිත ප‍්‍රමාණය බේරා ගැනීමත්, ආර්ථිකය රැක ගැනීමත් යන දෙකම වැදගත්ය.

රට වැසීමට ලොක් ඩවුන් යන වචනය භාවිතා කළත් සියයට සියයක් රට වසා නැති බව අපි කවුරුත් දනිමු. එසේ කිරීමට අවශ්‍ය ද නොවේ. ඒ නිසා රට වසා වෛරසය පැතිරීමට දායක නොවන පරිදි අනෙකුත් සියලූ ආර්ථික කටයුතුවලට ඉඩ දීම මගින් මෙහි ආර්ථික බලපෑම් අවම කරගත හැකිය. රට වැසුවත් සියලූ ඇඟලූම් කර්මාන්තශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක‍්‍රියාත්මක කළ හැකිය. එය දැන් සිදු වෙමින් තිබේ. මෙලෙස රට වසා තැබුවත් වසංගතය පැතිරීමට ඉඩක් ඇති නොවන පරිදි තවත් බොහෝ ආර්ථික කටයුතු සිදු කිරීමට ඉඩ දිය හැකිය. එය එසේ කළ යුතුය. මෙය රට වැසීම දින ගණනකට පමණි. මෙය කරන්නේ ද වසංගතය පාලනය කරගැනීමට පමණක් නොව ආර්ථික කටයුතු වේගයෙන් පණ ගන්වා ගැනීමට ඉඩ සැලසෙන ප‍්‍රධානම සාධකය ද මේ මොහොතේ වසංගතය පාලනය කර ගැනීම වන නිසාය. එන්නත්කරණය කරන්නේ ද වසංගතය මර්දනය කර ගැනීමට ය. මෙහිදී එන්නත්කරණය සමාජයේ සැලකිය යුතු ප‍්‍රතිශතයකට වේගයෙන් ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එවිට කොවිඞ් මරණ සිදු වීම විශාල ලෙස අවම කරගත හැකිවේ. එසේම ක‍්‍රමයෙන් ආර්ථිකය පණ ගන්වා ගැනීමට ද ඒ සමගම අවකාශ සැලසේ. නිරෝධායන ඇඳිරි නීතිය මගින් සාමාන්‍ය මහජන සංසරණය නවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට දැඩිව අවනත වෙමින් ඇඟලූම් කර්මාන්තය සහ සංචාරක කටයුතු ඇතුළු ආර්ථික කටයුතු බොහොමයක් කරගෙන යාමට හැකියාව තිබේ. එය මේ අවස්ථාවේත් සිදු වෙමින් තිබේ.

එසේම අද ලෝකයේ රටවල් කීපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙන බවත් අද එලෙස විවෘත කර ඇති රටවල් ලෝකයේ ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සංචාරක ක්ෂේත‍්‍රයේ අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා කියයි. එම රටවල් එන්නත්කරණය නිසා ආසාදිතයින් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණත් මරණ ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට සමත්ව තිබේ. එහෙත් අපේ රටේ මරණ අනුපාතය හොඳටම වැඩි වී තිබේ. අපේ ආර්ථිකයට මේ අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට නම් මේ අවස්ථාවේ වෛද්‍ය අංශ පවසන පරිදි වසංගතය පාලනය කර ගැනීමේ ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන්නේ මේ නිසාය. අපේ රට ඉක්මනින් විවෘත කරගෙන ආර්ථික කටයුතු වේගයෙන් පණ
ගන්වා ගැනීමට ද එම ක‍්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන්නකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment