කොරෝනා අගුලු දැමීම්වලට එරෙහි චීනයේ විරෝධතා නවතී

311

මර්දන නීති රීතිවලට එරෙහිව චීනයේ අගනුවර වන බීජිං ඇතුළු නගර ගණනාවක පැවති දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරයන් මර්දනය කිරීමට චීන ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ. විරෝධතා පැවති නගර ගණනාවක පොලිස් ආරක්ෂාව තර කර තිබූ අතර පොලිස් බලපෑම හේතුවෙන් ඇතැම් විරෝධතා ව්‍යාපාර අතරමග නතර කිරීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබිණි.

චීනයේ අගනුවර වන බීජිං නගරය ඇතුළු නගර ගණනාවක නැවත කොරෝනා ආසාදනය ශීඝ්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් චීන බලධාරීන් විසින් අවදානම් තත්ත්වයේ පවතින බොහෝ නගර හා ස්ථාන අගුලු දැමීමට පියවර ගෙන තිබු අතර මෙම අගුලු දැමීම් මධ්‍යයේ සති අන්තයේදී බටහිර චීනයේ ‘උරුම්කි’ නගරයේ පිහිටි උසැති ගොඩනැගිල්ලක හටගත් ගින්නකට කොටු වූ 10 දෙනකු මිය ගොස් ඇත්තේ චීන බලධාරීන් විසින් පනවා ඇති අගුලු දැමීම් හේතුවෙන් බවට සමාජය තුළ මතයක් ගොඩ නැගීම මහජන විරෝධතා මතු වීමට හේතු වී තිබිණි. කෙසේ වුවද අදාළ ගින්නට මැදි වූ ගොඩනැගිල්ලේ සිටි පිරිසකට ඉන් ගැලවීමට නොහැකි වූයේ පනවා ඇති කොරෝනා මර්දන අගුලු දැමීම් බවට සමාජගත වී ඇති මතය අසත්‍යයක් බව චීන බලධාරීහු පවසති. පැවති දැවැන්ත විරෝධතා ව්‍යාපාරවලදී ඇතැම් විරෝධතාකරුවන් විසින් චීන ජනාධිපති ෂී ජින් පින්ට තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස ඉල්ලීම් කර තිබූ බව වාර්තා විය. චීන පොලිස් නිලධාරීන් විසින් විරෝධතා ව්‍යාපාරවලට සම්බන්ධ වූවන්ගේ දුරකථන පරීක්ෂා කර ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. චීනයේ විරෝධතා ව්‍යාපාර නතර වුවද චීන ජාතිකයන් විසින් කොරෝනා අගුලු දැමීම්වලට එරෙහිව වෙනත් රටවල අරඹා ඇති විරෝධතා ව්‍යාපාරයන් දිගටම කරගෙන යෑමට තීරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment