කොරෝනා අස්සේ ඩෙංගුත් ඇවිස්සේ… ඩෙංගු බවට සැක කරන රෝගීන්ගෙන් 68% බස්නාහිරින්… සතියකට රෝගීන් 400 ත් 500 ත් අතර පිරිසක්…

138

* ගතවූ මාස 7 තුළ රෝහල් ගත කළ පිරිස 16500 යි
* ජුලි මාසය තුළ පමණක් 3029 යි


සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යමින් ඇත. ඊට සාපේක්‍ෂව කොරෝනා මරණ සංඛ්‍යාවද ඉහළ යෑඹක් දක්නට ඇත. පෙරේදායින් නිමාවට පත්වූ ඉකුත් මස අවසන් සතියේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන මගින් ඒ බව තහවුරු කොට ඇත. එවැනි තත්ත්වයක් තුළ තවත් වසංගත තත්ත්වයක් හිස ඔසවමින් පවතින බවට රටේ බොහෝ ප‍්‍රදේශවලින් රතු එළි දැල්වෙමින් ඇත. ඒ අනුව වසංගතයක් තුළ තවත් වසංගතයක් නිර්මාණය කරමින් ඩෙංගු රෝගයේ ශීඝ‍්‍ර පැතිර යෑමක් මේ වනවිට දකින්නට ඇත.

 ඒ බව ගතවූ ජූලි මස 28 දින දක්වා ගතවූ මාස 07 ක තොරතුරු ඇතුළත් සංඛ්‍යා ලේඛනවලට අනුව ඩෙංගු රෝගීන් බවට සැක කරන පුද්ගලයන් 16500 ක පමණ පිරිසක් රෝහල්ගත කොට ඇත. එම සංඛ්‍යාලේඛන විසින් වැඩිදුරටත් තහවුරු කර සිටින්නේ එම පිරිස අතරින් 50% ක පමණ ප‍්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය. ඊට අමතරව ඉකුත් ජූලි මස 28 වන දින වනවිට එනම් මාසයක් තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3029 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 එම පිරිස අතරින් 68% බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්ය. ඒ අනුව ඩෙංගු බවට සැක කරන රෝගීන් 1185 දෙනකු කොළඹ දිස්ති‍්‍රක්කයෙන්ද 608 දෙනකු ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ද, 275 ක පමණ පිරිසක් කළුතර දිස්ති‍්‍රක්කයෙන් ද වාර්තා වී ඇත.

පසුගිය වර්ෂය හා සසඳා බැලීමේදී මෙවර ඩෙංගු අවධානම ශීඝ‍්‍ර ඉහළ යෑමක් දැකගත හැක. සංඛ්‍යාලේඛනවලට අනුව ඉකුත් වසරේ ජුලි මාසය නිමාවට පත්වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2165 ක්ය. ඒ අනුව ඉකුත් වර්ෂයේ ජුලි මස හා සංසන්දනය කිරීමේදී ගතවූ ජුලි මස තුළ පමණක් රෝගීන් 764 දෙනකුගේ ඉහළ යෑමක් දැකගත හැක. එම සංඛ්‍යාව ගත් විටද සෑම රෝගීන් දස දෙනකුගෙන් හත්දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වෙමින් ඇත.

 දැනට රට තුළ ඇති වෙමින් පවතින ඩෙංගු අවධානම පිළිබඳව ඕනෑම කෙනකුට යම් අවබෝධයක් ලබාගැනීමට ඉහත සඳහන් සංඛ්‍යාලේඛන ප‍්‍රමාණවත්ය. මේ පිළිබඳව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ ඉදිරියේදී මෙම තත්ත්වය තව තවත් ඉහළ යෑමේ අවධානමක් පවතින බවත් දැනටත් සතියක් ඇතුළත ඩෙංගු ආසාධිත බවට සැක කරන රෝගීන් 400/500 ත් අතර පිරිසක් හඳුනා ගනිමින් සිටින බවත්ය. ඒ අනුව අනතුර දොරකඩට පැමිණ හමාරය. දැනටමත් විශාල පිරිසක් එහි ගොදුරු බවට පත්වෙමින් ඇත. ඩෙංගු මෙරටට අලූත් නැත. හුරු පුරුදු වසංගතයක් වුවද ඩෙංගු මාරාන්තිකය. මරණය රැගෙන එන්නේ ඩෙංගු මදුරුවා විසින්ය. මෙවර නිරිතදිග මෝසම සකී‍්‍රය වීමත් සමග ‘මරණයේ මදුරුවා’ නැවතත් නගර ගම් සිසාරා සැරිසරමින් ඇත. වෙනත් වසරවල මෙවැනි තත්ත්වයක් තුළ ඩෙංගු මර්ධනය කිරීම පිණිස රට පුරා මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම පූර්ණ අවධානය ඒ වෙත යොමු කරන අතර ඒ හරහා ඩෙංගු මර්ධනය කිරීම පිණිස සාර්ථක උත්සාහයක නිරත වන අයුරු දැකගත හැකි විය. එහෙත් මෙවර තත්ත්වය ඊට තරමක් වෙනස්ය. මහජන සෞඛ්‍ය කර්ය මණ්ඩල ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය කොරෝනා මර්ධනය කිරීම පිණිස මේ වන විටත් දැඩි වෙහෙසකය. එය අතිශයින්ම වෙහෙසකර වෑයමක්ය. එවැනි වටපිටාවක් තුළ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන ආකාරයක් දැකගත හැක. මේ වනවිට රට තුළ පවතින ඩෙංගු අවධානම පිළිබඳ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය විසින් සඳහන් කර සිටියේ මෙවර ඩෙංගු මර්ධනය කිරීම පිණිස සෞඛ්‍ය අංශවලට අමතරව පුරවැසියන් ලෙස අන් කවරදාටත් වඩා මැදිහත් විය යුතු බවත් ඒ හරහා ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අවම කර ගත හැකි බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය,

 ‘‘මේ වසරේ ගතවූ මාස 07 තුළ ඩෙංගු සම්බන්ධයෙන් නිකුත් වූ සංඛ්‍යාලේඛන පිළිබඳව විමසිලිමත් වෙද්දී ඩෙංගු රෝගීන් බවට සැක කරන පිරිසගේ යම් වැඩිවීමක් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම 2020 වර්ෂය හා සංසන්දනය කිරීමේදී රට තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් පවතිනව. ඉදිරියටත් රට තුළ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතුණොත් මේ තත්ත්වය තව තවත් වර්ධනය වීමේ අවධානමක් පවතිනව යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුණොත් දැනට පවතින කොවිඞ් වසංගතයත් එක්ක ඒ තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල බිම් මට්ටමින් ඒ සඳහා මැදිහත් විය යුතුයි. නමුත් මේ වනවිට ඒ අය කොවිඞ් මර්ධනය කිරීම පිණිස මුලමනින්ම යොමුවෙලයි ඉන්නෙ. ඒ හින්ද ඩෙංගු පිණිස අමතර බරක්, කාලයක් වැය කරන්න බැරි තත්ත්වයක් ඒ අංශයේ දකින්නට ලැබෙනව.

 එහෙමනම් අපි කළ යුත්තේ කුමක්ද මෙන්න මේ කාරණය පිළිබඳව රටේ පුරවැසියන් ලෙස අපේ අවධානය යොමු කළ යුතුයි. එතනදි අපි ජීවත් වන පරිසරය එහෙම නැත්නම් වටපිටාවේ පිරිසිදු බව අපි විසින්ම රැකගන්න කටයුතු කළ යුතුයි. මේ වනවිට කොළඹ, ගම්පහ, කළුතර කියන දිස්ති‍්‍රක් තුනත් ඊට අමතරව ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, හම්බන්තොට ආදී දිස්ති‍්‍රක්ක ආශි‍්‍රතවත් ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් පවතිනව. නමුත් අනිකුත් දිස්ති‍්‍රක්ක ආරක්‍ෂිතයි කියල ඒ හරහා කියවෙන්නෙ නෑ, ඒ නිසා එක වසංගතයකින් බැට කන රටක් ලෙස සමස්ත රට වැසියන්ම මේ වෙලාවෙ සෞඛ්‍ය අංශ වෙත ලබාදෙන සහයක් ලෙස හිතල තමන්ගේ නිවස, ගෙවත්ත රැකියා ස්ථානය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි. එම පිරිසිදු කිරීම් කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ කවුරුත් හොඳින් දන්න හින්ද ඒ පිළිබඳ වැඩි වැඩියෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනව. ඒ තමයි තමන්ට යම් රෝග ලක්‍ෂණයක් පවතිනවනම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන කාරණය. මොකද අපි විසින් නිරීක්‍ෂණය කළ දෙයක් තමයි මේ කොවිඞ් වසංගතය හේතුවෙන් ඇතැමෙක් තමන්ට රෝග ලක්‍ෂණ පැවතුනත් ඒ සඳහා ප‍්‍රතිකාර පිණිස යොමුවීමේදී මැලිකමක් දැක්වීම. එහෙම හැසිරෙන්න එපා කියල රටේ ජනතාවගෙන් මේ වෙලාවෙ ඉල්ලා සිටිනව. මොකද මේ වෙලාවෙ ඩෙංගු පාලනය කිරීම පිණිස සෞඛ්‍ය අංශවලට සමානම පුරවැසි වගකීමක් අපි සියලූ දෙනා මතම පැවරිල තිබෙනව.

 වසංගත පිට වසංගත පැමිණීම රටක් ලෙස අපට පමණක් නොව ලොව ඕනැම රකෙට දැරිය නොහැකි බරක්ය. රෝ බිය, වසංගත බිය තුරන් කිරීම සෞඛ්‍ය අංශ මතට පමණක් බැර කොට පුරවැසියන් ලෙස කරබාගෙන සිටීම මේ මොහොතේ නොකළ යුත්තක්ය. මිනිමරු ඩෙංගු මදුරුවා මර්ධනය කිරීම පිණිස පුරවැසි බළකායක් ලෙස රට වැසියන් කි‍්‍රයාත්මක වන තරමට එහි ප‍්‍රතිඵලය ඉදිරියේදී තීරණය වීමට නියමිත බැවින් තම තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටුකිරීමට මේ උදාවී ඇත්තේ හොදම අවස්ථාවක්ය.

dengue2

 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment