කොරෝනා කාලේ කවි

1171

හැත්තෑව දශකයේ සිංහල පද්‍ය සාහිත්‍යය සුපෝෂණය කළ කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ කෘතියක් පාඨකයා අතට පත්වන්නේ වසර විස්සකට පසුවය. ලේඛකයකු වශයෙන් මේ නිහැඬියාව සමාව නොදිය හැකි වරදක් බව මුලින්ම සඳහන් කළ යුතුයි. කවි යැයි කුණුහරුප වපුරද්දී, ආනන්ද හිමියන්ගේ සම්මාදම කැපී පෙනෙන්නකි. මුළු ලොවම වෙළාගත් අති බිහිසුණු කොරෝනා වෛරසය හේතුකොටගෙන පැනනැ`ගුණු ගැටලූ මෙහි ඇතුළත් බොහෝ නිර්මාණයන්ට පාදක වී තිබේ. එහිදී සත්‍ය සිදුවීම් ආනන්ද හිමියන්ගේ පරිකල්පනයෙන් කවි වෙසින් බිහිවන අයුරු අගය කළ යුතුමය. ප‍්‍රංශයෙන්, කොවිඞ් දහනවය වසංගතයෙන් පීඩා විඳින ඉන්දියාවට යුරෝ මිලියන දෙසීයක වෛද්‍යධාර පිරිනැමීම මෙලෙස නිර්මාණයක් බවට හැරී තිබේ.

කෝවිඞ් වසංගතයෙන් සිදුවූ හදිය
දාහක් පොත්වලින් ලිව්වත් ඒමදිය
ප‍්‍රංශය ලොවට ආදර්ශය පිදු විදිය
ගංගානම් ගඟට එක්වී සෙන් නදිය

කොවිඞ් මාරයා ලොව වනසද්දී ඒ පිළිබඳ නොසිතන නොහික්මුණු ලෝකය කවි හිමියන් අතින් මෙලෙස උපහාසයට ලක්වෙයි. කොරෝනා රෝගය පිළිබඳ තැකීමක් නොකොට අප රට බේබද්දන් මත්පැන් පෝලිම්වල ලැගීම එතනෝල් මිශ‍්‍ර මත්වතුර කොරෝනාවට ඖෂධයක් ලෙස ගෙන හත්සියයක් මරණයට ළඟාවීම අනඳ හිමියෝ පිරුළක් සිහිකොට කවියට නගා ඇත්තාහ.

”පණ රැක දෙන්න
තම පණ පුදා මහඟු මෙහෙවරක්
පණ රැකගන්න
මත් වතුරට පණ දෙනවා මරු පිරිසක්
පිනට ලද බවක් නොමදැන
මිනිස් බවක් – පිරුළට පණ පොවති
අලි මදිවාට හරක්”

මෙසේ කොවිඞ් වසංගතය හේතුකොට ගෙන පැනනැ`ගුණ පැන, කවි ඇසින් විවරණය කරද්දී කවියා යතිවරයාණ කෙනකු බැවින් බොහෝ අවස්ථා බෞද්ධ දර්ශනයෙන් ප‍්‍රභාව ලබා වර්ණවත් කිරීමට ද අමතක කර නැත. එය මේ හිමියන්ගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ”හේ සිද්ධාර්ථ නම් වෙයි” නවකතාවේදී මෙන්ම අනෙකුත් කාව්‍ය නිර්මාණ බොහොමයකදී ද විද්‍යමාන වන ලක්‍ෂණයකි.

”කොරෝනා කාලේ කවි හා තවත් කවි” යනුවෙන් නම්කොට ඇති මේ කෘතියෙහි වඩාත් කාව්‍යමය ගුණයෙන් අනූන වන්නේ සංකීර්ණ සමාජ ගැටලූ වස්තු විෂයය කරගත් නිර්මාණ යැයි හැඳින්වීමේ වරදක් නැතැයි අපට සිතේ. මගෙ අම්මා, මහ ගෙදර බිඳ වැටී, අම්මේ,

ගෝලීයකරණයේ සංස්කෘතිය ඒ අතරින් කැපී පෙනේ. අප ඇසින් දැක අනන්ත වාරයක් සිතින් විඳ ඇති උත්තම වූ ගැමි මව කවරේදැයි යථාර්ථවාදීව චිත‍්‍රණයට ආනන්ද හිමියෝ මහත් සමත්කමක් පා ඇත්තාහ.

”කුඹුරට යන අප්පච්චිට
හීල් වේල පන් මල්ලට
ගල්මෝලට මුනුපුරාට
බත් මුල බැඳ සිලි මල්ලට

ගෙයි රෑනට පිටි අනලා
රොටී වඩනවා අල්ලට
කඳු ගොඩ වැනි වැඩ
අම්මා නිමා කරයි එක එල්ලෙට”

”මහ ගෙදර” පිළිබඳව මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහගේ
”ගම්පෙරළිය” නම් උත්තම නවකතාවේත්, නන්දන වීරසිංහගේ ”කිරි සුවඳැති රාති‍්‍රය” පද්‍ය සංග‍්‍රහයේත් චිත‍්‍රණය වී තිබේ. ඒ දෙතැනම එය බිඳවැටීම විවරණය කළා සේ කෝ. ආනන්ද හිමියන්ගේ කෘතියෙහිත් එය මැනවින් විස්තර කොට ඇත්තේය.

කොරෝනා කාලේ කවි

”එකල කව්රුත් ගමේ
සිනහ වැසි වස්සවා වැඩ පිරූ
ගහ කොළ ද අත් ගුණෙන්
සරු සාරවී සුවඳ දී මල් පල දැරූ

අගහිෙඟන් තුරන් වූ
ස්වයං රැකියා සුරූ
අඬදබර නොහොඳ
නෝක්කාඩු ඇල් මැරූ
කල් පනියි නිමාවෙයි
එකතුවෙයි එසඳ අවුරුදු සරූ”

මේ හැරුණු කොට ජීවමාන හා කීර්තිශේෂභාවෝපගත පුද්ගල චරිත පාදක කර ගත් කාව්‍ය නිර්මාණ කිහිපයක් කෝ. ආනන්ද හිමියන් සිය කෘතියට ඇතුළත් කරන්නේ තමන් වෙනස් මගක් ගත් කවියකු බව පෙන්නුම් කරන්නටය. ඒ අතරින් අමරදේවයන් අරබයා කළ නිමැවුම වඩාත් විචිත‍්‍රය.

”ගඳඹ කුලේ නූනැයි
කොහොම කියන්නද
සත්සර වෙසරද වූව නිසා
බෝසත් නූනැයි

කොහොම කියන්නද
ක්‍ෂාන්තිවාදී වූව නිසා
මුනිවර නූනැයි
කොහොම කියන්නද

තුන්සරණේ ගුණ ගැයූ නිසා
අමරණීය නූනැයි
කොහොම කියන්නද
අමරදේව යනු ඔබම නිසා

මෙහි මුල් භාගයේ කොවිඞ් දහනවය හේතුකොට ගෙන අප රට පුවත්පත්වල පළවූ කතුවැකි කිහිපයක්ම ඇතුළත්ය. මෙලෙස පි‍්‍රය මනාප ලෙස මුද්‍රිත කාව්‍ය සංග‍්‍රහයක් මෙවන් මිලකට සිංහල පාඨකයා අතට පත්වන්නේ ද ඉතා කලාතුරකිනි. කෝ. ආනන්ද හිමියන්ගේ ”කොරෝනා කාලේ කවි” පාඨකාවධානයට යොමුවේවා!යි ඉතසිතින් පතමු.

සුනිල් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment