කොරෝනා නිදහසට පෙර… (යතුර ඔබේ අතේ ය)

177

අගෝස්තු පළමුවැනිදා, එනම් හෙට සිට කොරෝනා නිදහස භුක්ති විඳින්නට රටම බලාපොරොත්තුව සිටී. නොහොත් පළාත් සංචරණ සීමා ඉවත් කරන බව හා සාමාන්‍ය කටයුතු සඳහා ජනතාවට ඉඩ කඩ ලබාදෙන බවට රජය ඉඟි කර ඇත. ඒ අනුව කඩ සාප්පු, කාර්යාල විවෘත කර, ප‍්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය දෑ යථාවත් වනු ඇති බවට ජනතාව විශ්වාසයෙන් පසුවේ. මෙතරම් කඩිමුඩියේ එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ ද ඒ කොරෝනා නිදහස රටට ලබා දීම වෙනුවෙනි. ඒ අනුව, කෝටියකට අධික එන්නත් ප‍්‍රමාණයක්, එනම්, රටේ ජනගහනයෙන් 50% කට සෑහෙන තරම් එන්නත් මේ වනවිට රටට ගෙනවිත් තිබේ. එසේම, විටින් විට හෙදියන්, පී එච් අයි වරුන්, දොස්තරවරුන්, හෙදියන්ට නායකත්වය දෙන හාමුදුරුවරුන් වැඩවර්ජන දමාගෙන ආණ්ඩුවට පාරම්බෑවත්, හමුදාව යොදාගෙන හෝ ආණ්ඩුව එන්නත්කරණ වැඩසටහන නොකඩවා ඉදිරියට ගෙනයමින් පවතින්නේ දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණයට ජනතාව ලක්කරන රට ලෙස කීර්තියක්ද අත්කරගනිමිනි. සැබැවින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම මැදිහත් වී රාජ්‍ය නායකයින් සමග සාකච්ඡුා කර එම කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව එතුමාට අපගේ පැසසුම් එක්කළ යුතුය.
 
සැබෑය. රට හැමදාම වහගෙන ඉන්නට නොහැකිය. ආර්ථික චක‍්‍රය පමණක් නොව, සමාජ චක‍්‍රය ද දැන් එකතැන නතරව තිබෙන බැවින් බොහෝ ප‍්‍රශ්න රටට හා ජනතාවට තිබේ. ආර්ථික ප‍්‍රශ්නවලින් රට බැට කන්නේ කෙසේද, ඒ තරමටම ජනතාව ද ආර්ථික ප‍්‍රශ්නවලින් බැටකමින් සිටී. සමාජ පීඩනය ඊටත් එහා ය.
 
නමුත්, ප‍්‍රශ්නයකට ඇත්තේ මේ වනවිටත් ඉන්දීය ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදය වේගයෙන් පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවා සිටීමය. මේ වනවිටත් ඩෙල්ටා ප‍්‍රභේදය වැළඳුනු රෝගීන් 100 කට වැඩි පිරිසක් රටේ නොයෙකුත් ප‍්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, කොළඹින් හමුවන රෝගීන්ගෙන් 30% ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයින් බව සෞඛ්‍ය බලධාරීහු පවසති. එසේම, තවමත් කොවිඞ් රෝගීන්ගෙන් රටේ රෝහල් පිරී පවතින තත්ත්වයක පවතී. කොළඹ ජාතික රෝහලේ වාට්ටු 13 ක් කොරෝනා ලෙඩුන් සඳහා වෙන්කර පවතින බවත්, එම වාට්ටු සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී ඇති බවත් පවසන රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටින්නේ කාර්ය මණ්ඩලයේ 50 කට අධික පිරිසක්ද රෝගයට ගොදුරුව ඇති බවයි. මේ නිසා පහසුකම් හා කාර්ය මණ්ඩලවල හිඟයක් පවතින බවද ඔවුහු මාධ්‍ය වෙත කියා සිටිති. එසේම මේ දිනවල පවතින ගුරු-විදුහල්පති විරෝධතා රැුලි හේතුවෙන් ගුරු පොකුරක් ඇතිවීමේ ඉඩකඩ ගැන ද අනාවැකි පහළ වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ රට ඇරලත් බැරි, වහලත් බැරි තත්ත්වයක රට පවතින බවයි.
 
එන්නත්කරණයත් සමග ආණ්ඩුව හා ජනතාව රටේ කොරෝනා වසංගත තත්ත්වයේ අඩුවක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, ගෙවී යන මේ දින කිහිපයේ යළිත් රෝගීන් 2000 කට වඩා දිනපතා වාර්තාවීමත්, දිනපතා රෝගීන් 50 කට වඩා මිය යෑමත් සමග රට යළි කොරෝනා රැුල්ලකට ගමන් කිරීමේ ලකුණු පහළ වී ඇත. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය නොසලකා සිටිය හැකි තත්ත්වයක් නොවන බවයි. ඒ අනුව අගෝස්තු පළමුවැනිදා ලැබීමට නියමිත කොරෝනා නිදහස පිළිබඳව දෙපාරක් සිතා බලන්නට අපට සිදුව ඇත.
 
එනම්, රජය අදාළ සංචරණ සීමා ලිහිල් කළත්, කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමේ යතුර තිබෙන්නේ එක් එක් පුද්ගලයා අත බව අපි සැවොම තේරුම් ගත යුතුව ඇත්තෙමු. එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන තිබුණත්, අපි කිසිවිටෙකත් රෝගය ගැන කිසි ලෙසකින්වත් අධි තක්සේරුවෙන් සිතා කටයුතු කළහොත් පරාජය ලබන්නේ අපි අපිම බව තේරුම් ගත යුතුමය. එන්නත් මාත‍්‍රා දෙකම ගත් අයටත් රෝගය බෝවේ. ෆයිසර් හා ඇස්ට‍්‍රාසෙනිකා යන එන්නත් දෙකම ගත් වෛද්‍ය පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට ද කොවිඞ් වැලඳී ඇත. ඔහු කියන්නේත් ”පරිස්සම” වඩා වැදගත්ම දේ වන බවයි. එසේම, මාත‍්‍රා දෙකම ලබාගත් අය පවා කිහිපදෙනකුම මිය ගිය පුවත් අපට අසන්නට ලැබේ.
 
කෙසේ හෝ මිය ගිය 4000 ක් දෙනාගෙන් 85% ක් පමණම එන්නත් එක මාත‍්‍රාවක්වත් ලබාගත් අය නොවන බව වාර්තාවේ. එසේ හෙයින් ජනතාවගේ ප‍්‍රමුඛ වගකීම වන්නේ පළමුව රජයෙන් නිකං දෙන එන්නත විදගැනීමය. කොරෝනා නිදහස ලබාගැනීමට පෙර මේ අපේක්ෂාව කා තුළත් තිබිය යුතුය. ඒ තමන් පමණක් නොව, තම ආදරණීයයන් ආරක්ෂා කරගැනීම සඳහාත්, මග තොටේදී, දුම්රියේ බස්රියේදී, කඩ-සාප්පුවේදී අනිකුත් අයට රෝගය බෝනොකිරීම සඳහාත්ය.
 
අනෙකුත් කාරණය නම්, හැමදාමත් පුන පුනා කියන යහපත් සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමය. මුඛ ආවරණ පැළඳීම, දුරස්ථබව තබාගැනීම සහ නිරන්තරයෙන් විෂ බීජ නාශක යොදා අත් සේදීමය. මේ පිළිවෙත් පිළිනොපැද කොරෝනා නිදහසක් ගැන කතා කිරීම ඵල නැති දෙයකි. නමුත් ඒ කිසිත් සැලකිල්ලට නොගන්නා අපතයින් රැුළක් ආණ්ඩුවට බැණ බැණ කොරෝනා නීති උල්ලංඝනය කරමින් කටයුතු කරනු දකින්නට ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment