පිටකොටුව ලෝටර්ස් මාවත දිගේ මීට වසර තුන හතරකට පෙර පියනගද්දී දුටු කාර්යබහුල බව අද නැත. පදිකවේදිකාව දෙපස තිබූ බොහෝ කෑම කඩ වැසී ගොසිනි. මෙලෙස අබල දුබල වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් පසුය. කොරෝනා වසංගතයත් සමඟ රටෙහි ඇතිවූ ආර්ථිකයේ කඩාවැටීම නිසා වාහන ආනයනය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය අත්හිටුවීම නිසා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු ද අඩපණ වී ඇත.

වෙනදා දිනකට කොළඹ වරායෙන් බහාලුම් සිය ගණනක් රේගුව හරහා මුදාහැරීම සිදුවිය. මෙම කටයුතුවල නිරත වන සුවිශේෂී පිරිසක් වන්නේ වාප්පු ලිපිකරුවන් හෙවත් ‘වෝර්ෆ් ක්ලාක්වරුන්’ (Wharf clerk) ය.

වාප්පු ලිපිකරු යන සිංහල වචනයට වඩා ඉංග්‍රීසියෙන් කියන වෝර්ෆ් ක්ලාක් යන වචනය අපගේ කනට හුරුපුරුදුය.

ඔවුන් සේවය කරන්නේ රේගු දෙපාර්තමේන්තුවට අනුබද්ධවය. මෙරටට භාණ්ඩ ආනයනය කරන සහ අපනයනය කරන ආයතන සහ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම ඔවුන්ගේ රාජකාරියයි.

රේගුවෙන් භාණ්ඩයක් මුදා ගැනීමේදී සහ රේගුව හරහා භාණ්ඩයක් පිටරටට යැවීමේදී අදාළ රේගු ගාස්තු, තීරු බදු, වරාය ගුදම් ගාස්තු ආදී සියල්ල සම්බන්ධව රේගුව සමග කටයුතු කරන්නේ මෙම වෝර්ෆ් ක්ලාක්වරුන්ය.

ඔවුනට වෙලාවක් කලාවක් නැත. තමා සේවය සපයන ආයතනයේ හෝ පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව රැයක් දවාලක් නැතිව රාජකාරි කරති. ඔවුන් අදාළ භාණ්ඩ සහිත බහාලුම රේගුවෙන් මුදාගැනීම හෝ රේගුව හරහා විදේශගත කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි සෑදීම රේගු බදු මුදල් ගෙවීම ආදී සියල්ල නිසි පරිදි ඉටුකළ යුතුය. එසේ නොවුණ හොත් රේගුවෙන් අදාළ බහාලුම් හෝ භාණ්ඩ නිදහස් කරගත නොහැකිය.

මෙම කටයුතු සඳහා ඔවුන් රේගු නිලධාරීන්ට සංතෝෂම්ද ලබාදේ. එසේ නොවුණ හොත් රාජකාරිය සිද්ධ වන්නේ අකුරටය. එවිට අදාළ බහාලුම හෝ භාණ්ඩය නිදහස් කර ගැනීමට ලෙහෙසි පහසු නැත. එනිසා වෝර්ෆ් ක්ලාක්ලා තම සේවාදායකයාගෙන් මේ සඳහා අවශ්‍ය මුදල් ලබාගනිති. ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබාගනිති. එම මුදල් රුපියල් ලක්ෂ ගණනින්ය. එනිසා වෝර්ෆ් ක්ලාක්ලා අත නිතර මුදල් ගැවසෙති. මුදල් අත ඇති නිසා ඔවුහු හොඳින් කති, බොති. ඇතැම් විට එසේ කෑමට බීමට සිදුවන්නේ රේගුවේ ඉහළ නිලධාරීන් සමගය. ඔවුන් කුලුපග කර නොගතහොත් තම සේවාදායකයාගේ භාණ්ඩ මුදාගැනීම අපහසුය.

මෙලෙස ගතකළ දිවිය අද ඔවුනට අහිමිවී ඇත. වාහන ආනයනය අත්හිටුවා ඇත. සෙල්ලම්බඩු, රෙදි පිළි, විදුලි උපකරණ, ජංගම දුරකථන, වාහන අමතර කොටස් ආදී දිනපතා ආනයනය කළ භාණ්ඩ දැන් ගෙන්වන්නේ සීමා සහිතවය. ආණ්ඩුවේ ඩොලර් අර්බුදය නිසා මෙලෙස ආනයන සීමාකර ඇති නිසා දැන් බොහෝ වෝර්ෆ් ක්ලාක්ලාට වැලේ වැල් නැත.

ලෝර්ටස් පාරේ පිහිටි මෙම වෝර්ෆ් ක්ලාක්ලාගේ කාර්යාල රැසක් වැසී ගොස් ඇත්තේ මේ ගැටලුව නිසාය. මග දෙපස කෑමකඩ වැසී ඇත්තේද මෙම සන්තෑසිය නිසාය.

කොරෝනා නිසා තවමත් බැටකන වෝර්ෆ් ක්ලාක්ලා

වෙනදා නවීන පන්නයේ මෝටර් රථවල පැමිණි බොහෝ වෝර්ෆ් ක්ලාක්ලා දැන් ගමන් බිමන් යන්නේ පොදු මගී ප්‍රවාහන සේවයෙනි. එනම් බස් රථවල හෝ කුලී රථවලය.

මෙම ඛේදවාචකය සැබෑවටම දැන ගැනීමට මම අසල අවන්හලකට ගොඩවැදුනෙමි. එය වෝර්ෆ් ක්ලාක්ලාගේ ජනප්‍රියතම අවන්හලකි. මධුවිත තොලගාමින් තම සගයන් සමග සතුටු සාමීචියේ යෙදෙන ප්‍රසිද්ධ ස්ථානයක් වුවත් වෙනදා මෙන් එහි වෝර්ෆ් ක්ලාක්ලාගෙන් පිරී නැත.

සංජය වාහන ගෙන්වන පෞද්ගලික සමාගමක් සමග කටයුතු කරන වෝර්ෆ් ක්ලාක්වරයෙකි.

වැලේ වැල් නැහැ…. දැන් අවුරුදු තුනකින් වාහන ගෙන්නුවේ නැහැ. අපි අනාථයි. වාහන සේල් වහලා. පසුගිය කාලයේ මම වෙන වෙන රස්සාවල් කළා. ඒත් අපිට ඒවා හරියන්නේ නැහැ. අපි සල්ලි අතගාපු මිනිස්සු. ගෙවල් දොරවල් හැදුවේ යාන වාහන ගත්තේ මේ රස්සාවෙන්. දැන් මගේ ගේ විකුණන්න දැම්මා. කාර් එක වික්කා. ඔහු තම ඛේදවාචකය පැවසීය.

මෙම සංවාදය අතර ඔහුගේ තවත් යහළුවකුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි. හරි සර්…. සල්ලි දාන්නම්. හැබැයි අද බැහැ… හෙට දාන්නම්… ඔහු පිළිතුරු දුනි.

දුරකථන සංවාදය අවසන් කර ඔහු මගේ මිතුරු සංජයට මෙසේ පැවසීය. බලපං බන් සරත් මහත්තයා කියනවා ලක්ෂ දහයක් එයාගේ එකවුන්ට් එකට දාන්නලු. නැත්නම් දැන් ඇවිත් තියෙන ටැංකිය රේගුවෙන් එළියට දාන්න බැහැලු. පසුගිය අවුරුදු තුනේම අපිට වැඩ තිබුණේ නැහැනේ… එයාලත් බබාලා වගේ කතා කරන්නේ….

මොකටද ලක්ෂ දහයක්…. මම ඇසුවෙමි. පසුගිය කාලේ ගෙනාපු වාහන නිදහස් කරගන්න කොට ඒ කස්ටම් ඔෆිසර්ට ගෙවපු සංතෝෂම්වල හිඟ මුදල. ඔහු පිළිතුරු දුනි. එලෙස සංතෝෂම් නොදුන්නොත් වාහනය රේගුවෙන් නිදහස් කර ගැනීමේදී විශාල බදු මුදලක් ගෙවිය යුතු වේ. එසේ බදු ගෙවා වාහනය නිදහස් කර ගැනීමට වාහන ආනයනයකරුවන් කැමති නැත. එසේම එවන් බදු ගෙවා ලංකාවේ වාහන අලෙවි කිරීමටද නොහැකිය.

ඩිලන්ත වෝර්ෆ් ක්ලාක් වෘත්තියේ නිරතව සිටින්නේ වසර තිහක සිටය. කොරෝනා එක්ක මං අනාථ වුණා. ආනයනය නතර වෙච්ච නිසා මම රට ගියා. ඩුබායිවල හෝටලයක වැඩට කියලා ගියේ. මම ගියේ සංචාරක වීසාවලින්. මාස තුනෙන් පස්සෙ මට වීසා නැති නිසා රස්සාව නැති වුණා… හොරෙන් පොඩි පොඩි හෝටල්වල වැඩ කළා. අපිට වීසා නැති නිසා එම හෝටල් හිමියොත් අඩු වැටුපකට අපෙන් වැඩ ගත්තෙ. බැරිම තැන මම ලංකාවට ආවා. ගේ උගස් තියලා රට ගියේ. දැන් ගෙදර ගිහිං රෑට නිදාගන්න බැහැ. ගේ සින්න වෙයි කියලා බය හිතෙනවා. තාම ළමයි ඉගෙන ගන්නවා. දැන් යාන්තමට වැඩ ටිකක් එනවා. මේ බොන්නෙත් වේදනාවට. ඉස්සර අපි මෙතන බිව්වෙ සතුටට. දැන් බොන්නේ දුකට… ඔහු තම ජීවිත කතාවෙන් බිඳක් පැවසීය.

ඩිලන්ත මල්ලී… උඹේ ටැංකියේ වැඩේ හරිලු…. අන්න සිරිවර්ධන සර්…. උඹට එන්න කිව්වා. තවත් වෝර්ෆ් ක්ලාක්වරයෙක් හඬ නගා පැවසීය.

එසැණින් ඔහු රේගුව දෙසට දිවයන්නට විය. ඔය සෑහෙන කාලෙකට පස්සෙ ලැබුණු වැඩක්. තවත් වෝර්ෆ් ක්ලාක්වරයෙක් පැවසීය. කොරෝනා නිසා වෙච්ච තවත් එක් ඛේදවාචකයක් දැක මමද අවන්හලින් අමුවෙන්ම සමුගතිමි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment